The Leader News
BREAKING
මක්කම මරණ දඬුවම සහ ආගමික ලිංගිකත්වය●බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි

Nethmini

Nethmini

October 30, 2026 • 1:13 PM

නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් වරදක් කර නොමැති බැවින් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලටම නිවැරදි කරු බවට තීරණය කර, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරිම ඊයේ (29) ආරම්භ කෙරිණි.
  • එහිදී නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට දන්වා සිටියේ පළමු වන විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමක් නොකරන අතර ඔහු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන බවය.
  • ඒ අනුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දුට සිය විත්තිවාචකය ඉදිරිපත් කිරිම සඳහා විනිසුරු මඩුල්ල අවසරය ලබා දුන් අතර අදාළ ප්‍රකාශය විත්තිකරුගේ වචන වලින්ම සටහන් කරගන්නා ලෙස නියම කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් වරදක් කර නොමැති බැවින් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලටම නිවැරදි කරු බවට තීරණය කර, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.


ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන විත්තිකරු ලෙස විත්ති කූඩුවේ සිට වරින් වර හඬා වැළපෙමින් සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.


මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පසුගියදා අවසන් කරන ලදි.


ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරිම ඊයේ (29) ආරම්භ කෙරිණි.


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදි.


එහිදී නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට දන්වා සිටියේ පළමු වන විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමක් නොකරන අතර ඔහු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන බවය.


ඒ අනුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දුට සිය විත්තිවාචකය ඉදිරිපත් කිරිම සඳහා විනිසුරු මඩුල්ල අවසරය ලබා දුන් අතර අදාළ ප්‍රකාශය විත්තිකරුගේ වචන වලින්ම සටහන් කරගන්නා ලෙස නියම කරන ලදී.


එහිදී යම් ලේඛනයක් බලමින් අදාළ ප්‍රකාශය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා දන්වා සිටියේ විත්තිකරු ප්‍රකාශයක් කළ හැකි නමුත් ලේඛනයක් කියවීම කළ නොහැකි බව ය. ඒ බව නීතිඥවරයා විසින් විත්තිකරුට දැනුම් දීමෙන් අනතුරුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු සිය ප්‍රකාශ කිරීම ආරම්භ කළේය.


මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔහු එහිදී අධිකරණයට ස්තූතිය පළ කළේය.


අනතුරුව සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.

"ස්වාමීනී ,මට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය ගැන සඳහන් කළ යුතුයි .එහි සඳහන් වෙනවා කුමන්ත්‍රණය පිළිබඳව චෝදනාවක් නොදන්නා පාර්ශ්වයක් සමග කුමන්ත්‍රණය කිරීමක් ගැන .නොදන්නා පාර්ශවයක් ගැන මෙම අධිකරණයේදී තහවුරු වීමක් සිදුවුණේ නෑ. ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගැන මෙම අධිකරණයේ ඔප්පු වුණේ නෑ. ප්‍රමිතියෙන් තොර යන්නට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වුණේ නෑ. ප්‍රමිතියෙන් තොර යන්නට රජයේ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කර නැහැ. අපේ රටේ මෙම ඖෂධ දෙක පරීක්ෂා කිරීමේ පහසුකම් නෑ. මම ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය කල් ඉකුත් වීමෙන් පසුව සහ රිටොප්සිමැබ් ඖෂධය කල් ඉකුත් වීමට දින 10කට පෙර ඇයි පරීක්ෂා කළේ කියලා ප්‍රශ්න කිරීමට තිබුණා. මෙම ඖෂධ අයිතම 6395කට ආසන්න ප්‍රමාණයක් සැපයීම සිදු කළා සම්බන්ධයෙන් පිටරටක වාර්තාවක් ලැබී තිබුණා. නමුත් ඒ පරීක්ෂාව කළ අයගෙන් හරස් ප්‍රශ්න ඇසීම අහිමි වුණා. මෙම පරීක්ෂණය කළ බව කියන සාක්ෂිකරුවන් සැබැවින්ම ඉන්නවාද, ඔවුන් සජීවී පුද්ගලයන්ද කියලා සැකයක් තියෙනවා ."

