මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ ඉදිරි සති වලදී සිදු කරන සාකච්ඡාවට අදාලව වැදගත් වන යම් සංකල්පයන් හදුන්වා දිමයි.

එය තරමක් නීරස විය හැකි වුවත්, එහි ප්‍රායෝගික වැදගත්කම සලකා හැකි පමණ සරලව එම සංකල්ප මෙම ලිපිය මගින් සාකච්ඡා කරමි.

'ජනවාර්ගිකත්වය' (ethnicity) සහ 'ජාතිකත්වය' (nationalism) යනු සමාජ සහ දේශපාලන නිර්මාණයක් මිස, ඉබේ 'ලැබෙන' දේවල් නොවන බව මහාචාර්ය පෝල් ආර්. බ්‍රාස් පෙන්වා දෙයි.

ඔහු දක්වන ආකාරයට යම් කණ්ඩායම්වල සංස්කෘතික ලක්ෂණ පාවිච්චි කරමින්, ඇතැම් විට ඒවා තමන්ට වාසි සහගත ආකාරයට වෙනස් කරමින්, තවත් විටෙක අලුත් ලක්ෂණ නිර්මාණය කරමින් 'ප්‍රභූ පන්තිය' විසින් තමන්ගේත්, තමන් නියෝජනය කරන කණ්ඩායම් වලත් යහ-පැවැත්ම හෝ දේශපාලන හෝ ආර්ථික වාසි ඉලක්ක කර ගනිමින් 'ජනවාර්ගිකත්වය' සහ 'ජාතිකත්වය' නිර්මාණය කරයි.

Prof PR Brassමහාචාර්ය බ්‍රාස් තව දුරටත් පෙන්වා දෙන පරිදි, මේ ආකාරයට සමාජ සහ දේශපාලනිකව නිර්මාණය කරන 'ජනවාර්ගිකත්වය' සහ 'ජාතිකත්වය', ඒ ආකාරයටම අවශ්‍ය නම් සමාජ සහ දේශපාලනිකව ආපසු හරවා, බිද දැමීමට ද හැකියාව ඇත.

ඒ අනුව ඔහු තර්ක කරන්නේ 'ජනවාර්ගිකත්වය' සහ 'ජාතිකත්වය' ඉබේ ජනිත වන දේවල් නොව, අවශ්‍ය නම් නිර්මාණය කිරීමටත්, අනවශ්‍ය නම් බිද දැමීමටටත් හැකි යම් කණ්ඩායම් විසින් සමාජ සහ දේශපාලනමය වශයෙන් සිදු කරන නිර්මාණයන් බවයි.

''මහාචාර්ය පෝල් ආර්. බ්‍රාස් තර්ක කරන්නේ 'ජනවාර්ගිකත්වය' සහ 'ජාතිකත්වය' ඉබේ ජනිත වන දේවල් නොව, අවශ්‍ය නම් නිර්මාණය කිරීමටත්, අනවශ්‍ය නම් බිද දැමීමටටත් හැකි යම් කණ්ඩායම් විසින් සමාජ සහ දේශපාලනමය වශයෙන් සිදු කරන නිර්මාණයන් බවයි.''

එසේම මහාචාර්ය බ්‍රාස් පෙන්වා දෙන්නේ 'ජනවාර්ගිකත්වය' සහ 'ජාතිකත්වය' නූතන මධ්‍යගත රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සමග අත්‍යන්තයෙන් සම්බන්ධ 'නූතන සංකල්පයක්' බවයි.

Prof.AD Smithඑහෙත් මෙම මතය ඇතැම් විද්‍යාර්ථීන්ගේ, උදාහරණයක් ලෙස මහාචාර්ය ඇන්තනි ඩී. ස්මිත් වැන්නවුන්ගේ, මත වලට වඩා වෙනස් වේ.

ඔවුන් දක්වන්නේ ජනවාර්ගිකත්වය සහ ජාතිකත්වය යම් ජන කණ්ඩායම්වල ලිඛිත ඉතිහාසයේ ඇති සාක්ෂි ඇසුරින් ඔවුන්ගේ ප්‍රාථමික අනන්‍යතා නැවත මතුවීමෙන් 'ලැබෙන' දේවල් මිස, නූතන සංකල්ප නොවන බවයි.

