(2024.10.24 දිනැති සංශෝධිත 11 වන චෝදනාව)
ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී ඉහත කී නිති විරෝධි රැස්වීමේ සාමාජිකයෙකු වූ 18 වන වුදිත වන යුෂ්මතා ඉහත කී 10 වන චෝදනාවේ සඳහන් වරද සිදු කිරීමට 17 වන වුදිත හට ආධාර අනුබල දුන් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් එකී 10 වන චෝදනාවේ සඳහන් වරද එකී 17 වන චුදිතවිසින් සිදු කළ හෙයින් යුෂ්මතා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සහ 379 වගන්තිය සමඟ කියවිය යුතු එකී සංග්‍රහයේ 380 වගන්තිය යටතේ වරදක් සිදු කළ බවයි.
12. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී යුෂ්මතුන් දැනට මිය ගොස් සිටින ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, හෙන්ද විතාරණ නිපුන බුද්ධික දිල්ෂාන් සහ පැමිණිල්ල නොදත් අන් අය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල නැමැත්තාගේ මරණය සිදු කල බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 296 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු මිනිමැරීමේ වරද සිදු කළ බවය.
13. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදීම යුෂ්මතුන් දැනට මිය ගොස් සිටින ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, හෙන්ද විතාරණ නිපුන බුද්ධික දිල්ෂාන් සහ පැමිණිල්ල නොදත් අන් අය සමඟ පොලිස් සැයරන් 5565 ජයන්තගුණවර්ධන නැමැත්තාගේ මරණය සිදු කල බැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 296 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු මිනිමැරීමේ වරද සිදු කළ බවය.

14. ඉහත කී වේලාවේදී ස්ථානයේදී හා එම ක්‍රියා කලාපයේදී යුෂ්මතුන් දැනට මිය ගොස් සිටින ඇන්ටන් ගේබ්‍රියල් කුමාරදාස, හෙන්ද විතාරණ නිපුන බුද්ධික දිල්ෂාන් සහ පැමිණිල්ල නොදත් අන් අය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබු රජයට අයත් WP KJ 2649 දරන නිල ජිප් රථය ගිනිතබා විනාශ කර රුපියල් මිල යන 14ක අර්නථයක් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වෙනි වගන්තිය සමඟ කියවිය යුතු 1988 අංක 76 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 02 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.

මෙම නඩුවට අදාල සිද්ධියට පාදක වන්නේ 2022.05.09 දින ගෝල්ෆේස් පිටියේ අරගලයක නිරතව සිටි තැනැත්තන්ට සිදුකල පහරදීමකි. එම පහරදීමෙන් පසු රටේ බොහෝ තැන්වල පිරිස් නොසන්සුන්ව හැසිරුනු අතර, ගෝල්ෆේස් පිටියේ සිටි අයට පහර දුන් තැනැත්තන් යයි සැකකල අය ආපසු යත් දී වාහන වලට සහ පුද්ගලයන්ට පහරදීම් රට පුරාම සිදු විය. විශේෂයෙන් සාක්ෂි ඉදිරිපත් නොකළද, ශ්‍රි ලංකා පුරවැසියකු වන ශ්‍රී ලංකා විනිසුරුවරයකුට අධිකරණමය නොතීසි (judicial notice) ගෙන රටේ එදින එයාකාරයේ නොසන්සුන්තාවයක් තිබුනු බව පිළිගත හැකිය. නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව මෙම නඩුවේ මරණකරුවන් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියා වේ. ඔවුන් තවත් අය සමඟ අරලිය ගහ මන්දිරයේ පැවති රැස්වීමකට සහභාගී වී ආපසු යද්දී නිට්ටඹුවේදී පිරිසක් ඔවුන් ගිය රථය නවත්වා ඔවුන්ට පහර දී ඇති ඇතර, එවිට ජයන්ත ගුණවර්ධන නමැති මන්ත්‍රී ආරක්ෂකයා වෙඩි තැබීමෙන් එහි සිටි දෙදෙනකුට එම වෙඩි පහරවල් වැදී ඇත. ඉන්පසු මරණ කරුවන් දුවගොස් නගරයේ නිහාල් ෆැෂන් නම් වෙළද සැලේ තුන්වන තට්ටුවේ සැගවී ඇති අතර, කිසිවකු කළ පහරදීමකින් ඔවුන් මිය ගොස් ඇත. මෙම නඩුවට චෝදනා ගොනු කර ඇත්තේ එම සිදධියට අදාලවය.

