අගෝස්තු 30  අද දිනට අතුරුදහන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදී තිබේ.

වසර ගණනාවක් විවිධ සංවිධාන මට්ටමින් සමරනු ලැබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය,  30 වැනිදාවේ තෙවැනි වරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සැමරීමට හැකිවනු ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එය සංවිධානය කරන බැවිනි.

 

පුළුල් අරමුණ:

අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වූයේ එම කාර්යාල පනත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟය.

විශේෂයෙන්ම අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ජාත්‍යන්තර උවමනාවක් බවත් එය රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කර ගනිමින් පිහිටවූවක් බවත් වත්මන් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වන්ගේ අදහස විය.

''අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ජාත්‍යන්තර උවමනාවක් බවත් එය රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කර ගනිමින් පිහිටවූවක් බවත් වත්මන් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වන්ගේ අදහස වේ.''

ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) 2016 අංක 14 දරන පනත මගින් පිහිටුවීම හුදු අහඹුවක් හෝ ඉබේ සිදුවූවක් හෝ නොවේ.

එකී කාර්යාලය උතුරේ යුද්ධයට පමණක් සීමා වූවක් නොවන අතර එදා මෙදා තුර ලංකාවේ සිදුවූ සියලු‍ අතුරුදහන් වීම් පිළිබඳ සොයා බැලීම සහ ඔවුනගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන පුළුල් කාර්යභාරය පෙරදැරිව 2018 පෙබරවාරි මස 28 වන දින පිහිටුවන ලදී.

 

ගමන් මඟ:

බොහෝ දෙනාගේ තේරුම් ගැනීම වන්නේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, 2015 වසරේ සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී  ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන 30/1 යෝජනාවලියට ලංකාව සමඅනුග්‍රහකත්වය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස එහි එකඟතාවන් අනුව ක්‍රියාත්මක කරන ලද යාන්ත්‍රණයක් හැටියටය.

''බොහෝ දෙනාගේ තේරුම් ගැනීම වන්නේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, 2015 වසරේ සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී  ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන 30/1 යෝජනාවලියට ලංකාව සමඅනුග්‍රහකත්වය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස එහි එකඟතාවන් අනුව ක්‍රියාත්මක කරන ලද යාන්ත්‍රණයක් හැටියටය.''

එහෙත් මෙරට අතුරුදන් කිරීමේ ඉතිහාසය තරම්ම දීර්ඝ ඉතිහාසයක් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා විවිධ රජයන් යටතේ වරින් වර පත් කළ කොමිෂන් සභා සහ කමිටුවලටද තිබේ.

මෙම පරීක්ෂණ කොමිෂන් සභා සියල්ලම පාහේ අනාගතයේ අතුරුදහන් වීම් සිදුවීම වැළැක්වීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ නිර්දේශ කර ඇත.

රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ නෛතික හා ආයතනික රාමුව ශක්තිමත් කිරීම, අතුරුදහන්වූවන්ට අත්වූ ඉරණම තහවුරු කිරීම සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ වූ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය නිසි පියවර ගැනීම ආදිය එවැනි නිර්දේශයන්ය.

2010 වසරේ රාජපක්ෂ ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් (LLRC) වාර්තාවෙහි නිර්දේශයකට අනුව අතුරුදන්කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට නිශ්චිත ආයතනයක් ඇති කළ යුතු බව පෙන්වා දී තිබුණි.

''2010 වසරේ රාජපක්ෂ ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් (LLRC) වාර්තාවෙහි නිර්දේශයකට අනුව අතුරුදන්කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට නිශ්චිත ආයතනයක් ඇති කළ යුතු බව පෙන්වා දී තිබුණි. ''

 

මැක්ස්වෙල් පරණගම කොමිසම :

Maxwel Paranagama Comisonඑකල ආණ්ඩුව ආයතනයක් වෙනුවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කළේය.

ඒ අනුව එකල ආණ්ඩුව ආයතනයක් වෙනුවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කළේය.

අතුරුදන්වූවන් හා යුද්ධය අවසාන සමයේ රජය හා එල්ටීටීඊය සංවිධානය සිදු කළා යැයි පැවසෙන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට 2013 වසරේ මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම ප්‍රමුඛ සුරංජනා විද්‍යාරත්න, මනෝ රාමනාදන් ඇතුළු සාමාජිකයන් 3 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කළ අතර, අතුරුදන්වූවන්ගේ පැමිණිලි 1000ක් පමණ විමර්ශනයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයන් 11ක් අඩංගු විය.

අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීමට නීතිමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම හා එම පවුල්වලට මූල්‍යමය වන්දි ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් එහි ඇතුළත් විය.

අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීමට නීතිමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම හා එම පවුල්වලට මූල්‍යමය වන්දි ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් එහි ඇතුළත් විය.

එසේම සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය රට තුළ මහජන අදහස් විමසීමෙන් අනතුරුව 2016 වසරේ නිකුත් කළ සිය අවසන් වාර්තාව ඔස්සේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලයක් මෙන්ම වින්දිත පාර්ශ්වයන්ගේ සත්‍ය, යුක්තිය ඉටු කර ගැනීම සහ ඔවුන් හානිපූරණය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ.

 

ජිනීවා යෝජනාව:

එහෙත් කොමිෂන් සභා වාර්තාවල නිර්දේශයන් ක්‍රියාත්මක කරවා ගැනීමට අසමත් වීමෙහිලා දේශපාලනික වශයෙන් තිබූ පසුගාමීත්වය, වින්දිතයින් නිසි ලෙස මෙහෙයවා ගැනීමට නොහැකි වීම මෙන්ම එම ව්‍යාපාරයන්හි පැවති ගැටලු‍ හේතු වූ බව අතීතය පිරික්සීමේදී පෙනි යයි.

ඒ අනුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහමුලින්ම දේශිය අවශ්‍යතාවක්ව තිබුනද එය ක්‍රියාත්මක නොවන වාතාවරණයක් යටතේ 2015 වසරේ සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී  ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යටතේ 30/1 යෝජනාවලියට ලංකාණ්ඩුව සමඅනුග්‍රහකත්වය දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත වතාවක් වින්දිතයින්ට සත්‍ය, යුක්තිය, හානිපුරණය හා නැවත සිදුනොවීම සහතික කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරන ලදී.

ඒ අනුව අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ යාන්ත්‍රණයක් ලෙස මෙම කාර්යාලය පිහිටුවීමට කටයුතු කරනු ලැබීය.

 

කාර්යාලය පිහිටුවීම:

OMP Office

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, හිටපු ජනාධිපතිවරයා විසින් 2018 පෙබරවාරි මස කොමසාරිස්වරු හත්දෙනකු පත් කිරීමෙන් අනතුරුව මෙම කාර්යාලය පිහිටුවන ලදී. ''

‘පැහැරගෙන යාමේ වින්දිතයින් වශයෙන් අතුරුදන් වූ තැනැත්තන්, ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ තැනැත්තන් ඇතුළුව සටන්වලදී හෝ අන්‍යාකාරයකින් සන්නද්ධ ගැටුම්වලට අදාළව අතුරුදන් වූ තැනැත්තන්, දේශපාලන නොසන්සුන්තා සහ සිවිල් කැරලි කෝලහලවලදී අතුරුදන් වූ තැනැත්තන් ඇතුළුව අතුරුදන් වීම් සිදුවී ඇති හෙයින්ද, අතුරුදන් වූ තැනැත්තන් එසේ අතුරුදන් වූ අවස්ථානුගත කරුණු පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන පිළිබඳව දැනගැනීමට අතුරුදන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට හිමිකම ඇති හෙයින්ද, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ සෙවීම සහ ඔවුන් පිළිබඳ පිළිබඳ සොයා ගැනීමට අවශ්‍ය සියලු‍ පියවර සඳහාද අතුරුදන් වූ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ බැඳියා ආරක්ෂා කිරීම සඳහාද මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහාද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටු වීම අවශ්‍ය බව හඳුනාගෙන ඇතැයි’ මෙම කාර්යාලීය පනතෙහි සඳහන් වේ.

පනත ප්‍රකාරව මෙම කාර්යාලයේ කාර්ය භාරය වශයෙන් පෙන්වා දී ඇත්තේ,

■ අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ සොයා ගැනීමට සහ ඒ සඳහා උචිත යාන්ත්‍රණ හඳුනාගැනීම සහ එම තැනැත්තන් අතුරුදහන් වූ අවස්ථානුගත කරුණු සහ ඔවුන්ගේ ඉරණම පැහැදිලි කිරීම.

■ අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.

