ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම මංගලට අලුත් දෙයක් නොවේ. ඒවා බොහෝවිට ආන්දෝලනාත්මක ප්‍රකාශ වන්නේ දේශපාලනඥයින් විවෘතව කිසිවක් කියන්නට සූදානම් නැති කාරණා සම්බන්ධයෙන් මංගල තම අදහස්

වාරණයකින් තොරව කියන නිසා ය. 

පසුගිය සතියේ “ශ්‍රී ලංකා නෙක්ස්ට්” නමින් ස්වර්ණවාහිනියේ සංවාද මණ්ඩපයක මංගල සමරවීර විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඔහුගේ තිබූ හා නොතිබූ සම්බන්ධයන් පිළිබඳව අදහස් දැක්වීමේදී ආගම පිළිබඳවද අන්තවාදීන් කුපිත කෙරෙන ආකාරයේ ඉතා තියුණු නමුත් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධ ඔහුගේ අදහස් දැක්වීම් හා පැහැදිලි කිරීම් කළේය. 

පසුගිය දිනවල විවිධ කාරණා සම්බන්ධයෙන් මංගල එවැනි විවෘත හා අවංක ප්‍රකාශ කළේය. ඔහු එළෙසින්ම SL-VLOG නම් අන්තර්ජාලයේ යූටියුබ් සංවාදයකදී තමන් කසාද නොබැඳීම හා පෞද්ගලික තේරීම් සඳහාවන අයිතිය ගැන විවෘතව අදහස් දැක්වීය.

ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරාගේ “ට්විටර්” හෙළිදරව් කිරීමක් අනුව මංගල සිය “සම්පත් බැංකු” ගනුදෙනූ නතර කරන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරුවේ, ප්‍රතිපත්තියක් ලෙස ජාතිවාදි ආයතන සමග තමන් ගනුදෙනු නොකරන බව පවසමින්ය. 

MS Twitter 05එවගේම මේ පාර්ලිමේන්තුවෙන් රටේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා ගත නොහැකි හෙයින් පාර්ලිමේන්තු දේශපාලනයේ තව දුරටත් කල් මරන්නට සූදානම් නොවන බවද මංගල කියුවේය. ඒ සියලු ප්‍රකාශ වලට මගේ කැමැත්තක් ඇත. ඒ සියල්ල මම අගය කරමි.

මංගලගේ අලුත් දේශපාලනයක  සේයාවක් හෝ නැත:

එහෙත් මංගලගේ අලුත් දේශපාලනයෙන් ඔහුම මතු කරන බොහෝ සීමාවන් හා රටේ ප්‍රශ්න සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමක් නැත. ඒ කිසිවකට මේ පාර්ලිමේන්තු දේශපාලනයෙන් විසඳුම් සෙවිය නොහැකි නම්, විසඳුම සඳහා ඔහු අලුත් ප්‍රවේශයක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් එවැන්නක සේයාවක් හෝ නැත.

ඔහුගේ අදහස් දැක්වීම්වල ඇත්තේ ඔහු එ.ජා.පය හරහා අලුත් මුහුණුවරක් ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයක අවසානය ගැන කියන කතාවකි. 

ඔහු කියන අයුරු,

 (1) සමගි ජන බලවේගයේ අවුල තිබූයේ සමහරුන්ට එ.ජා.පය බෙදා කෑල්ලක හෝ නායක්තවය ගැනීමට තිබූ කෑදර කමය. එසේ නොවුනා නම් ලාංඡනය පිළිබඳ ප්‍රශ්නය විසඳාගෙන ශ්‍රී.ල.නි.ප පොදු ජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණ තරග කරන අයුරු ඔවුන්ටද 2019 ජනාධිපතිවරණය සඳහා එකට යා හැකිව තිබිණ. ඔහුගේ උත්සාහය වූයේ එය ය. 

(2) සමගි ජන බලවේගයට හා එ.ජා.පයට පොහොට්ටුවේ බාල ඩුප්ලිකේට් දේශපාලන පක්ෂ නොවී, පොහොට්ටුවේ ජාතිවාදී ආගම්වාදී දේශපාලනයට විකල්ප දේශපාලනයකින් ජනතාව දිනා ගත හැකිව තිබිණ.

