The Leader News
BREAKING
ක්‍රිකට් ප්‍රතිසංවිධානය: අතීතය සෙවීම රජයට; අපේ ඇස අනාගතයට●අලි මරණ මැද පොළොන්නරුවෙන් එන ජීවන බලාපොරොත්තුව●පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා●යුක්රේනයේ ඛර්සන් අහස නිහඬ කළ කෙටි සටන් විරාමය●ෂැන්ග්‍රි-ලා ඉඩම් ගනුදෙනුව විමර්ශනයට ඉල්ලීමක් : ආයෝජන සුරක්ෂිතතාවට අභියෝගයක්ද?●ඇමෙරිකානු යුද නැව් සහ බ්‍රික්ස් මැද කොළඹ සිරවීම●මක්කම මරණ දඬුවම සහ ආගමික ලිංගිකත්වය●බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා

Nethmini

Nethmini

October 30, 2026 • 4:00 PM

පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩුවන්වෙල රටේ මහත්තයා 1919 වසරේදී සිය තනතුරෙන් විශ්‍රාම ගියේය.
  • එවකට ඔහුගේ වයස අවුරුදු 75 කි.
  • ඇතැම් අය ඔහු මඩුවන්වෙල නිලමේ ලෙසින් ද හඳුන්වා තිබිණි.
  • මඩුවන්වෙල දිසාවේ පනාමුරේ ඇත්ගාල් එකොළහක් කළ බව සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
මඩුවන්වෙල රටේ මහත්තයා 1919 වසරේදී සිය තනතුරෙන් විශ්‍රාම ගියේය. එවකට ඔහුගේ වයස අවුරුදු 75 කි. ඔහු විශ්‍රාම යනවිටත් සිටියේ රටේ මහත්තයා තනතුරේම ය. ඔහු මහ දිසාවේ යනුවෙන් හැඳින්වූයේ ගෞරවය පිණිස විය හැකිය. ඔහුගේ නින්දගම්වල වැසියන් ඔහු හඳුන්වා තිබුණේ "දිසා හාමුදුරුවෝ" යනුවෙනි. ඇතැම් අය ඔහු මඩුවන්වෙල නිලමේ ලෙසින් ද හඳුන්වා තිබිණි.
       
මඩුවන්වෙල දිසාවේ පනාමුරේ ඇත්ගාල් එකොළහක් කළ බව සඳහන් ය. අපේ රටේ වැඩ බලන ආණ්ඩුකාරවරයකු ලෙස කෙටි කාලයක් කටයුතු කළ ආර්.ඒ.ස්ටබ්ස් මහතා ද මඩුවන්වෙල දිසාවේ විසින් 1913 වසරේ දී කරවන ලද ඇත්ගාල නැරඹීමට පනාමුරේට පැමිණ තිබිණි. ඔහුට අයත් අක්කර දහස් ගණනින් යුතු නින්දගම්වල අලි ඇතුන් ද දහස් ගණනින් සිටි අතර ඇත් ගාල් පවත්වා උන් අල්ලාගෙන හීලෑ කර එයින් ද ඔහු ආදායම් ලැබීය. 
       
මඩුවන්වෙල දිසාවේ සහ කලවානේ කුමාරිහාමි
මේ වනවිට මඩුවන්වෙල දිසාවේ මහලු වයසට පැමිණෙමින් තිබිණි. නමුත් ඔහුගේ පෞරුෂය මඳකින්වත් අඩුවී නොතිබිණි. ඔහුගෙන් පසු ඔහුගේ රාජකාරි ගැන සොයා බැලුවේ ඔහුගේ බිරිඳ වන කලවානේ කුමාරිහාමි ගේ බාල සොයුරා, පුංචි බණ්ඩා කලවාන බව සඳහන් වෙයි. නමුත් තවත් තැනක සඳහන් වන්නේ මද කිපුණු අලියකුගෙන් පහර කා 1911 දී ඔහු මිය ගිය බවකි. ඒ අනුව මේ දෙදෙනා දෙදෙනෙක්ද, නැතහොත් මියගිය කාලය පිළිබඳව සඳහන් කිරීමේ දී අත්වැරදීමකින් එම ඉලක්කම් වෙනස් වුණේද යන්න කිව නොහැකිය. බොහෝවිට එම දෙවැනි නිගමනය නිවැරදි වීමට ඉඩ තිබේ. එයට හේතුව පුංචි බණ්ඩා කලවාන ගැන තවත් තොරතුරු පසුවටත් කියවෙන නිසා ය.  
         