පැමිණිල්ලේ නඩු විභාගයේදි සාක්ෂිකරුවන් 81 දෙනෙකු කැදවන ලදී. පැ. 1 සිට පැ.284 දක්වා ප්‍රදර්ශන භාණ්ඩ ද, පී.1 සිට පී. 470 දක්වා ඡායාරූප ද, සී.ඩී.1 සිට සී. ඩී.34 දක්වා දුරකථන විස්තර වාර්තාද, ඩී.1 සිට ඩි.44 දක්වා ලේඛනද, එස්.1 සිට එස්.15 දක්වා දල සැලැස්මවල්ද ලකුණු කර ඇත. ඊට අමතරව විවිධ ලේඛන කීපයක් එම් 1 සිට එම් 5 ලෙස ලකුණු කර ඇත. මියගිය මන්ත්‍රීවරයාගේ සිරුර බිරිඳ සහ පුතා විසින්ද, පොලිස් නිලධාරියාගේ සිරුර බිරිඳ සහ සහෝදරයෙකු විසින්ද හඳුනාගන්නා ලදී.
මෙම නඩුවේ චෝදනා සම්බන්ධව නිගමනයකට එලඹීම සදහා ඉදිරිපත් කරන ලද සාක්ෂි විශ්ලේශනය කර තුලනය කළ යුතු වන බැවින් කැදවන ලද සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ සාක්ෂි වලින් ඉදිරිපත් වූ කරුණු කෙටියෙන් හෝ සදහන් කිරීම අත්‍යවශ්‍ය වේ. පැමිණිල්ලෙන් සාක්ෂිකරුවන් 81 ක් කැදවන ලද බැවින් ඉතා කෙටියෙන් සදහන් කළද එකී සාක්ෂි සම්පිණ්ඩනය සෑහෙන තරමකට දීර්ඝ වේ. චුදිතයන්ගෙන් වැඩි දෙනෙක් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබා දුන් අතර ඒවාද සාක්ෂි සම්පිණ්ඩනයේදී සදහන් කරමි. ඉදිරිපත් වූ සාක්ෂි වලින් තීන්දුවට අත්‍යවශ්‍ය කරුණු පමණක් හැකි පමණ කෙටියෙන් මෙසේ සදහන් කරමි.

මුලින්ම සාක්ෂියට කැඳවන ලද්දේ පැමිණිල්ලේ සාක්ෂි අංක 110 ලෙස ලැයිස්තුගත කර ඇති කේ.ඒ.නිරෝෂන් දර්ශන කොල්ලුරේ නමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය. සාක්ෂි දුන් දිනය වන විට ඔහු වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ලෙස සේවය කරන බවත්, 2022/05/09 දින ඇතුලු කාල සීමාවේ ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ලෙස සේවය කල බවත් කියා සිටින ලදී. ඔහුගේ සාක්ෂියට අනුව 2022/05/09 දින රාත්‍රි 09.05 ට නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් නඩුවට අදාල අපරාධය පිලිබදව මෙම සාක්ෂිකරුට දැනුම් දී ඇත. එවිට මෙම සාක්ෂිකරු රාත්‍රි 09.10 ට පිට වීමේ සටහන් යොදා පිටත්ව ගොස් ඇති අතර රාත්‍රි 10.20 ට අපරාධ ස්ථානයටලඟා වී ඇත. ඔහුගේ සාක්ෂියට අනුව ඔහු යන විට මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ නිහාල් ෆැෂන් ආයතනයේ ඉදිරිපස භූමියේ තිබී ඇත. ඔහු සමග ගිය උප පොලිස් පරීක්ෂක වික්‍රම ආරච්චි ලවා ඔහු අපරාධ ස්ථානයේ ඡායාරූප 499 ක් ලබාගත් බවද, එම ඡායාරූප පී ආර්.208/22 යටතේ කුවිතාන්සි ගත කල සීඩි තැටි දෙකකට ගත් බවද කියා සිටින ලදී. එම ඡායාරූප වලින් 108 ක් පී.1 සිට පී.108 දක්වා සාක්ෂියේදී ලකුණු කරන ලදී. පී ආර්.132/22 සිට පීආර්.207/22 දක්වා නඩු භාණ්ඩ 75 ක්ද ඔහු භාරයට ගෙන ඇත. එම කුවිතාන්සිගත කල නඩු භාණ්ඩ ඔහුගේ පරීක්ෂණාගාරයේ උප සේවයේ රාජකාරි කළ කාන්තා පොලිස් පරීක්ෂක ශාන්තිට භාරදුන් බව ඔහුගේ සාක්ෂියයි. සවස 03.30 ට සිදු වූ අපරාධයට අදාලව ඔහු විසින් රාත්‍රි 10.20 ට සථාන නිරීක්ෂණය කිරීම අතර වූ කාලයේදී එම ස්ථානයේ සිදු වූ කිසිවක් ඔහු නොදන්නා බව ඔහු සාක්ෂියේදි කියා සිටි අතර, ඔහු එකතු කරගත් නඩු භාණ්ඩ කිසිවක චුදිතයන්ගේ ඩී. එන්. ඒ. හෝ ඇගිලි සලකුණු සංසන්දනයක් වී නැත. චෝදනා ඔප්පු කිරීමට වැදගත් වන කරුණු කිසිවක් ඔහුගේ සාක්ෂියෙන් ඉදිරිපත් නොවීය.