"මේ ඖෂධ නිසා මරණ සිදු නොවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාලිගාකන්ද අධිකරණයේදී ප්‍රකාශ කළා. වෛද්‍ය රජීව් සිල්වා තමයි මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කළේ .ඔහු මා සමග අමනාපයි දීර්ඝ කාලයක සිටම මම දන්නවා ඔහු මා ගැන ද්වේශයෙන් සිටි බව. ඒ බව ඔහු අධිකරණයේදීත් පිළිගත්තා."


"ස්වාමීනී, මම විදේශගතව අධ්‍යාපනය ලැබූ අයෙක්. රසායනාගාරවල වැඩ කළා .ලෝකයේ ඇති ලොකුම ඖෂධ නිෂ්පාදන කම්හල් සමග වැඩ කළා. ලංකාවේදී ඖෂධ ප්ලාන්ට් එකක් දැමීමට මගේ අවශ්‍යතාවය තිබුණා . ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු මහතාත් දැනුවත්ව සිටියා .ඉන්දියාවෙන් අඩු මිලට බෙහෙත් ලැබෙන නිසා ලංකාවේ එවැනි ඖෂධ ප්ලාන්ට් එකක් අවශ්‍ය නැති බව තමයි මට කිව්වේ. මට ඒ සම්බන්ධයෙන් විශාල කම්පනයක් ඇතිවුණා. උපදෙස් සහ විශේෂඥ උපදෙස් මත ඖෂධ කර්මාන්ත ශාලාවක් මම ආරම්භ කළා. ඒ සඳහා වන සූත්‍ර වෙනත් පුද්ගලයන්ගේ නමින් වෙනත් ව්‍යාපාර බව හගවමින් තමයි ගෙනාවේ. නමුත් ඒ සඳහා වන අවශ්‍යම බදු මුදල් රජයට ගෙව්වා."


මෙම ස්ථානය බලන්න කියලා NMRA එකට දිගින් දිගටම කිව්වා .එහිදී නිලධාරීන් කීප දෙනෙක් ආවා .ඔවුන් දොරවල් ඇදයි ,වගේ වෙනත් දේ කිව්වා යන්ත්‍ර සූත්‍ර ගැන මොකුත් කිව්වේ නෑ. යන්ත්‍ර සූත්‍ර බැලුවේවත් නෑ. පසුව නිෂ්පාදන බලපත්‍රය දුන්නා. ඖෂධ නිෂ්පාදනය කිරීමට බලපත්‍ර ඉල්ලුවත් NMRA පිහිටුවීමෙන් පස්සේ පෙරදී ලබාදුන් බලපත්‍රය වලංගු නොවන බව කිව්වා .නැවත අලුතින්ම අනුමැතිය ලබා ගත යුතු බව කිව්වා.


State pharmaceutical company  Limited  මගේ සමාගම ගිවිසුම්ගත වුණා. ඔවුන්ගේ සන්නාමය යටතේ ඖෂධ නිෂ්පාදනය කිරීමට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡාවලදී උපදෙස් ලැබුණේ මෙවැනි ප්ලාන්ට් එකක් අවශ්‍ය නැති බව. වෛද්‍ය රෝහණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම ප්ලාන්ට් එකට දැඩි ලෙස විරුද්ධ වුණ. මගේ සැලසුම වුනේ පිළිකා රෝහලක් ඉදිකර රජයට භාර දීමට."


අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් ඉන්දියාවේ බලපෑම තියෙනවා . බයලොජිකල් ප්‍රඩක්ට් Biological product පමණක් නෙවෙයි ඕනෑම ඖෂධයක් හදන්න පුළුවන් . මගේ කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා තිබෙනවා. NMRA ආයතනය තමයි එය සිදුකළේ.අධිකරණය එය විවෘත කරන්න කිව්වත් ඔවුන් විවෘත කරන්නේ නෑ. හේතුව දන්නේ නෑ. මගේ කර්මාන්තශාලාවේ ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කල හැකියි නමුත් මෙම නඩුවේ තීන්දුව දීමට පෙර ඔබතුමන්ලාත් එහෙ ගිහින් බලන්න කියලා ඉල්ලනවා"


මෙම ඖෂධය ටෙන්ඩර් කරන විට මා එයට bid කළා. ළමයින් සඳහා වන ඖෂධයක් මම නිෂ්පාදනය කළා. එය රිජ්වේ රෝහලේ දී රෝගීන්ට ලබාදිමක් සිදුවුණා. එයින් ළමයින් සුවපත් වුණා. මා අත්අඩංගුවට පත් වෙනකම්ම එම ඖෂධය ලබාදීමට කටයුතු කළා". 


"කොරෝනා කාලයේදී පාරවල් වහලා තිබුණා. කොරෝනා ආරක්ෂිත ක්‍රමය කුමක්ද යන්න ගැනවත් නොදැන සිටි කාලෙක ඒ සම්බන්ධ ආරක්ෂිත උපකරණ මම ලබාදීම සිදුකළා. මුල් අවස්ථාවේදී මා ඒවා නොමිලේ දුන්නා. ඉන්පසුව තමයි අනිත් අය ඒවා දැන ගත්තේ. පසුව ඒ සඳහා ටෙන්ඩර් කැදෙව්වා .මගේ මිල ගණන් වැඩි කියලා මට එය ලබා දුන්නේ නෑ"


මෙම vaccine එක මව් සමාගමේ උපදෙස් මත තමයි නිෂ්පාදනය කළේ. එය NMRA එකේ ලියාපදිංචි කර තිබුණේ නෑ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලොකු ප්‍රතිරෝධයක් ආවා. මරදාන පොලිසියේ මට විරුද්ධව පැමිණිලි ගණනාවක් තිබුණා. GMP inspection file එක අදටත් NMRA එකේ නෑ. කිසිම GMP inspection එකක් නැතුව තවත් සමාගමට ඖෂධ නිෂ්පාදනය කිරීමට අවසර දුන්නා. එම සමාගම කටුනායක කර්මාන්ත පුරය ඇතුළත තිබෙන්නේ. එවැනි තැනක ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදි කරන්න බෑ. නමුත් ඒ සඳහා අවසර දුන්නා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය විවෘත කළා. මගේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරේ ඖෂධ වේදීන් ,නිලධාරීන් දෙදෙනෙක් සහ පරිපාලන වෛද්‍යවරයෙක්. ඔවුන් වරින් වර විවිධ දේ ඉල්ලා බලපෑම් කරා. වරින් වර NMRA මගින් යැව්වේ එක එක නිලධාරීන් කණ්ඩායම්. පසුව ඔවුන් මගෙන් ලියුමක් ගත්තා anti cancer වලට අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීමට බැරි බවට. අර්ජුන පද්ම පෙරම මහතා මෙම අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් ඒ ගැන තමයි කිව්වේ. විශේෂඥයන්ටත් සාක්ෂි දරන්න බැරි ඖෂධ ගැන වසර දෙකක දෙකක් කවුන්ටරයක බෙහෙත් නිකුත් කරපු ඖෂධවේදියෙක් සාක්ෂි දෙන්නේ කෙසේද?"


"ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන විට මව් සමාගමට පෙත්සම් යවා තිබුණා පරීක්ෂණ වැරදියි කියලා ඒ සම්බන්ධයෙන් මව් සමාගම විසින් විමසීම් කළා. පෙත්සම් ගැසූ පුද්ගලයා මම දන්නවා. වෛද්‍ය රජීව් සිල්වා තමයි මෙහිදී ක්‍රියාත්මක වුණේ. ඔහු මා සමග අමනාපයි. මෙම ඖෂධ නිසා ආසාදනය වූ රෝගීන් ඇත්තටම නෑ, ඒ නිසා තමයි මෙම නඩුවේදී දුම්රියේදී ඊමේල් යැවීම සිදුකළ හැකිද යන ප්‍රශ්නයක් මතු වුණේ. ඇත්තටම එවැනි රෝගීන් භෞතිකව නෑ."