 (3) යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර ග්‍රාමීය සමාජය වෙනුවෙන් “ගම් පෙරළිය” වැනි වැඩසටහන් මගින් කෝටි ගණන් මුදල් ගමට පොම්ප කෙරුවත් ජනාධිපති හා ආණ්ඩුව අතර තිබූ ගැටුම් හේතුවෙන් යහපාලන ආණ්ඩුවට ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකි විය. එය පොහොට්ටු දේශපාලනයේ වාසියට හේතු විය.

ඒ සියල්ලෙන් ඔහු කියන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය සමග පැමිණි ගමන වඩා හොඳින් යාමේ පිරිසිදු මාවතක් සකසා ගැනීමට ඉඩ තිබූ නමුත් නායකත්ව පොරය නිසා එය අසාර්ථක වූ බව පමණි. 

''ඔහු සිතා සිටින්නේ ආගම්වාදයට හා වර්ගවාදයට විරුද්ධ වූ පමණින් පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි බවය. විවෘත වෙළඳපල ආර්ථිකය දූෂණයෙන් තොරව ගෙන යාමෙන් පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි බවය.'' 
ඔහු සිතා සිටින්නේ ආගම්වාදයට හා වර්ගවාදයට විරුද්ධ වූ පමණින් පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි බවය. විවෘත වෙළඳපල ආර්ථිකය දූෂණයෙන් තොරව ගෙන යාමෙන් පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි බවය. 

ඔහුටද මෙතෙක් අවුරුදු 40 ක් කිසිදු දේශපාලන පක්ෂයකට විකල්ප අවශ්‍ය නොවුනු විවෘත වෙළඳපල ආර්ථිකයට විකල්ප අවශ්‍ය නොවන්නේය. එනිසා ඇමෙරිකානු ආධාර ව්‍යාපෘතියක් වන එම්.සී.සී ආධාර වැඩසටහන සඳහා ජනාධිපති ගෝඨාභය අත්සන් කරන්නේ නම් ඊට සහාය දීමටද ඔහු සූදානම්ය. 

ඩොලර මිලියන 480 ක එම්.සී.සී ආධාරය සතු ගුණ දොස්, වාසි අවාසි පැත්තකින් තබා කතා කළහොත් මංගල තවමත් පෙනී සිටින්නේ පවතින අති දූෂිත මහ නගර කේන්ද්‍රීය වෙළඳපල ආර්ථිකය ඔහුගේ ලිබරල් මතවාද සමග පෙරට ගෙන යාමට හැකි යැයි කියා ය. 

ඔහු තවමත් තේරුම් ගෙන නොමැත්තේ විවෘත වෙළඳපල ආර්ථිකය උපතින්ම දූෂිත සහ බහුතර වාර්ගික හා ආගමික අන්තවාදය දේශපාලන බලය වෙනුවෙන් යොදා ගන්නා බවය.

''මංගලගේ ප්‍රකාශ විසින් පෙන්වන්නේ ඔහු සංවිධානාත්මක පක්ෂ දේශපාලනයෙන් ඉවත් වූ නමුත් තවමත් අති සාම්ප්‍රදායික ලිබරල් දේශපාලකයකු බවය. ''
මංගලගේ ප්‍රකාශ විසින් පෙන්වන්නේ ඔහු සංවිධානාත්මක පක්ෂ දේශපාලනයෙන් ඉවත් වූ නමුත් තවමත් අති සාම්ප්‍රදායික ලිබරල් දේශපාලකයකු බවය. 

කෝවිඞ්-19 විසින් බරපතල ලෙස කැබලි කර ඇති ගෝලීය විවෘත වෙළඳපල ආර්ථිකය නැවත පිළිසකර කරගත හැකි යැයි ඔහු සිතන්නේය. 

මේ වනවිට ජාත්‍යන්තර තලයේ සාකච්ඡා වන “ජාතික සංවර්ධනය” වෙනුවෙන් අලුත් ආකෘතීන් යෝජනා කරන්නාවූ විකල්ප මතවාද ගැන ඔහුට නිනව්වක් නැත. එබැවින් ඔහු හා ජ.වි.පෙ අතර විවෘත වෙළඳපල ආර්ථිකය පිළිබඳව වෙනසක් නැත. 

