ආහාර වර්ජනය කළ විදුහල්පතිවරුන්ගේ නිහඬ විරෝධය
නුවරඑළිය ගාමිණී ජාතික පාසල් පරිශ්‍රයේදී පසුගිය 07 වැනිදා පැවති නිල අධ්‍යාපන වැඩමුළුවක් නිමාව දුටුවේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ උණුසුම් වාතාවරණයකිනි. කලාපයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම හමුව අවසානයේ දිවා ආහාරය බෙදාදෙන අවස්ථාවේදී සංවේදී ගැටලුවක් මතුව තිබේ.
සත්කාරක පාසලේ විදුහල්පතිවරයා විසින් දෙමළ ප්‍රජාව ඉලක්ක කරමින් අගතිගාමී ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින්, එහි සිටි බහුතරයක් විදුහල්පතිවරු තමන්ට ලැබුණු දිවා ආහාර පාර්සල් හා වතුර බෝතල් ශාලාවේ වේදිකාව මතත් කාර්යාල මේසය මතත් අත්හැර දමා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.
මතුව ඇති චෝදනාව සහ පසුබිම
එම අවස්ථාවට එක්වූ පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ, පාසලේ බහුතරයක් දෙමළ ජාතිකයන් සිටින බැවින් ඔවුන්ට ආහාර ලබාදීමට විරෝධය පළ කරමින් එම විදුහල්පතිවරයා කළ ප්‍රකාශයක් මෙම විරෝධයට හේතු වූ බවයි. දරුවන්ට සහජීවනය සහ මානව ගරුත්වය කියාදිය යුතු පරිසරයක මෙවැනි ආකල්ප ප්‍රදර්ශනය වීම කනගාටුදායක බව විරෝධතාවට එක්වූ ප්‍රධානීන්ගේ අදහස වී තිබේ.
අප කළ විමසීමකදී නම් හෙළි කිරීමට අකමැති වූ නිලධාරීන් කිහිපදෙනෙකු සඳහන් කළේ, අදාළ ප්‍රකාශය තම වෘත්තීය ගරුත්වයට මෙන්ම මානව හිමිකම්වලට ද එල්ල වූ බරපතළ පහරක් බවයි. සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විදුහල්පතිවරුන් පිරිසක් නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ද බාරදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණයක්
නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්. දිසානායක මහතා තහවුරු කළේ අදාළ සිදුවීම පිළිබඳ නිල පැමිණිල්ලක් තමන් වෙත ලැබී ඇති බවයි.
පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් විශේෂ කමිටු පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන ඉදිරි පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
(නාලක රත්නායක - නුවරඑළිය)