Reliance life science සමාගම හරිම හොඳයි කියලා කියනවා. එය මුකේෂ් අම්අබානි ට අයත් සමාගමක්. ඒ වගේ අයෙකුට තමයි මා අභියෝග කලේ? වසර දෙකක් මම මිනීමරුවන් මංකොල්ලකරුවන් සමඟ රක්ෂිත බන්ධනාගාරව සිටියා. මානසික රෝහලේත් කාලය ගත කලා. මුකේෂ් ශබ්මානිගේ බලපෑම මත තමයි මට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණේ නැත්තේ. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මා  පාසල් යන කාලයේත් ලිව්වා. එය මෙහිදී මට ප්‍රායෝගිකවම මුහුණ දෙන්න වුණා. ඇප ලැබුණේ නැත්තේ අම්බානි ගේ බලපෑමට බව මා සිතනවා. ලංකාවට ණය දෙන්න ආදි විවිධ හේතූන් මත ඉන්දියානු ව්‍යාප්තිවාදය තවමත් ලංකාවේ තියෙනවා. ඒකට විරුද්ධව තමයි ප්ලාන්ට් එක හදන්න උත්සාහ කළේ.  වසර දහතුනක් ආපස්සට යන්න යනවා නම් මම මේ වැඩේ නොකර ඉන්නවා. මේ ප්ලාන්ට් එක හදපු එක ගැන මම දුක් වෙනවා."
   

"වෛද්‍ය රජීව් සිල්වා සහ රෝහිණි ප්‍රනාන්දුපුල්ලේ වැනි අයගේ ක්‍රියාකාරීත්වය නිසා වෙනත් කිසිම රටක අයෙක් ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නට එන්නේ නෑ". 


"මගේ කර්මාන්ත ශාලාව නිවසක් වගේ කියලා මේ නඩුවේදී සාක්ෂියක් කියවුනා. මගේ කර්මාන්ත ශාලාවේ මේ අධිකරණ ශාලාව වගේ තට්ටු තුනේ ගොඩනැගිලි දෙකක් තිබෙනවා .ඒ වගේ ගෙවල් කොහේවත් නෑ. තනි යකඩ දොරවල් අනූ පහක් තිබෙනවා.මේ වනවිට එහි කොටස් කඩාගෙන යන බව දැනගන්නට ලැබුනා .එහි යතුර NMRA එක සතුව තිබෙනවා
 

"මෙම ඖෂධ දෙකට අදාළ කිසිම සාම්පලයක් මගෙන් ගත්තා ද කියලා මගෙන් ඇසුවේ නෑ. මගේ ඇඟිලි  සලකුණු ලබා ගැනීමක් සිදුකළෙත් නෑ. කිසිම අවස්ථාවක එම ඖෂධ මා සැපයූ ඒවා බවට හඳුනාගත්තෙත් නෑ. ජර්මනියේ වෛද්‍ය රසායනාගාරය , වෛද්‍ය පර්යේෂණ රසායනාගාරය, අපේක්ෂා රෝහල, මාලිගාකන්ද අධිකරණය හෝ මෙම අධිකරණයේදී ඉදිරිපත් කළ සාම්පල මා විසින් ලබාදුන් බවට ඔප්පු වී නැහැ. "


"රුධිර ප්ලාස්මා ඇසුරෙන්  නිෂ්පාදනය කරන ඖෂධ වල ගැටලු ඇතිවිය හැකියි. ඒ නිසා තමයි chemical prosess වලට අවසර දෙන්නේ. NMQAL ආයතනය ප්‍රමිති ගත රසායනාගාරයක් නොවන බවට මේ අධිකරණයේම ඔප්පු වුණා. එහි පරණ උපකරණ භාවිතා කරන්නේ. අදාළ පරීක්ෂණයන් සිදුකිරීමට විශේෂඥයින් නෑ , එහිදී රුධිර පට්ටිකා මූත්‍රා වැනි තමයි පරීක්ෂා කළේ . ඖෂධ පරීක්ෂාවට validate කරපු උපකරණයක් නෙමෙයි භාවිතා කර තිබුණේ.ඖෂධ පරීක්ෂා කරන උපකරණ කැනඩාවෙන් ගෙන ඒමට මට රුපියල් කෝටි අටක් වැය වුණා. මේ වන විට එම යන්ත්‍රය අක්‍රීයයි. නැවත එය යථා තත්ත්වයට පත් කිරීමට ඒ වගේම වියදමක් දැරීමට සිදුවෙනවා."


