The Leader News
BREAKING
'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි●Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●අයවැය පොරොන්දු ඉටුකිරීමේ වසර 8ක ඉහළම ප්‍රගතියක් - 'වෙරිටේ රිසර්ච්'●Diginote : විදේශ සංචිත ඩොලර් බිලියන 7.08ට: බැඳුම්කරවලින් විදේශිකයෝ පලායති●'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්●සයිමන් සහ සර්පයා●
Top Ad
Opinion

'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි

Pasan

Pasan

November 9, 2026 • 8:00 PM

'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මින් සතියකට ඉහත මවිසින් ලියු කුඩා ලියවිල්ලක් ගැන මගේ සමහර දේශපාලන මිතුරන් නැගු ප්‍රශ්න ගණනාවක් නිසා මෙය ලිවීමට අදහස් කලෙමි.
  • මෙහිදී කෙනෙකු මගෙන් අසන ප්‍රශ්නය වන්නේ 11.09.2001 න් පසු ලෝකය තුල ත්‍රස්තවාදය ගැන සංවාද ඇතිවුනා මෙන්ම නීති ගෙන ඒමද 2015 පැරිස් පහරදීම් වලින් පසු තවත් දිගුවූවා නොවේද කියායි.
  • ඒ වාගේම 07.10.2023 හමාස්වරු ඊශ්‍රලය කල පහර දීම තවදුරටත් යමකු ගෙනහැර පාති.
  • මෙම ප්‍රශ්නය දිගට කතා කරන්නේ නම් එය දිගු සාකච්චාවක් බව මම දන්නෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

මින් සතියකට ඉහත මවිසින් ලියු කුඩා ලියවිල්ලක් ගැන මගේ සමහර දේශපාලන මිතුරන් නැගු  ප්‍රශ්න ගණනාවක්  නිසා මෙය ලිවීමට අදහස් කලෙමි. “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම” සඳහා ගෙන එන පනත සහ “සංවිදානාත්මක අපරාධ මර්ධනය සඳහා” ගෙන එන පනත ගැන රටෙහි මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනීසිටින නීතිවේදීන් සහ මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනීසිටින පුරවැසි කණ්ඩායම් මෙම නීතිවලින් සිදුවන සහ වියහැකි භයානක ප්‍රතිපල ගැන ප්‍රමාණවත් පැහැදිලි කිරීම් කර ඇති හෙයින් එම පනත්වල ඇති වගන්ති ගැන එකින් එක ලිවීම මගේ මේ ලියවිල්ලේ අදහස නොවේ.
 
මට වැටහෙන අයුරින් ලෝකය පුරාම ත්‍රස්තවාදය යන යෙදුම භාවිතා වන්නේ යම්කිසි දේශපාලන අරමුණක් වෙනුවෙන් නැගීසිටින පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහායි. මෙහිදී කෙනෙකු මගෙන් අසන ප්‍රශ්නය වන්නේ 11.09.2001 න් පසු ලෝකය තුල ත්‍රස්තවාදය ගැන සංවාද ඇතිවුනා මෙන්ම නීති ගෙන ඒමද  2015 පැරිස් පහරදීම් වලින් පසු තවත් දිගුවූවා නොවේද කියායි. ඒ වාගේම 07.10.2023 හමාස්වරු ඊශ්‍රලය  කල පහර දීම තවදුරටත් යමකු ගෙනහැර පාති. මෙම ප්‍රශ්නය  දිගට කතා කරන්නේ නම් එය දිගු සාකච්චාවක් බව මම දන්නෙමි. නමුත් මේ හැම ක්‍රියාවක්ම අපි කැමති වුවත් නැතත් අවසාන විග්‍රහයේදී දේශපාලන ප්‍රශ්න බව අපට වටහා ගැනීමට සිදුවේ.