එම සාක්ෂිකරුගෙන් පසු පැමිණිල්ලේ සාක්ෂි අංක 136, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති වන ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. ඒ. සම්පත් කුමාර සේනාරත්න පැමිණිල්ලෙන් සාක්ෂියට කැදවන ලදී. ප්‍රථමයෙන් ඔහු තම සුදුසුකම් දීර්ඝ වශයෙන් ප්‍රකෘශ කර, ඉන්පසු ඩිජිටල් වෝහාරික විද්‍යාව පිලිබදව දීර්ඝ විස්තරයක් කරන ලදී. 0 සහ 1 යන ඉලක්කම් ඇසුරින් සිදුවන ඩිජිටල් අංකිත ක්‍රියා, එකතු කිරීම්, රැස් කිරීම්, ගබඩා කිරීම් සහ විශ්ලේෂණයන් ඩිජිටල් වෝහාරික විද්‍යාවේදී සිදු කරනු ලබන බව සාක්ෂිකරු විස්තර කලේය. ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කරන විට ඩිජිටල් වෝහාරික විද්‍යාව පිලිබදව ඔහුට සුදුසුකම් මෙන්ම අත්දැකීම් පවතින බව තහවුරු වේ.
සහ ඔහුගේ සාක්ෂියට අනුව 2022/05/19 දින මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම නඩුවේ අපරාධය පිලිබදව ඩිජිටල් වෝහාරික විශ්ලේෂණයක් සහ තාක්ෂණික සහාය ඉල්ලා ඇත. මෙම සාක්ෂිකරුට ලැබුනු නියෝග පරිදි තවත් නිලධාරීන් තුන්දෙනෙකු සමග 2022/05/20 දින පෙ.ව.10.50ට පමණ, 8 GB පෙන් ඩ්‍රයිව් 5 ක්ද, 4TB හාඩ් ඩිස්ක් 2 ක්ද, ඔහුගේ රාජකාරි ලැප්ටොප් යන්ත්‍රයද රැගෙන මෙම රාජකාරියට ගොස් ඇත.
නිට්ටඹුවේ නිහාල් ෆැෂන් ආයතනයට සාක්ෂිකරු 2022/05/20 දින ගිය විට එම ආයතනයේ තොරතුරු තාක්ෂණ කළමනාකරු වන ඒ.ඒ.අමිල නිලන්ත දෙවන මහලේ පැවති දත්ත ගබඩාව සාක්ෂිකරුට පෙන්වා ඇත. එකී ස්ථානයේ රාජකාරි ආරම්භ කරමින් සාක්ෂිකරු දෙවන තට්ටුවේ ඇති දත්ත ගබඩාවෙහි, 2020/05/09 දින ප.ව.03.10 සිට ප.ව.07.00 අතර කාලයට අදාල වන දත්ත ඔහු රැගෙන ගිය 4TB දෘඪාංගයට ගත් බවත්, ගොඩනැගිල්ලෙන් පිටත ඇති පේස්ට්‍රි ෂොප් එක අසල DVR යන්ත්‍රයේ දත්ත ඔහු රැගෙන ගිය 8 GB පෙන් ඩ්‍රයිව් එකකට ගත් බවත් කියා සිටියේය. යටි මහලේ (Basement) දත්ත පරීක්ෂාවේදී එහි DVR යන්ත්‍රයේ වේලාව වැරදියට පෙන්වන බව නිරීක්ෂණය කරමින්, එම යන්ත්‍රයේ 2022/05/08 දින 07.00 සිට 11.30 අතර වශයෙන් දැක්වෙන වීඩියෝවල දත්ත 4TB දෘඪාංගයට ගත් බව කියා සිටියේය. නීතිඥ සිතාරා මීමනගේ මහත්මියගේ කාර්යාලයේ වීඩියෝ පරීක්ෂා කිරීමට ගිය බවත්, එහි අංක 6 සහ 7 කැමරා ක්‍රියාකාරි වූ බැවින් 8 GB සැනලි ධාරකයට (pen drive) එහි වීඩියෝ ගත් බවත් ඔහුගේ සාක්ෂියේදී කීවේය. එතනින් පසු නිහාල් ෆැෂන් ආයතනයේම පලමු මහලේ DVR යන්ත්‍රයේ වීඩියෝ වල 2022/05/09 දිනැති සවස 03.00 ත් 07.00 අතර කාලයට අදාල දත්ත 4TB දෘඪාංගයට ලබාගෙන ඇත. ඔහුගේ සාක්ෂියට අනුව මුදල් අයකැමි සිටින ස්ථානයේ DVR යන්ත්‍රය අක්‍රීය වී ඇත.