"මම වැඩ කළේ ලෝකයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් තුනෙන් එකක. සේවය කරන තැන් කලින් කලට වෙනස් වුණා." 


"මා ඉතාම කැමති ව්‍යවසායකයෙකු තමයි උපාලි විජේවර්ධන මහතා. ඔහුත් ඉන්දියානු ව්‍යාප්ත වාදයට යට වුණා. ඔහුට නිෂ්පාදනය කළ ගුවන් යානයට අදාළ අමතර කොටස් තවමත් ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා . මා ඔහුට කිව්වා ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් ප්‍රවේශම් වෙන්න කියලා . එහෙම බැලුවම මම මෙහෙම ජීවත් වෙලා ඉන්න එකත් මට පුදුමයක්. මාව බන්ධනාගාර ගත කළේ බාල බෙහෙත් සැපයූවා කියලා. නමුත් පසුව එය අවි ආයුධ වලට වෙනස් වුණා. එම බලපත්‍රය වෙනස් වූයේ කොහොමද කියන එක ගැටලුවක් මගේ සිරකරු අංකය සමඟ එම බලපත්‍රය වෙනස් වූ ආකාරය ඔබතුමන්ලාටත් පරීක්ෂා කළ හැකියි. බන්ධනාගාරයේදී සිටියදී බන්ධනාගාර නිලධාරියකු කිව්වා "ආයුධ පෙන්නන්න මාව රැගෙන යාමේ සූදානමක් තියෙනවා" කියලා මං ඒ ගැන කල්පනා කරලම අසනීප වුණා. අනතුරුව මානසික රෝහලේ නතර වී සිටියා. එහෙම තමයි මම බේරුනේ. ඉන්දියාවේ ඖෂධ මාෆියාව මාව හිර කළා. නීතියේ හැටියට අත කැසීම බඩ දැවිල්ල වැනි දහඩය දැමීම වැනි රෝග සම්බන්ධයෙන් ලෝකයේ ඇති පළමු වන නඩුව මෙය. මගේ ඖෂධය වලින් රෝගීන් විසි හතක් මියගිය බවට මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශයන් සිදු කළා. නමුත් එය වැරදියි. කිසිම මරණයක් වාර්තා වුණේ නෑ.


අත කැසීම, බඩ දැවිල්ල , දාඩිය දැමීම වැනි රෝග ලක්ෂණ තමයි එහිදී වාර්තා වුණේ. මරණ වාර්තා වූ බවට ප්‍රකාශ කිරීම නිසා මට විශාල අසාධාරණයක් වුණා. මරණ 27ක් සිදුවූ බවට වන වාර්තාවන් නිවැරදි නොවන බව මෙම අධිකරණයේදී හෙළි උනා"


මෙම ටෙන්ඩරයෙන් ඉවත් වන ලෙස මට බලපෑම් ගණනාවක් ආවා .තර්ජනය කළා. ටෙන්ඩරයක් කැඳවීමේදී සියලුම ටෙන්ඩර්කරුවන් එකතුවෙලා එක්ක සාකච්ඡා කර එකඟතාවයකට එනවා. එහෙම තමයි ඖෂධ මාෆියාව. මෙම සිද්ධියෙන් පස්සේ ඖෂධ හත්සීයක් ලබාගැනීමට අදාළව ටෙන්ඩර් පත්ලබා ගැනීමට නොහැකිව සිටිනවා. ඖෂධ මාෆියාව කියන එක ලේසි නෑ, තමන් නිවැරදි නම් නඩු වැටුනට බය නෑ. අධිකරණය දෙවොලක් වගේ මීට ඉහළින් සිටින්නේ දෙවියන් පමණයි."