එහෙත්, මහාචාර්ය බ්‍රාස් පෙන්වා දෙන පරිදි 'ජනවාර්ගික අනන්‍යතාව' සහ 'නූතන ජාතිකත්වය' පැන නගින්නේ 'ඓතිහාසික' හේතු නිසා නොව, මධ්‍යම රජයේ නායකයන් සහ විශේෂයෙන් මධ්‍යම රාජ්‍යයෙන් දුරස්ථව සිටින සුලු ජනවාර්ගික කණ්ඩායම් වල ප්‍රභූන් අතර ඇතිවන විශේෂාකාරයේ අන්තර් සම්බන්ධතා වල ප්‍රතිපලයක් ලෙස බවයි.

''මහාචාර්ය බ්‍රාස් පෙන්වා දෙන පරිදි 'ජනවාර්ගික අනන්‍යතාව' සහ 'නූතන ජාතිකත්වය' පැන නගින්නේ 'ඓතිහාසික' හේතු නිසා නොව, මධ්‍යම රජයේ නායකයන් සහ විශේෂයෙන් මධ්‍යම රාජ්‍යයෙන් දුරස්ථව සිටින සුලු ජනවාර්ගික කණ්ඩායම් වල ප්‍රභූන් අතර ඇතිවන විශේෂාකාරයේ අන්තර් සම්බන්ධතාවල ප්‍රතිපලයක් ලෙස බවයි.''

ජන වර්ගයන් ගණනාවක් සිටින මධ්‍යගත රාජ්‍යයන්ගේ 'ජනවර්ගයන් බලමුළු ගැන්වීම' (ethnic mobilisation) සහ 'ජාතිකත්වය නිර්මාණය වීම' (nationality formation) තීරණය වන්නේ එකී මධ්‍යම ආණ්ඩුවේ නායකයන් සහ සුලු ජන කොටස් වල ප්‍රභූන් අතරත්, එසේම වරිගයන් ගණනාවක් සිටින රාජ්‍යයක සුලු ජන ප්‍රභූන් එකිනෙකා අතරත් ඇති කරගන්නා සන්ධානයන්ගේ ස්වභාවය අනුව බව මහාචාර්ය බ්‍රාස් පෙන්වා දෙයි.

එකී සන්ධානයන් ඇතැම් විට ගැටුම් සහගත වන අතර, ඇතැම් විට අනෝන්‍ය සහයෝගය මත පදනම් වේ. මධ්‍යම රජයේ නායකයන් ප්‍රාදේශීය ජන කොටස්වල සහාය ලබා ගෙන තම පුද්ගලික බලය ස්ථාවර කර ගැනීම සදහා සුලු ජන ප්‍රභූ කණ්ඩායම් අතුරින් එක් කණ්ඩායමකට විශේෂත්වය දැක්වීම හෝ ඔවුන් එකිනෙකා බෙදා වෙන් කිරීම හෝ කිසිදු ප්‍රභූ කණ්ඩායමගේ පැත්තක් නොගෙන මධ්‍යස්ථව සිටීම හෝ සිදු කරයි.

මෙසේ මධ්‍යම රජයේ නායකයන් සහ සුලු ජන ප්‍රභූන් අතර ඇතිවන විවිධාකාරයේ සන්ධානයන් ගේ ස්වභාවය අනුව දේශපාලනික වශයෙන් 'ජනවර්ගයන් බලමුළු ගැන්වීම' සහ 'ජාතිකත්වය නිර්මාණය වීම' සිදුවන බව මහාචාර්ය බ්‍රාස්ගේ මතයයි.

එබැවින්, ජනවාර්ගිකත්වය සහ ජාතිකත්වය සමාජ සහ දේශපාලන කරුණු උඩ නිර්මාණය වන නූතන සංකල්පයන් බව මහාචාර්ය බ්‍රාස් අවධාරණය කරයි.

''එබැවින්, ජනවාර්ගිකත්වය සහ ජාතිකත්වය සමාජ සහ දේශපාලන කරුණු උඩ නිර්මාණය වන නූතන සංකල්පයන් බව මහාචාර්ය බ්‍රාස් අවධාරණය කරයි.''