■ මේ පනතේ විධිවිධාන සලසා ඇති පරිදි අතුරුදහන් වූ තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් බැඳියා ආරක්ෂා කිරීම.

■ අතුරුදහන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ලබා ගැනීමට හිමිකම් ඇති සහන මාර්ග හඳුනාගැනීම සහ එවැනි මාර්ග පිළිබඳව එම අතුරුදහන් වූ තැනැත්තන්ට (ජීවත්ව සිටිය දී සොයාගනු ලැබුවහොත්) හෝ ඥාතීන්ට දැනුම් දීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, හිටපු ජනාධිපතිවරයා විසින් 2018 පෙබරවාරි මස කොමසාරිස්වරු හත්දෙනකු පත් කිරීමෙන් අනතුරුව මෙම කාර්යාලය පිහිටුවන ලදී.

මේ වන විට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව මාතර, මන්නාරම, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කාර්යාල විවෘත කර තිබේ.

 

අතුරු වර්තාව:

OMP Report 2018

2018 අගෝස්තු මස අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිකුත් කර ලද අතුරු වාර්තාව මඟින් රජය වෙත නිර්දේශ ගණනාවක් නිකුත් කරනු ලැබූ අතර අතුරුදහන් තැනැත්තන්ගේ පවුල් සඳහා රු. 6000ක මාසික දීමනාවක් ගෙවීමට ද එමඟින් නිර්දේශ කෙරිණි.

''2018 අගෝස්තු මස අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිකුත් කර ලද අතුරු වාර්තාව මඟින් රජය වෙත නිර්දේශ ගණනාවක් නිකුත් කරනු ලැබූ අතර අතුරුදහන් තැනැත්තන්ගේ පවුල් සඳහා රු. 6000ක මාසික දීමනාවක් ගෙවීමට ද එමඟින් නිර්දේශ කෙරිණි.''

තවද, වින්දිත පවුල් සඳහා අතුරු සහන ලෙස, ණය සහන, නිවාස, අධ්‍යාපන, වෘත්තීය පුහුණුව, ජීවනෝපය සංවර්ධනය සහ රැකියා නියුක්තිය ඇතුළුව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කිරීමට අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය කටයුතු කළේය.“

 

තත්කාලීන ලැයිස්තුව:

අතුරුදහන් වීම් පුළුල් ලෙස සෑම කලාපයකටම හා ප්‍රජාවකටම බලපා ඇති නමුත්, ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් වී ඇති මුළු පුද්ගලයන් නිශ්චිත සංඛ්‍යාවක් තවමත් ගණනය කර නොමැත.

නිශ්චිත කාලසීමා සහ කලාපවල සිදුවූ අතුරුදහන් වීම් විමර්ශනය කිරීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභා විවිධ සංඛ්‍යා වාර්තා කර තිබීමද ගැටලු‍කාරීය.

මේ තත්ත්වය යටතේ රාජකාරියේ නිරතවී සිටියදී අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දැනට පවත්නා වාර්තා මත පදනම්ව, 2020 පෙබරවාරි මාසයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ තත්කාලීන ලැයිස්තුවක් පිළියෙල කිරීමට පියවර ගත් අතර සිය සමීපතමයන්ගේ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව තහවුරු කරන ලෙසට පවුල්වල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමට කාර්යාලය කටයුතු කළේය.

 මීට අතිරේකව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, පෙර පැවති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ඇතුළු අනෙකුත් මුලාශ්‍රයන්ගේ ඇතුළත් දත්ත මේ වෙනුවෙන් එක්රැස් කරමින් පවතින බව පෙබරවාරි මස නිකුත් කරන ලද නිවේදනයක් ඔස්සේ පෙන්වා දී ඇත.

 

වෙනත් මැදිහත් වීම්:

Mirusivilසැක සහිත සමූහ මිනී වළවල් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ...

මීට අතිරේකව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් පෙන්වා දෙන පරිදි, පසුගිය වසර දෙක තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සැක සහිත සමූහ මිනී වළවල් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඒවාට අවශ්‍ය සහාය ලබා දී ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වීම් සම්බන්ධ සිද්ධිවලට අදාළව සුදුසු අවස්ථා වලදී අපරාද නඩු පැවරීමේ යෝග්‍යතාවය පිළිබඳවත් මිනිස් ශරීර කොටස් හඳුනා ගැනීමේ සහ පුද්ගලයින් රඳවා ගැනීමේ ක්‍රියාවලි සම්බන්ධ නීතින්වලට අදාළ ප්‍රතිසංස්කරණ සඳහාත් පෙනී සිට තිබේ.’