ජර්මනියේ රසායනාගාරයක් මගින් ඉදිරිපත් කර ඇති වාර්තාව ශුන්‍යයි. ඖෂධ කල් ඉකුත් වීමෙන් පසුව තමයි එම පරීක්ෂණය කර තිබෙන්නේ .ඖෂධ මා මෙහිදී හැදුවා ද, ගෙනාවද කියලා පැමිණිල්ල විසින් ඔප්පු කළේ නෑ." මේ ඖෂධය හැදුවේ නෑ ගෙනාවේ නෑ කියන එක තමයි ඔවුන් කියන්නේ". එය ඔප්පු කිරීමේ අයිතිය මගේ කාර්යයක් නෙවෙයි. මගේ ඇඟිලි සලකුණුවත් ගත්තේ නෑ. ඖෂධය නිෂ්පාදනය කළාද යන්න පිළිබඳව ප්‍රකාශ කරන්නට මා යන්නේ නෑ. එය රහසිගත ක්‍රමවේදයක්. එය දැනගත්තොත් සියලු දෙනාම ඖෂධ නිෂ්පාදනය කරන්නට පටන් ගන්නවා."


"මා විසින් සපයන ලද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය අත්හිටුවීමෙන් පස්සේ මුකේෂ් අම්අබානිගේ සමාගමේ ඖෂධයක් ලබා ගැනීම නතර කළා. එම ඖෂධය හේතුවෙන් රෝගීන් විසි හතක් මැරුණා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කළේ නෑ."


ස්වාමීනී මෙම නඩුවේදී ටෙන්ඩර් වංචාවක් ගැන මට චෝදනා කරනවා. නමුත් ඖෂධ 285 ක ලෑස්තුවක් හදන්න මට බෑ. මම ජීවිත ආශාව අත්හරින ලද මනුස්සයෙක්. කර්මාන්ත ශාලාවල වැඩ කිරීමේ දී නයිට්‍රික් ඇසිඩ් සමග තමයි කටයුතු කළේ. විවිධ අවස්ථාවලදී රෝහල්ගතවීමටත් සිදුවුණා. මෙම ඖෂධ සිද්ධිය නිසා මගේ ළමයින්ට මට තාත්තා කියන්න බැරි තත්ත්වයක් උදා වුණා. මගේ බෙහෙත් වලින් රෝගීන් මියගිය බවට එවකට සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා. එන්නත් කුප්පි පෙන්නුවා මාධ්‍ය සංදර්ශන තිබ්බා මාධ්‍ය සාකච්ඡා තිබ්බා. කොරෝනා කාලයේදී ගෙන ආ එන්නත් ලක්ෂ හතක් තවමත් ගබඩාවල තිබෙනවා."


ස්වාමීනි ඖෂධ 285ක් කැබිනට් පත්‍රිකාවකට දාලා ඉන් 185ක් ටෙන්ඩර් කරලා, ඇනවුම් 45ක් පහක් ප්‍රදානය කරලා, ඖෂධ 12යි සපයා තිබුණේ. මෙම ඖෂධ දෙක රටින් ගෙනාවාද මෙහි හැදුවාද කියන එක ගැන මම කියන්න කැමතියි නෑ. එය විමර්ශනයේ කොටසක්. මානසික ආබාධයක් ඇති නමුත් මෙම නිලධාරීන් සමග කුමන්ත්‍රණය කරන්න තරම් දරුණ මානසික ආබාධයක් මට නෑ. මෙම හදිසි ටෙන්ඩරය කැඳවන විට මම හිටියේ නේපාලයේ අනිත් ටෙන්ඩරේදී මා සිටියේ සීදුවේ"


"මේ නඩුව ගැන මම ඉතාම සතුටු වෙනවා .මට එල්ල වුනු චෝදනා, දරුවන් ලබපු අපහාස මෙම අධිකරණයේදී clear වුණා. මව් සමාගමෙන් මට උපදෙස් ලැබුණේ මේ නඩුවට මුහුණ දෙන ලෙසයි. මගේ දරුවන් වෛද්‍යවරු. ඔවුන් ඉන්නෙ පිටරට."