එසේම, 'ජනවාර්ගිකත්වය' යනු සිය ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳව ඇති හැගීමක් වන අතර, යම් කණ්ඩායම් විසින් සංස්කෘතිකමය වශයෙන් තමන්ට වැදගත් අංග සංකේතාත්මකව හෝ අවස්ථාවෝචිතව පාවිච්චි කරමින්, තමන් යම් කණ්ඩායමක සාමාජිකයෙකු බව හෝ වෙනත් කණ්ඩායමකින් වෙන් වන බව පෙන්නුම් කරයි.

එය භාෂාව, ආගම, භූගෝලීය ප්‍රදේශය, හෝ වර්ණය යනාදී සංකේත උපයෝගී කරගනිමින් සිදු කරයි.

එමගින් තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳ හැගීමක් ඔවුන් ඇති කර ගන්නා අතර, මෙම අවස්ථාව වන විට යමෙකු යම් ජනවර්ගයක සාමජිකයෙකු ලෙස සැලකීමේදී සහ වෙනත් ජනවර්ගයකින් වෙන් කර දැක්වීම සදහා ඔහුගේ/ඇයගේ පරම්පරාව, උපත සහ ඥාතිත්වයට අදාල කරුණු ද එම ජනවර්ගයේ සාමාජිකයන්ට වැදගත් කරුණු බවට පත්වේ.

 

ජනවාර්ගික අනන්‍යතාව ගොඩ නගා ගැනීම...

Mahinda Bikku

ඊට අමතරව, තම ජනවර්ගය අන් වර්ගයන්ට වඩා සුවිශේෂී හෝ අඩුම තරමින් අන් ජනවර්ගයන් සමග සමාන ලෙස තත්ත්වයෙන් සැලකීමට සහ පිළිගැනීමකට ලක් කරවා ගැනීමද ජනවාර්ගික අනන්‍යතාව ගොඩ නගා ගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

සමාජ සහ දේශපාලනිකව මෙසේ තම ජනවර්ගයට තත්ත්වය සහ පිළිගැනීම ලබා ගැනීමේ දී සහ තම ආර්ථික යහ-පැවැත්ම, සිවිල් අයිතිවාසිකම් හෝ අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම සදහා ජනවාර්ගික ප්‍රභූන් ඉල්ලීම් කිරීමේදී යම් ආකාරයක විශේෂ උනන්දුවක් දක්වන කණ්ඩායම් සිදු කරන දේශපාලනයක (interest groups politics) ඔවුන් නියැලේ.

මෙය නොනවතින හෙට්ටු කිරීමක් බවට ක්‍රමයෙන් පත්වන අතර, උදාහරණයක් ලෙස සමාන අධ්‍යාපන අවස්ථා දිනා ගත් පසු ඊලග අදියරට යමින්, තමන්ට බලපාන තම භාෂාව, ආගම, ඉතිහාසය උගැන්විය හැකි ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයට ද තමන්ට අයිතිය ලබා දෙන ලෙස හෙට්ටු කිරීමට ජනවාර්ගික ප්‍රභූන් පිවිසේ.

''උදාහරණයක් ලෙස සමාන අධ්‍යාපන අවස්ථා දිනා ගත් පසු ඊලග අදියරට යමින්, තමන්ට බලපාන තම භාෂාව, ආගම, ඉතිහාසය උගැන්විය හැකි ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයට ද තමන්ට අයිතිය ලබා දෙන ලෙස හෙට්ටු කිරීමට ජනවාර්ගික ප්‍රභූන් පිවිසේ.''

මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් 'ජනවාර්ගික හෙට්ටු කිරීම' ගැන සදහන් කරමින් අවධාරණය කරන්නේ රටේ ව්‍යවස්ථාපිත රාමුව තුළ සිටිමින් මධ්‍යම රාජ්‍යයේ නායකයන් සහ ජනවාර්ගික ප්‍රභූන් අතර ඇරඹෙන මෙම හෙට්ටු කිරීම, එකී ව්‍යවස්ථාපිත රාමුව ජනවාර්ගික ප්‍රභූන්ගේ සහ ඔවුන් පෙනී සිටින ජන වර්ගයන්ගේ යහ-පැවැත්ම සහ ආර්ථික වාසිය වෙනුවෙන් වෙනස් කිරීම දක්වා දුර දිග ඇදෙන බවයි.