සාක්ෂිකරු ඉන්පසුව නිට්ටඹුව නගරයේ නදී ෂූ පැලස් ආයතනයේ DVR යන්ත්‍රය පරික්ෂා කර ඇත. ඔහුගේ සාක්ෂියට අනුව එම යන්ත්‍රයේ වේලාව විනාඩි 17 ක් වැරදියට පෙන්වා ඇත. ඔහු පාර දෙසට යොමු වී තිබුනු අංක 1 සහ 7 කැමරාවල වීඩියෝ වලට අදාල දත්ත සවස 1.00 සහ 2.00 අතර කාල සීමාව ආවරණය වන ලෙස 8GB සැනලි ධාරකයට (pen drive) පිටපත් කරගෙන ඇත. ඉන්පසු නිට්‌ටඹුව නගරයේ සුරපති බෑග් ආයතනයට ගොස් ඇත. එහි DVR යන්ත්‍රයේ වේලාව නිවැරදිව පෙන්වා ඇති අතර 2022/05/09 සවස 12.10 සිට සවස 06.00 දක්වා වන වීඩියෝ වලට අදාල දත්ත 8 GB සැනලි ධාරකයට (pen drive) ගෙන ඇත.
අවසානයට ඔහු ශක්ති වයින් ස්ටෝර්ස් ආයතනයේ DVR යන්ත්‍රය පරීක්ෂා කර ඇත. ඔහු පරීක්ෂා කල 2022/05/20 දිනය වන විට එම ආයතනයේ ඩිවි ආර් යන්ත්‍රයේ 2022/05/09 දිනැති වීඩියෝ වලට අදාල දත්ත මැකී ඒ මත අලුත් වීඩියෝ දත්ත වාර්තාගත වීම (overwrite) ආරම්භ වී ඇති බැවින් ඔහුට එම ආයතනයේ වීඩියෝ ලබාගත නොහැකි වී ඇත. නමුත් ඔහු එම ස්ථානයට යාමට පෙර පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ බස්නාහිර උතුර උප ඒකකයේ ගෝනවල නමැති නිලධාරියා එකී ශක්ති වයින් ස්ටෝර්ස් ආයතනයේ අදාල කාල සීමාවේ වීඩියෝ පිටපත් කරගෙන තිබුනු බව දැනගෙන මෙම සාක්ෂිකරු ගෝනවල නිලධාරියාගෙන් එකී විඩියෝ වලට අදාල දත්ත 4 GB සැනලි ධාරකයට (pen drive) බාගත කරගෙන (Download) ඇත.