"මෙම නඩුවේදී විමර්ශන නිලධාරියා සාක්ෂි දෙන අවස්ථාවේදී ඔහුගේ ඉංග්‍රීසි දැනුම ගැන ප්‍රශ්න කරමින් අපහසුතාවයට පත් කළා. ඒ ගැන මා කම්පා වෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉතාම හොඳින් මේ නඩුව කරගෙන ගියා. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ මේ නඩුවේ ටෙන්ඩරයේ ඇති අක්‍රමිකතාවයන් පිළිබඳව ඇය අනාවරණය කළා."


ඖෂධ සාම්පල් යන්ත්‍රවලින් ටෙස්ට් කළේ නැති බව අධිකරණයේදී හෙළි වුණා. අධිකරණය සාක්ෂිකරුවන්ගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කළා. Microbiologist කෙනෙක් imiunologist කෙනෙක් ලෙස වැඩ කරනවා. ඔහු තමයි අත කැසීම, බඩ දැවිල්ල, දහඩිය දැමීම යන හේතූන් මත මෙම ඖෂධය ඉවත් කළේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් ඊට සහාය ලබා දුන්නා. මාධ්‍ය සාකච්ඡා තියලා. ඒ පිළිබඳව දිගින් දිගට ප්‍රශ්න කරන විට එම මාධ්‍ය සාකච්ඡාව අවසන් කළා. ඊට දින දෙකකට පසුව මා අත්අඩංගුවට පත්වුණා."

මුලදී ඔවුන් මට ගෞරවයෙන් සැලකුවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්ෂණිකව වෙනස් වුණා. මෙම ඖෂධ හදන හැටි ගැන ඇහුවා. ඒ ගැන ප්‍රකාශ කරන්න මට බෑ. මට විදේශීය මුදල් ලැබීමට තියෙනවා මහල් හයකින් යුත් පිළිකා රෝහලක් ඉදිකර රජයට භාරදීමට මම ඩිසයින් කරා. මට ඒ අරමුණට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මම ජීවිතාශාව අත්හැර තිබෙන්නේ. රෝගීන්ට පර්යේෂණ ඖෂධ ලබා දීම ගැන ලිඛිත නීතියක් නෑ. ජර්මන් රසායනාගාර වාර්තාවේ විශාල අඩුපාඩු තිබෙනවා. ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න ගණනාවක් අහන්න තිබුණා .නමුත් එම අවස්ථාව නැති උනා. මම ජර්මනියේ ඉහළ ආයතන වලට පැමිණිලි කළා. සාම්පල්වල මගේ ඇඟිලි සලකුණු නෑ .කල් ඉකුත්වූ  පසුව තමයි ඒ පරීක්ෂාව කළේ. එහෙම කළේ ඇයි කියන ප්‍රශ්න ගණනාවක් ඇසීමට තිබුණා. තවත් කෙනෙක් කළ දෙයක් වෙනුවෙන් වත් කෙනෙක් දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්නේ කෙසේද?"

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විශාල අසාධාරණයක් වුණා. NMRA ආයතනය විසින් අධිකරණය නොමග යැව්වා. මේ වගේ ඖෂධ ලබාදීලා ලබන මුදල් වලින් මට වැඩක් නෑ .මට පිටරටවල ගිණුම්වල මුදල් තිබෙනවා. මම භාවිතා කරන අත් ඔරලෝසුව පවා කෝටියක් වටිනවා. කෝටි ගණනක් වටිනා වාහනයක් තිබෙනවා. මිනිසුන්ගේ යහපත් සෞඛ්‍යයට තමයි මම මෙය සිදු කළේ.


මාව නිදහස් කරන්න කියලා මම ඉල්ලන්නේ නෑ. ක්වොන්ටම් භෞතික විද්‍යාව අනුව ශරීරයකින් ආත්මය තවත් ශරීරයකට යෑම තමයි සිදුවන්නේ .මම වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයෙන් ගැලවුණත් ආත්මයෙන් ගැලවෙන්න බෑ. කාලය අවකාශය සහ පදාර්ථය පමණයි විශ්වයේ තියෙන්නේ. මම මිනිස්සු විසි හතක් මැරුවා නම්, හැටපස් දෙනෙකුගේ ඇස් අන්ධ කරා නම් ඊට සමාන දඬුවමක් මට කවදා හරි ලැබෙයි ."


