පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නොතීසි නිකුත් කළේය.
කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන හිමිවරුන් වෙත මෙම නියෝග නිකුත් කර තිබේ.
නීතිඥ තර්කය සහ අට්ටාල ආරවුල
පූජා නගර සංවර්ධන සැලැස්මට එරෙහිව පසුගිය 7 වැනිදා මෙම විරෝධතාව ආරම්භ වූයේ රුවන්වැලි සෑය අසල දන්සැල් භූමියේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට දැරූ උත්සාහයත් සමඟයි.
භික්ෂූන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සත්‍යග්‍රහය සෑ මළුවෙන් පිටත පැවැත්වෙන බැවින් මහජන පීඩාවක් සිදු නොවන බවයි.
පොලිසිය නිසි කරුණු සඟවා පෙර තහනම් නියෝගය ලබාගෙන ඇති බව පෙන්වා දුන් නීතිඥ මණ්ඩලය, අදාළ තහනම වහා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
පොලිස් විරෝධය සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ වාර්තාව
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතා එම ඉල්ලීමට විරෝධය පළ කරමින් අවධාරණය කළේ, වන්දනාකරුවන්ට පීඩාවක් සිදුවන බව මෙන්ම අධිකරණ නියෝග පවා නොතකා විරෝධතාව පවත්වාගෙන ගොස් ඇති බවයි.
විරෝධතාව අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 'දහම් ප්‍රසාද්' නමැති සිවිල් පුද්ගලයා පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවද පොලිසිය මෙහිදී ඉදිරිපත් කළේය.
එම වාර්තාවට අනුව ඔහු හෙරොයින් සහ ගංජා භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව පොලිසිය විවෘත අධිකරණයේදී කරුණු දැක්වීය.