වෙනස ඇත්තේ ජ.වි.පෙ කිසි දිනක අත නොතබණ ආගම්වාදයට සහ ලිබරල් සංස්කෘතික පැවැත්ම ගැන මංගල කරන අවධාරණය සමගින් පමණි.

යම් වෙනස් පෙනුමක් ඇතත් අලුත් හරයක් නැත !

එහි යම් වෙනස් පෙනුමක් ඇතත් අලුත් හරයක් නැත. මේ සමාජයට අද අවශ්‍ය වන්නේ එවැනි රැඩිකල් ලිබරල් පෙනුමකින් නතර වන දේශපාලනයක් නොවේ. 

කෝවිඞ්-19 න් පසු ස්ථාවර සංවර්ධනයක් සඳහාවන සාකච්ඡාවන්හි ජාත්‍යන්තර තලයේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් ගෝලීය ආර්ථිකය පිළිබඳව වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කරති. අපට අවශ්‍ය වන්නේද අවුරුදු 40 ක් විවෘත වෙළඳපල ආර්ථිකයට කවමදාවත් විසඳුම් නොතිබූ, පොහොට්ටු පක්ෂයට කොහෙත්ම විසඳුම් නොමැති, රටේ “සංවර්ධනය” වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලකි. 


Kusal p 2020.07.05සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජීවිතයක් සහිත අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු මගී ප්‍රවාහනයට, පරිසරය සුරැකීමට සහ ග්‍රාමීය ආර්ථිකයට ඇත්ත දියුණුවක් ලබා දිය හැකි සංවර්ධන වැඩපිළිවෙලකි. එවැන්නක් ඉදිරිපත් නොකරන්නේ නම්, කිසිවකු පොහොට්ටුවේ දේශපාලනයෙන් වෙනස් වන්නේ නැත. එවැනි වැඩපිළිවෙලක් නොමැතිව මංගල නතර වන්නේද පොහොට්ටුවේ “ඩුප්ලිකේට්” දේශපාලනයක් සමගින් පමණි.

මංගලට අවශ්‍ය නම්, තවමත් ඉඩ ඇත !

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව, ජාතික සංවර්ධනය සඳහා ඇත්ත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට මංගලට අවශ්‍ය නම්, තවමත් ඉඩ ඇත. 

ඒ වෙනුවෙන් ඔහු පළමුව කළ යුත්තේ “සංවර්ධනය” සඳහා පැහැදිලි හා සංයුක්ත අර්ථ කතනයක් සංවාදයක් සඳහා ඉදරිපත් කිරීමය. 

මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සංවර්ධනය ගැන කිසිදු පැහැදිලි කිරීමක් නැත. එහි ඇත්තේ ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදනය, උද්ධමනය වැනි “ආර්ථික වෘද්ධිය” ගැන කෙරෙන කතා ය.

 “සංවර්ධනය” හා “ආර්ථික වෘද්ධිය” යනු පැහැදිලිවම දෙකකි. එය තේරුම් ගත හැක්කේ සමාජයේ වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතාව වැඩිවන ආකාරයෙනි. පසුගිය අවුරුදු 40 ක කාලයේ මේ රටේ වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතාව නොකඩවා වැඩිවීම, විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිසිදු සංවර්ධනයක් නොවූ බවට වැදගත්ම සහතිකයකි.

එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්කද ලොකු බොරුවකි !

“සංවර්ධනය” සඳහා යැයි ඉදිරිපත් කෙරෙන එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්කද ලොකු බොරුවකි. එහි අධ්‍යාපනය ගැන ඇති ඉලක්කය වන්නේ “ගැහැණු පිරිමි සියලු ළමුන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමය”. ඒ සම්බන්ධ 2015 වසර අවසන් කිරීමේ ඉලක්කය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු ළමුන්ගෙන් අවම සියයට 91 ක් එය සම්පූර්ණ කිරීම පමණි. ඒ වනවිටත් අප සියයට 93 ටද ඉහළින් විය.