මෙම සාක්ෂිකරු ලබාගත් දත්ත ඔහුගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයට පිටපත් කරගෙන නිහාල් ෆැෂන් ආයතනයේ එක එක තට්ටුවට අදාල වීඩියෝ වෙන වෙනම ෆෝල්ඩර් (folder) වලට දමා සිප්සයිල් (zip files) නිර්මාණය කළ බව ඔහු සාක්ෂි දී කියන ලදී. එසේ සිප් කිරීමෙන් පසු එම ෆයිල් වල අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා වර්තමානයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කර ඇති තාක්ෂණයක් බවට සාක්ෂිකරු විස්තර කළ හෑෂ් අගයක් (hash) ඒවාට ලබා දී ඇත. හෑෂ් අගය ලබාදීම සඳහා අන්තර් ජාතික වශයෙන් සම්මත වූ හෑෂ් ඇල්ල්ගොරිදම් (hash algorithm) භාවිතා කරන බවත්, ඒ සඳහා විවිධ සම්මත ඇල්ගොරිදම් පවතින බවත්, තමන් ඒවායින් තුනක් භාවිතා කරමින් හෑෂ් අගයන් තුන බැගින් එම ෆයිල්වලට ලබා දුන් බවත් සාක්ෂිකරු විස්තර කරන ලදී. 2024.03.01 දින පස්වරු 12.50 ට ආරම්භ වූ විභාග සටහන්වල දෙවන පිටුවේ සාක්ෂිකරු විසින් හෑෂ් අගයන් ලබා දුන් සියලු විස්තර වාර්තාගත කර ඇත. එකී සාක්ෂිය සලකා බලන විට ඔහු සෑම ෆෝල්ඩරයක්ම ඇල්ගොරිදම් තුනක් මගින් හෑෂ්කරණය කර ඇති බව තහවුරු වේ. ඔහුගේ සමස්ථ සාක්ෂියෙන් තහවුරු වන්නේ හෑෂ් අගයක් ලබාදුන් පසු අදාල ලේඛනය, ගොනුව, ෆෝල්ඩරය හෝ වෙනත් ඕනෑම ඩිජිටල් නිර්මාණයක් (Digital entity) කොතරම් පිටපත් කළද එම හෑෂ් අගය දිගටම පවතින බවයි. එසේම එකී ඩිජිටල් නිර්මාණයට අතිශය සුළු වෙනසක් සිදු කළද හෑෂ් අගය වෙනස් වන බව ඔහු කියා සිටියේය. තවද යම් ඩිජිටල් නිර්මාණයක් ලෝකයේ ඕනෑම ස්ථාන කීපයක සිට එකම ඇල්ගොරිදම් එකෙන් හෑෂ්කරණය කලොත් එකම අගය ලැබෙන බව ද ඔහුගේ සාක්ෂියයි.

මෙම සාක්ෂිකරු සාක්ෂි දෙන විට පැ.1 වශයෙන් ඒ වන විටත් ලකුණු කර තිබුණු ලිපි කවරයක් විවෘත කළ විට පැ.28 ලෙස ලකුණු කළ 256 GB සැනලි ධාරකයක් සහ පැ.29 ලෙස ලකුණු කළ 32GB සැනලි ධාරකයක් විය. සාක්ෂිකරු සිය සාක්ෂියෙහි කියා සිටියේ ඔහු විසින් ඒවා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් ලකුණු කරන ලද්දේ 32GB සැනලි දාරකය පැ.28 වශයෙන් බවත්, 256 GB සැනලි ධාරකය පැ.29 වශයෙන් බවත්ය. නමුත් මෙම සාක්ෂිකරු රස පරීක්ෂක වෙත එකී සැනලි ධාරක දෙක යැවීම සදහා මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒවා සඳහා ලබාදුන් ලකුණු කිරීම්, රස පරීක්ෂක විසින් පරීක්ෂා කර ආපසු එවීමේදී මාරු වී ඇත. ඒවායේ අඩංගු වීඩියෝ සඳහා හෑෂ් අගයන් ලබාදී ඇති බැවින් ලකුණු කිරීම් මාරු වුවද වලංගුතාවයට බලපෑමක් නොවන බව සාක්ෂිකරු කියා සිටියේය. නමුත් ඉහල පුහුණුවක් ලද නිලධාරීන් දෙදෙනෙකු වන ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා සහ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක (සාක්ෂි දුන් කාලයේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු) විසින්, ඔවුන් පුහුණුව ලබා ඇති ආකාරයට රාජකාරි කටයුතු කරද්දී, වැදගත්ම වීඩියෝ අඩංගු කර ඇති සැනලි ධාරක දෙකක ලකුණු කිරීම් මාරු වීම නොසලකා හැරිය හැකි