ලංකාවේ අතීතය: රාජ්‍ය ත්‍රස්තය සහ ප්‍රතිචාර

බොහෝ දේශපාලන කණ්ඩායම් තම අරමුණු වලට ලඟාවීමට ත්‍රස්තවාදී ක්‍රියා උපයෝගී කරගන්නා බව පැහැදිලිය. මෙය පහසුවෙන් වටහා ගැනීමට ලංකාවේ පසුගිය වසර 50 තුල හොඳටම උදාහරණ ඇත. දැනට බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයෙන් ඔවුන් එදා තම විරුද්ධවාදීන් කපාකොටා ඝාතනය කල එක වැරදියි නේද යන්න ප්‍රශ්න කලවිට  ලැබෙන පිලිතුර රාජ්‍ය ත්‍රස්තවාදය අපව ඝාතනය කරනවිට අප කළේ එයට පිලිතුරු දීමයි පවසති.
 
87/90 දක්වා දකුනේ ගම්නියම්ගම්වල මිනිසුන් මරා ලයිට් කනුවල එල්ලූ බව අපි දනිමු. රජයේ හමුදා දකුනේ සමහර ගම්වල එක ගමේ මිනිසුන් සියගණනක්  කැබලි කර මඟ දෙපස බලුකපුටු දාන දුන්බව අප දනිමු. මග දෙපස තරුණ සිරුරු ටයර් සෑ මත දැවුන බව නොදන්නේ කව්ද ?

තරුණ කැරලිකරුවන් තම විරුද්ධ මතදාරීන්ගේ ගෙවල් වලට රාත්‍රියේ පැන ඔවුන් පැහැරගෙන නිරායුද මිනිසුන්ගේ බෙලිකපා මරා දමා ඔවුන්ගේ මලමිනී දනහිසින් ඉහලට එසවීම පවා තහනම් කලබව ප්‍රසිද්ධය. මේ ආකාරයෙන්ම උතුරේ තරුණ තරුණියන් තම අයිතීන් ඉල්ලා සටනට බට විට ත්‍රස්තවාදීන් කියා ඝාතනය කල අයුරුත් එම තරුණයන් ප්‍රතික්‍රියා ලෙස සිංහල ගම්වල වැසියන් ඝාතනය කල බවත් අපි දනිමු. එනිසා ලංකා සමාජයේ කෙනෙකුගෙන් ඔබ විමසුවොත් ත්‍රස්තවාදියා යනු කවරෙක්ද? යන්නට හැම අයෙකුම දෙන සරල පිලිතුර විය හැක්කේ දකුනේ නම් JVP කාරයායි;උතුරේනම් LTTE කාරයායි යන්නයි. නමුත් දේශපාලන අවබෝධයක් ඇති අය මෙම ප්‍රශ්නය ත්‍රස්තවාදයට ලඝුනොකර ආණ්ඩුවල වරදින් දේශපාලන අයිතීන් යටපත් කිරීම නිසා මෙසේ තම අයිතීන් සඳහා නැගී සිටින කැරලිකරුවන් බිහිවන බව වටහා ගනිති.

ඒ වගේම ලෝකය පුරාම බලයේ සිටින රජයන් විසින් බොහෝවිට තම දේශපාලන අයිතීන් වෙනුවෙන් නැගීසිටින විරුද්ධවාදීන් හඳුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි. මෙසේ ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වෙන අයගෙන් 95% ක්ම දේශපාලන අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සහ සටන්වදින මිනිසුන් සහ කණ්ඩායම්ය. මගේ වැටහීම අනුව මෙම අයිතීන් වෙනුවෙන් සටන්වදින මිනිසා, මර්දන නීති සහ මර්දනය කිරීම් තුළින් නතර කල නොහැක. ඒ ඔවුන් සටන් වදින්නේ තම අයිතීන් වෙනුවෙන් හෙයිනි.

 

CJC පනතේ සිට PTA දක්වා අසාර්ථක වූ ඉතිහාසය

මෙයට හොඳම උදාහරණ ලංකාවෙන්ම සපයයි. පළමු උදාහරණය, 1971 අප්‍රේල් කැරලිකරුවන් වූ අපට දඬුවම් කිරීම සඳහා  “අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් පනත” 1972 දී ගෙන එන්නේ අතීතයට බලපාන අයුරිනි. ඒ අනුව CJC කොමිසම මගින් කැරලිකරුවන්ට, ඔවුන්ට අනුව ත්‍රස්තවාදීන් වූ  අපට දඬුවම් පමුණුවන ලදී. නමුත් අපට ත්‍රස්තවාදීන් යැයි කීවාට එම දේශපාලන ක්‍රියාදාමය ඇන නොහිටි බව අපි දනිමු. අද ආණ්ඩු කරන්නේද ඒ ත්‍රස්තවාදීන්ගෙන් පැවතෙන පිරිසමය.
 