මඩුවන්වෙල දිසාවේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ අතින් සිදුවූ රාජකාරී කටයුතු සොයා බලා ඉටු කළ පුංචි බණ්ඩා කලවානට ද රටේ මහත්තයා තනතුරක් හිමි ව තිබිණි. ඔහු සිය බිරිඳ වන දූල්ලෑවේ කුමාරිහාමි සහ දරුවන් පස් දෙනාද සමග පදිංචි ව සිටියේ මඩුවන්වෙල දිසාවේ විසින් කොලොන්නේ සිය ඉඩමක ඉදි කර දුන් සීලවතී වලව්වේ ය. ඔහු මඩුවන්වෙල දිසාවේ ගේ සමීපතම සහ විශ්වාසවන්තම ඥාතියා විය.        
දිසාවේගේ එකම දරුවා වූ ඩිංගිරි අප්පෝ ව ඇගේ කුඩම්මා වන කලවානේ කුමාරිහාමි ඉතා හොඳින් රැකබලා ගෙන තිබුණේ තමන්ගේ කුසින් වැදූ දරුවකු ලෙසිනි. කලවානේ කුමාරිහාමිට තමන්ගේ කියා දරුවකු ලැබුණේත් නැත. තම පළමු විවාහයේ දරුවාට ඇය මෙලෙස ආදරය දැක්වීම මඩුවන්වෙල දිසාවේට විශාල අස්වැසිල්ලක් විය. "කෙර මැණිකේ" යනුවෙන් ගම්මුන් විසින් හඳුන්වන ලද ඩිංගිරි අප්පෝ ඉණෙන් පහළ ආබාධිත තත්ත්වයේ පසුවූ දරුවකු වුවද, ඇය තරුණවියට එළඹුණු පසු ඇයව විවාහ කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කළ වංශවත් පිරිමින්ගෙන් අඩුවක් නොවූ බව ගම්වාසීහු කියති. එයට එකම හේතුව මඩුවන්වෙල දිසාවේට තිබූ අතිවිශාල දේපළවල එකම උරුමක්කාරිය ඇය වීම සහ මඩුවන්වෙල දිසාවේට රටේ තිබූ පිළිගැනීම මත ඔහුගේ බෑණා වීමෙන්ම එම මනාලයාට ඉබේම ලැබෙන ගරුත්වය සහ පිළි ගැනීම බව රහසක් නොවේ. 
මඩුවන්වෙල දිසාවේ, ඔහුගේ බිරිඳ සහ ඩිංගිරි අප්පෝ
සාමාන්‍යයෙන් වංශවත් පිරිමින්ට තමන් කැමති ඕනෑම ගැහැනියක් ඒ මොහොතේ සතුට සඳහා වලව්වට ගෙන්වා ගැනීම මහකාරියක් නොවිණි. එය බොහෝ වංශවතුන්ගේ ලක්ෂණයක් ද විය. ගැමි ගැහැනු ද වංශවතුන් සමග රැයක් ගත කිරීම පවා තමන්ට ලැබෙන ගෞරවයක් ලෙස සැලකූහ. ගැහැනුන් ගමේ තොටේ ඔවු⁣නොවුන් අතර රණ්ඩු දබර කර ගන්නාවිට "තෝ දැනගන්, මම අහවලත් එක්ක බුදියපු ගෑනියක්" යනුවෙන් තමන් හා සහවාසයේ සිටි වංශවතෙකුගේ නමක් ප්‍රසිද්ධියේ ම පවසන්නේ විශාල ආත්ම අභිමානයකිනි. ඉතින් ඩිංගිරි අප්පෝ විවාහ කර ගත හැකි නම් රටට පරකාසෙට ඇගේ සැමියා වී නිදියහනේදී සහායට ගමේ ගැහැනියක කැඳවා ගැනීමට මේ පිරිමින් කල්පනා කළා විය හැකිය. මඩුවන්වෙල දිසාවේ වුවද සිය බිරිඳ සමග එකම කාමරයක නිදා ගත්තේ නැත. වලව්වේ තිබූ කාමර එකසිය විසි එකෙන් මඩුවන්වෙල දිසාවේට වෙනම කාමරයකත්, කලවානේ කුමාරිහාමි තව කාමරයකත්, ඩිංගිරි අප්පෝ තවත් කාමරයකත් වාසය කළහ. සැමියා වෙනම කාමරයක තනිව නිදා ගැනීම ගැන කලවානේ කුමාරිහාමි නොසතුට පළ කර ඊට හේතු විමසුවත් මඩුවන්වෙල දිසාවේ එයට හරිහැටි පිළිතුරක් නොදුන් බව පැවසේ. ඒ කෙසේ වුවද තමන්ගේ එකම දරුවාට බෙහෙවින් ආදරය කළ මඩුවන්වෙල දිසාවේ ඇයව තම කුසින් වැදූ දරුවකු මෙන් සලකමින් කටයුතු කරන කලවානේ කුමාරිහාමි කෙරෙහි දැක්වූයේ ගෞරවය මුසු ප්‍රසාදයකි. 
       