අතපසු වීමක් නොවේ. යම් නඩුවක නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සදහා මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒවාට දුන් සලකුණු කිරීම්, ආපසු රස පරීක්ෂකගෙන් එම භාණ්ඩ ලැබෙන විට වෙනස් වී තිබුන හොත් නඩුව සම්පූර්ණයෙන් අසාර්ථක වීමට පවා එම වෙනස හේතු වේ. නමුත් මෙම නඩුවේ රස පරීක්ෂක වෙත යවා ඇත්තේ භෞතික ද්‍රව්‍යයක් නොව අතට හසු නොවන ඩිජිටල් ද්‍රව්‍යයක් වන වීඩියෝ බැවිනුත්, ඒවා හෑෂ්කරණය කළ බැවින් අනන්‍යතාවය සුරැකී ඇති බව පසුවට කැදවූ නුවන් සදගිරිද කියා සිටි බැවිනුත්, මෙම කරුණ මෙම තීන්දුවේ ඉදිරියට තීරණය කරමි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්නගේ සාක්ෂියේදී එකී පැ.28, පැ.29 සැනලි ධාරක දෙක ලැප්ටොප් යන්ත්‍රයකින් විවෘත කරමින් 256 GB සැනලි ධාරකය පැ.2 ලෙසත්, අනෙක් සැනලි ධාරකය පැ.3 ලෙසත් ලකුණු කරන ලදී. එකී පැ.2, පැ.3 ලකුණු කිරීමට අදාලව D1 වශයෙන් ලේඛනයක් ලකුණු කරන ලදී. පැ.2 හි වෙන වෙනම ෆෝල්ඩර් තුළ වීඩියෝ අන්තර්ගත කර ඇත. පැ. 2C1 ලෙස ලකුණු කලේ නිහාල් ෆැෂන් ආයතනයේ යටිමහලේ එනම්, බේස්මන්ට් ලෙස හඳුන්වන මහලේ වීඩියෝ දර්ශනයි. පැ.2C2 ලෙස පළමු මහලේ වීඩියෝ අඩංගු ෆෝල්ඩරයත්, පැ.2C3 ලෙස දෙවන මහලේ වීඩියෝ අඩංගු ෆෝල්ඩරයත්, පැ.2C4 ලෙස බිම් මහලේ සහ 4 වන තට්ටුවේ වීඩියෝ අඩංගු ෆෝල්ඩරයත්, පැ.2C5 ලෙස නිහාල් ෆැෂන් ආයතනයේ ප්‍රෙස්ට්‍රි ෂොප් එක අසල කැමරාවල අඩංගු වීඩියෝ ඇතුළත් ෆෝල්ඩරයත් ලකුණු කරන ලදී. ඉන්පසු පැ.2B ලෙස ශක්ති වයින් ස්ටෝර්ස් ආයතනයේ කැමරාවල වීඩියෝ, පැ.2E ලෙස සුරපති බෑග් ආයතනයේ කැමරා වල වීඩියෝ ඇතුළත් ෆෝල්ඩර් ලකුණු කරන ලදී. සාක්ෂියේදී කියා සිටි පරිදි පැ.3 ලෙස ලකුණු කළ සැනලි ධාරකය තුල ඇත්තේ ශක්ති වයින් ස්ටෝර්ස් ආයතනයේ කැමරා වල ඇති වීඩියෝම වේ.

සේනාරත්නගේ සාක්ෂියේදීම, D4 වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ වන විට ලකුණු කර තිබුනු DVD තැටියක් ඉදිරිපත් කළ අතර, එය මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකතනයක ඇතුළත් වූ නඩුවට අදාල සිද්ධිය දැක්වෙන වීඩියෝ බවත්, එහි තිබූ ඔහුගේ පුද්ගලිකත්වයට හානිවන දත්ත පිටපත් නොකළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. එකී තැටියට ඇතුළත් කළේ ජංගම දුරකථනයේ මැකී ගිය දත්ත බවත්, ඒවා නැවත යථාවත් කළ හැකි වෝහාරික මෘදුකාංගයක් භාවිතයෙන් නැවත ලබාගෙන හෑෂ් කරන ලද බවත් සාක්ෂිකරු කියා සිටින ලදී. එකී තැටියේ වීඩියෝ 13 ක් අඩංගු බව පෙන්වා දෙමින් ඔහුගේ සාක්ෂියේදී එම තැටිය පැ.5(i) ලෙස ලකුණු කරන ලද අතර එම තැටිය තුළ අන්තර්ගත දත්තවලට දුන් හෑෂ් අගයන් 2024.03.14 දින පස්වරු 02.45 විභාග සටහන්වල 8, 9 පිටුවල වාර්තාගත කර ඇත. එකී හෑෂ් අගයන් දැක්වෙන ලේඛනයක් D4 ලෙසද, වීඩියෝ දර්ශන වල විස්තර වල ලේඛනයක් D3 ලෙසද සාක්ෂියේදී ලකුණු කරන ලදී.
සබැඳි ලිපි :
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු තීන්දුව: 12 දෙනෙකුට මරණ දඬුවම - පළමු කොටස