අනෙක් උදාහරණය, 1979 දී “ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත” සම්මතකර ජේ.ආර්. විසින් කර්නල් විජේතුංග යටතේ විශේෂ හමුදා කාණ්ඩයක් උතුරට යවයි. පරමාර්ථය  වූයේ මාසතුනකින් ත්‍රස්තවාදීන් (දේශ පාලන තරුණයන්) මර්දනය කර ත්‍රස්තවාදය  මුලිනුපුටා දැමිමයි. ඒ වනවිට ඉතා කුඩා දේශපාලන කණ්ඩායමක් වූ  “නව දෙමළ ” සංවිධානයට සම්බන්දයයි සැක කල තරුණයන් මරාදමමින් උතුරේ මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර කවීන් සහ බුද්ධිමතුන් මෙන්ම සිවකුමාරන් වැනි තරුණ නායකයින් වෙනුවෙන් තනා තිබූ ස්මාරක කඩා දමමින් රාජ්‍ය  ත්‍රස්තවාදය දියත් කරනු ලැබීය. එම රාජ්‍ය ත්‍රස්තවාදයේ සාපරාදී අපරාධවල ප්‍රතිපලය වූයේ දහස්ගණන් එම දේශපාලන කණ්ඩායම් වලට එක්වීමයි.

එදා ඉතා කුඩා කණ්ඩායමක්  වූ තරුණ කණ්ඩායම් ඉන්පසු විශාල බලවේගයන් බවට පත්ව රට යුද්ධයක ගිල්වා ජනවර්ග අතර එකිනෙකා දෙස සැකයෙන් බලන මනස්වලින් බෙදුන සමාජයක් ඇතිකර අප සමාජයම අද වැටීසිටින අගාධයට ඇද දැමීය. නමුත් එම නැගිටීම් නතරවුනේවත් එම පනත තාවකාලික එකක්වත් නොවී අද දක්වා පවතී. නමුත් මේ සියල්ල තිබියදී දිගුකාලීන යුද්ධයක් මෙන්ම පාස්කු ප්‍රහාරයද සිදුවූ බව අප දනිමු. එනිසා තද නීති තිබුනාට හෝ මිනිසුන් මරා දැමුවාට ප්‍රශ්න නොවිසඳෙන බවට ලංකාවට වුවමනාවටත් වඩා අත්දැකීම් ඇති බව මගේ වැටහීමයි.

 

ජේ.ආර්. ගිය පාරේද අද ආණ්ඩුවත් යන්නේ?

අද බලයේ සිටින පක්ෂය (JVP) “විවේචනය සහ ස්වයං විවේචනය” මුල්කරගෙන වැරදි නිවැරදි කරගැනීමේ ක්‍රියාදාමයක් ඇතිබව පවසන පක්ෂයකි. ඒ වාගේම ඔවුන් කතාවට හරි අපි “ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගනිමුයි” පවසති. එසේනම් බලයේ සිටින ඔවුනටම අනුව 70 වසරක සාපලද පාලකයින් කල වැරදි නිවැරදි කරන්නට යන්නේ ඒ අය ගිය මාවතේම යමින්ද? ලංකාවේ ප්‍රශ්න මතුවුනේ පහුගිය ආණ්ඩු පැවසූ ලෙස ඔවුන් සමාජ ගතකර ඇති මතය වන “ත්‍රස්තවාදය” නිසා නොවන බව මගේ වැටහීමයි. උතුරේත් දකුනේත් තරුණ තරුණියන් දිවි පුදමින් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බුක්තිවිඳීමටත් කොල්ලකාරී  ප්‍රභූ කණ්ඩායමක් විසින් ගසාකන ජාතික සම්පත්, රටේ ජනතාව වන තමන්ටත් බුක්තිවිඳීමට ඉඩ දෙන ලෙසයි.
 