Prof. Pilip Rodderබොහෝ විට හෝ මුළුමනින්ම පාහේ මෙය ගැටුම්කාරී ගනුදෙනුවක් වන අතර, මහාචාර්ය රෝඩර්ට අනුව 'ගැටුම දේශපාලනයේ අනිවාර්ය අංගයක් වන අතර, අරමුණ වන්නේ, ආයතනිකමය ස්ථාවරභාවය විනාශ නොවන ලෙස ගැටුම ව්‍යවස්ථාපිත රාමුව තුළට කොටු කිරීමයි'.

මෙම ව්‍යවස්ථාපිත රාමුව මගින් මධ්‍යම රජයේත්, කලාප සහ පලාත් පාලන ආණ්ඩුවල තීරණ ගැනීමේ බලතල නිශ්චිත ලෙස දක්වයි.

එම බලසීමා ඉක්මවා නොයවා ජනවාර්ගික හෙට්ටු කිරීම සිදු කළ යුතු වන අතර, අවශ්‍ය අලුත් බලතල ලබා ගැනීමට ව්‍යවස්ථාපිත රාමුව වෙනස් කරවා ගැනීමට ජනවාර්ගික ප්‍රභූන් තල්ලු වේ.

යම් හෙයකින් එකී ව්‍යවස්ථාපිත රාමුව කඩ කරමින්, තීරණ ගැනීමේ ව්‍යවස්ථාපිත බලයන්ට අභියෝග කරන මට්ටමට 'ජනවාර්ගික හෙට්ටු කිරීම' දුර දිග ගියහොත්, එම කණ්ඩායම් හෙට්ටු කිරීමේ සාකච්ඡා මේසයේ සිටිමින්ම හෝ එයින් ඉවත් වී, ජනවාර්ගික සන්නද්ධ සටනක් දක්වා තත්ත්වය දුරදිග යවන බව මහාචාර්ය රෝඩර් පෙන්වා දෙයි.

මේ ආකාරයට ප්‍රභූන් විසින් සමාජ සහ දේශපාලනිකව නිර්මාණය කරගන්නා 'වරිගය', ජනවාර්ගික හෙට්ටු කිරීමේදී 'වරිගවාදයක්' බවට පත් වේ. මෙයින් පෙනී යන්නේ වරිගය සහ වරිගවාදය යන දෙකම සමාජ සහ දේශපාලනිකව නිර්මාණය කොට, ගොඩ නැගිය හැකිවාක් මෙන්ම, ඒවා බිද දැමීමට ද සමාජ සහ දේශපාලනිකව හැකි බවයි.

''මේ ආකාරයට ප්‍රභූන් විසින් සමාජ සහ දේශපාලනිකව නිර්මාණය කරගන්නා 'වරිගය', ජනවාර්ගික හෙට්ටු කිරීමේදී 'වරිගවාදයක්' බවට පත් වේ. මෙයින් පෙනී යන්නේ වරිගය සහ වරිගවාදය යන දෙකම සමාජ සහ දේශපාලනිකව නිර්මාණය කොට, ගොඩ නැගිය හැකිවාක් මෙන්ම, ඒවා බිද දැමීමට ද සමාජ සහ දේශපාලනිකව හැකි බවයි. ''

එසේම, වාර්ගික අනන්‍යතාව ද කලින් කලට වෙනස් වීමට භාජනය වන දෙයක් වන අතරම, එය නිර්මාණය කරන්නේත්, පවත්වා ගෙන යන්නේත් වාර්ගික ප්‍රභූන් විසින් බව සිහි තබා ගැනීම වැදගත්‍ ය.

 Dinesh Dodamgoda(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 [දිනේෂ් දොඩම්ගොඩ වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.   ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘'ඉරිදා දිවයින ෆෙඩරල් කොලම' - 2’ -2020 සැප්තැම්බර් 05 )

ලබන සතියේ - වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම

 

සබැඳි විශේෂාංගය :

වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්