කෙසේ වුවත් ඩිංගිරි අප්පෝගේ ආබාධිත බව කිසිසේත් නොසලකා ඇය විවාහ කර ගන්නට විමසන වංශවත් තරුණයන්ගේ යටි අරමුණ මඩුවන්වෙල දිසාවේ දැන සිටින්නට ඇත. ඒ නැතත් සිය දියණිය විවාහ කර දී යම් හෙයකින් ඇයට ගැබ් ගතහොත් එය ඇගේ ජීවිතයට පවා බලපාන අනතුරුදායක තත්ත්වයක් විය හැකි බව දැන සිටි මඩුවන්වෙල දිසාවේ දියණියගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇයව විවාහයකට ඇතුළත් කිරීමට තමන්ගේ අදහසක් නොමැති බව එම විවාහ යෝජනා ගෙනා සැමටම පැවසීය.
       
අපේ රටේ රජවරුන් විසින් පාලනය කළ වැඩවසම් යුගයේ සිට ඉංග්‍රීසීන්ගේ පාලන සමය දක්වාම දිවෙන දීර්ඝ ඉතිහාසයකට මඩුවන්වෙල වලව්ව උරුමකම් කියයි. එම පරපුරේ අතීතය එතරම්ම දැවැන්ත එකකි. අදියර කිහිපයකින් ඉදිකරන ලද මේ සුවිසල් මන්දිරයේ අවසාන ඉදිකිරීම් නිමවා තිබුණේ 1905 වසරේදී ය. ඒ අනුව මෙම වලව්වට කාමර එකසිය විසි එකක්, මැද මිදුල් විසි එකක් එකතු වී තිබිණි. ඊට වඩා වැඩි කාමර සහ මැද මිදුල් සංඛ්‍යාවක් මෙහි තිබූ බවට සමහර ලේඛනවල සඳහන් වන බවද පැවසේ. 
     
ඒ කෙසේ වුවද මඩුවන්වෙල දිසාවේ ක්‍රමයෙන් වයස්ගත වන විට වලව්වට නින්දගම්වලින් ලැබෙන ආදායම් ද අඩුවෙමින් පැවතියේය. පෙර මෙන් නොව දිසාවේ රාජකාරී කටයුතුවලින් බැහැරව සිටීම, නින්දගම්වලින් බදු එකතු කරන ගම්බා⁣රේලා එම බදු වංචා කිරීම ආදිය මීට හේතු විය. වලව්වේ ප්‍රයෝජනයට නොගන්නා කාමර විශාල ප්‍රමාණයක නඩත්තු කටයුතු සිදු නොකිරීම නිසා ඒවා ගරා වැටෙමින් පැවතියේය. වලව්වේ ඉඩම ද වන වැදෙමින් තිබිණි. 

තවත් කොටසක් ලබන සතියේ 

මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.

ඡායාරූප - අන්තර්ජාලය

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

View all stories by ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...