 එහෙත් ඒ සියයට 93 ලැබූ ප්‍රාථමික අධ්‍යාපනයෙහි ගුණාත්මක තත්ත්වය කුමක්ද? පානීය ජලය හා භාවිත කළ හැකි වැසිකිළි නැති පාසල් කීයක් තිබේද? අවශ්‍ය ගුරුවරුන් නැති පාසල් කොපමණ තිබේද? ළමුන්ට ඉගැන්වීමට පංති කාමර නැති පාසල් කොපමණ තිබේද? ළමුන්ගේ පෝෂණ තත්ත්වය කෙබඳුද? පාසල් යාමට ළමුන්ට හා ගුරුවර ගුරුවරියන්ට ප්‍රවාහන පහසුකම් තිබේද? සහශ්‍ර සංවර්ධන ඉලක්ක සැපිරීමේදී එවැනි කිසිම සාධකයක් අවශ්‍ය නැත. 

එනිසා සියයට 91 ක් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කමක්ද ඇත්තටම නැත. විවෘත වෙළඳපල වෙනුවෙන් සකසා ඇති සහශ්‍ර සංවර්ධන ඉලක්ක එවැනිය.

''අප අපට අවශ්‍ය ආකාරයෙන් “සංවර්ධනය” අර්ථකතනය කරගත යුතුය'' 

අප අපට අවශ්‍ය ආකාරයෙන් “සංවර්ධනය” අර්ථකතනය කරගත යුත්තේ එබැවිනි. එහිදී කෝවිඞ්-19 සමග දිග හැරුණු ජාත්‍යන්තර සංවාද සතු වැදගත්ම අවධාරණය වන්නේ,

(1) ජාතික රාජ්‍ය සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ලෙස ශක්තිමත් කිරීම 
(2) දේශගුණික විපරියාස වළකා ගැනීම වෙනුවෙන් වහා පරිසරය සුරැකීමේ පියවර ගැනීම සහ 
(3) වත්කම් හා ආදායම් බෙදී යාමේ විෂමතා තුරන් කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දමීමය. 

එවැනි සංවර්ධනයක් අත්කර ගැනීමට ජාතික වැඩපිළිවෙලක් සකස්කර ගැනීම, පොහොට්ටු දේශපාලනයෙන් වෙන් වීමේ මූලික හා ප්‍රධානම සන්ධිස්ථානය වන්නේය.

 මංගල කතා කරන සියලු වාර්ගිකයින් හා ආගමිකයින්, වෙනත් තේරීම් ඇති සමාජ කණ්ඩායම්, වෙනස් හැකියාවන් ඇති ආබාධිතයින් ඇතුලු සියල්ලන් සඳහා ගෞරවනීය, ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක් ලබාදීමේ ශිෂ්ට දේශයක් හැදිය හැක්කේද එළෙසින්ම පමණි.

''මංගල සමරවීරගෙන් එවැනි දේශපාලන ගමනක් යෑමේ දිසා නිතියක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පොහොට්ටු දේශපාලනයේ වර්ගවාදයට එරෙහි විවේචකයෙකු ලෙස නතරවීමේ සියලු හැඩ පෙනෙන්නට ඇත. එය ඔහුගේ පමණක් නොව, මේ සමාජයේ වෙනසක් වෙනුවෙන් ඔහු ගැන විශාල බලාපොරොත්තු තැබූවන්ගේද ඛේදවාචකයකි.''

මංගල සමරවීරගෙන් එවැනි දේශපාලන ගමනක් යෑමේ දිසා නිතියක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පොහොට්ටු දේශපාලනයේ වර්ගවාදයට එරෙහි විවේචකයෙකු ලෙස නතරවීමේ සියලු හැඩ පෙනෙන්නට ඇත. එය ඔහුගේ පමණක් නොව, මේ සමාජයේ වෙනසක් වෙනුවෙන් ඔහු ගැන විශාල බලාපොරොත්තු තැබූවන්ගේද ඛේදවාචකයකි.


(කුසල් පෙරේරා -2020 ජූලි 05)

*******************************************************

*

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්