 

අනාගතය ???

වින්දිත පවුල් මෙමඟින් බලාපොරොත්තු වන සත්‍ය සහ යුක්තිය ඉටු කර ගැනීම සඳහා වන ප්‍රවේශයක් විවර කර ගැනීම කාර්යාලය විසින් මුහුණ දුන් විවිධ අභියෝග හේතුවෙන් එතරම්ම පහසු සහ ඉක්මන් ක්‍රියාවලියක් නොවූ බව සැබෑය.

එහෙත් පළමුවරට මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම මඟින් වින්දිතයින් තුළ විශ්වාසය සහ බලාපොරොත්තුව දැල් වීමට සමත් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට වත්මන් රජය මෑතක දී ගත් තීරණයත් පනත සංශෝධනය කළ යුතු බවට වන රජයේ අදහසත් හේතුවෙන්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත් වූ ඉරණම පිළිබඳව සත්‍යය දැන ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් වේදෝ යන සැකය අතුරුදහන්වූ තැනැත්තන් සම්බන්ධයෙන් කාර්යාලයක් ආරම්භ කර වසර තුනකට ආසන්න වන විට නැවත මතුව තිබීම එක් අතෙකින් කණගාටුදායකය.

''අතුරුදහන් වූ තැනැත්තන්ට අත් වූ ඉරණම පිළිබඳව සත්‍යය දැන ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් වේදෝ යන සැකය අතුරුදහන්වූ තැනැත්තන් සම්බන්ධයෙන් කාර්යාලයක් ආරම්භ කර වසර තුනකට ආසන්න වන විට නැවත මතුව තිබීම එක් අතෙකින් කණගාටුදායකය.''

 අතුරුදහන්වූවන් සම්බන්ධ ගැටලු‍වේදී වින්දිත පාර්ශ්වයන්ගෙන් යම් කොටසක් රාජ්‍ය ක්‍රියාකාරීත්වය දෙස සැකයෙන් බැලීම සාමාන්‍යය මෙන්ම සාධාරණ ද වේ.

ඒ සැකය දුරු කිරීමට නම් රජය මගින්ම පිහිටුවනු ලබන නමුත් රජයෙන් ස්වාධීන වූ මේ කාර්යාලය වැනි ආයතනයක් අතුරුදන්වූවන්ගේ ආදරණීයයන් සමග එක්ව විසඳුම් සෙවිය යුතුය.

සංවේදී විෂය කේෂ්ත්‍රයන් නියෝජනය කරන රාජ්‍ය ආයතනවල විවිධ කාල වලදී උස් පහත් වීම් දැක ගැනීමට හැකි වීම සාමාන්‍ය දෙයකි. අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලයටද එය පොදුය.

පසුගිය යහපාලන රජය සමයේදී රජය, රාජ්‍ය නොවන සංවිධාන, ස්වාධීන ආයතන සංකල්පීයමය තලයේදී එකට මිශ්‍රව පැවතීම එම ආයතනවල ස්වාධීන බව සමාජයේ තහවුරුවීමට බාධාවක් විය.

Gotabaya 2020 HE''ශක්තිමත් රාජ්‍යක් ගොඩ නැගීමට නව රජයට විශාල ජනවරමක් ලබා දී ඇත.
ශක්තිමත් රාජ්‍යයක් යනු තම පුරවැසියන් සම්බන්ධයෙන් සියලු‍ වගකීම් දරන රාජ්‍යයකි.''

නව රජය යටතේ එම බාධාවන් ජයගෙන කාර්යාලයේ කටයුතු වඩා ස්වාධීනව සහ සක්‍රීයව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැක.

ශක්තිමත් රාජ්‍යක් ගොඩ නැගීමට නව රජයට විශාල ජනවරමක් ලබා දී ඇත. ශක්තිමත් රාජ්‍යයක් යනු තම පුරවැසියන් සම්බන්ධයෙන් සියලු‍ වගකීම් දරන රාජ්‍යයකි.

Jayani(ජයනි අබේසේකර විසින් ලියන ලද ලිපියකි)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

[උපුටා ගැනීම samabima.com]

subscribeYT

නවතම පුවත්