රටක් පාලනය  කිරීමට නීති අවශ්‍ය බව මම පිළිගනිමි. නමුත් ඉතිහාසයක් පුරා අවභාවිතාවට ලක්වූ නීති ඇති රටක, එම රාජ්‍ය යන්ත්‍රණයම පවතිද්දී දැනට පවතිනවාටත් වඩා දැඩි මර්ධන නීති සකස් කිරීම තුලින් ජනතාවට අත්වන සුගතියක් නැත. දැනටමත් රටේ ඇති නීති බොහොමයක් අපරාධ මර්දනයට ප්‍රමාණවත් බව මගේ වැටහීමයි. ඒවා ප්‍රමාණවත් නොවේ නම් පුරවැසි සහ නීති ප්‍රජාව සමග කරන සංවාදයකින් එයට යම් එකතුකිරීම් කල හැකිව තිබේ. එසේ නැතිව බලය තිබූ පමණින් J. R. ජයවර්ධනලා  කලාක් මෙන් සිතැඟි පරිදි නීති සම්මත කරයි නම් ඔවුන් යන්නේද J.R. ලා ගිය අත්තනෝමතික මඟේහිම  නොවන්නේද?

අතීත කැපකිරීම් සහ අද යථාර්ථය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වරක් තඹුත්තේගම පාසැලකදී තමන් සමග එකට ඉගෙන ගත් මිතුරන් මෙන්ම තම ඥාති සොයුරා සහ තවත් අය පොලිසිය සහ හමුදා මගින් මරා දැමූ අයුරු ඉතා සංවේදීව ඉදිරිපත් කළ බව මම අසා ඇත්තෙමි. ඒ අතීතය වේදනාවෙන් ස්මරණය කරමින් තමන්ගේ පෙරගමන්කරුවන් වීරත්වයෙන් දිවිදුන් අයුරු නැවත සිහි කැදවමින් අනුකම්පාවෙන් ඡන්ද දිනූ පසු, ඒ සොයුරන් සොයුරියන්ට දිවි පූජාකිරීමට සිදුවූයේ කුමන නීතිරාමුවක් යටතේද කියා අමතක වන්නේ නම්, ඔවුන් ඒ  ඉතිහාසය ගැන කතාකරන්නේ කුමක් සඳහාද යන්න මට ගැටළු සහගතය.

පවතින ආණ්ඩුවට අනුව, ලංකාවේ පසුගිය වකවානුවේ සංවිධානාත්මක අපරාධ, “අපරාධ රාජ්‍යක්” බවට පරිවර්තනය වූයේ දේශපාලඥයන් නිලධාරීන් සහ පාතාලය එක්ව වැඩ කර නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීම නිසාවෙනි. එසේ නොමැතිව රටේ නීති නැතිකමින් නොවේ. එසේනම් දැන් සිදුවිය යුත්තේ එම චක්‍රය කඩා පොලිසිවැනි ආයතන ප්‍රතිසංවිධානය කර දේශපාලන බලයට නීතිය අවභාවිතා කිරීමට ඉඩ නොදී නැවත රට තුළ නීතියේ ආධිපත්‍ය ඇතිකිරීම මිස සාපරාධි පොලිසියට තිබුනාටත් වඩා බලයක් ලබා දීම හෝ මෙතෙක් පොලිසිවලට තිබූ බලය ඊටත් වඩා ප්‍රශ්නකාරී හමුදාවන්ට පවා ලබාදීම නොවන බව මගේ වැටහීමයි.
 
සංවිධානය වූ සිවිල් සමාජයක් නොමැති තැන ජනතාව වෙනුවෙන් කතා කරන්නට අයෙකු නොමැති වෙයි. තම ප්‍රජාතන්ත්‍රිය අයිතීන් ආරක්ෂා කර ගැනීමට නම් පුරවැසියා සංවිධානය විය යුතුමය.
 

(සටහන | රංජිත් හේනායකආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...