"මෙහි විමර්ශන දුර්වලයි. පොදු දේපළ කියන එක අවිනිශ්චිතයි. මම ආණ්ඩුවට බඩු දීලා සල්ලි බලාගෙන ඉන්නවා. මම තමයි මෙතන වින්දිතයා. අපරාධ නඩුවකදී ප්‍රධාන කාරණයක් තමයි වින්දිතයකු සිටීම. මෙහි එහෙම වින්දිතයකු භෞතිකව ඇති බව සාක්ෂි වලින් ඔප්පු වී නෑ."


WHO එක අනුමත කළ රසායනාගාර ලෝකයේ කොහේවත් නෑ, එම ආයතනය මහජනතාවට වසංගතයකදී හෝ විවිධ අවස්ථාවලදී සහාය දැක්වීම සඳහා තිබෙන ආයතනයක්. එය Regulation Authority එකක් නෙමෙයි.


"ජීව විද්‍යාත්මක ඖෂධ වලින් අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. මියයෑම පවා සිදුවිය හැකියි. සංකීර්ණ ශරීර පද්ධතියක සුළු අසාත්මිකතා ඇතිවීම නඩුවක් ගෙනයාමට තරම් සුවිශේෂී කරුණක් ලෙස මා සිතන්නේ නෑ." 


"ටෙන්ඩර් වංචාවක් මා කරලා නෑ. ටෙන්ඩර් වංචාවක් මගේ ඉතිහාසයවත් කරලා නෑ. එවැන්නක් කරනවානම් ඒ සඳහා මට ඕන තරම් අවස්ථාව තිබුණා. මා වරදක් කර තිබෙනවා නම් මට දඬුවම් දෙන්න. ඒ සඳහා දෙවියන් ඔබතුමන්ලාට මග පෙන්වයි කියලා මා විශ්වාස කරනවා"


පළමු වන විත්තිකරු විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සඳහන් කළේ ඔහුගේ සේවා දායකයාගේ විත්තිවාචකය අවසන් කිරීමත් සමඟ පළමු වන විත්තිකරු වෙනුවෙන් සිදුකරන නඩු කටයුත්ත අවසන් කරන බවය. 


ඉන් අනතුරුව දෙවැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකව සිටි විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විත්තිවාචකය ඉදිරිපත් කිරීම සිදුකළේය.


"2019 නොවැම්බර් මාසයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක ලෙස මම කටයුතු කළා. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. මම අධ්‍යක්ෂවරයා, මට පහළින් සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරයකු, සහකාර අධ්‍යක්‍ෂකවරුන් හය දෙනෙකු සිටියා.


එම අංශයේ ඖෂධවේදීන් පනස් තුනක් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය හත්සිය තිස් දෙකක් ඉන්නවා .14,000 කට අධික අයිතම මිලදී ගැනීම් එහිදී සිදු කරනවා. ඖෂධ මිලදී ගැනීමට අමතරව රසායනාගාර උපකරණ පිළිකා රෝගීන් සඳහා වන අයිතම යනාදිය ලබාගෙන රෝහල් වෙත මුදාහැරීම මෙම අංශයෙන් සිදුකරනවා."


"එම අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස රැස්වීම් ගණනාවකට සහභාගි වීමට සිදුවෙනවා. සමහර දවස්වල උදේ අටේ සිට හවස හතර වනකන්ම රැස්වීම්වලට සහභාගී වෙන්න හැර වෙනත් වැඩක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඖෂධ ලබාගැනීමේදී රසායනාගාර තත්ත්ව පිළිබඳව කොලේජර්ස් වල නියෝජිතයින් සමඟ සාකච්ඡා කරනවා .අත්‍යවශ්‍ය ඖෂධ යනාදිය වෙන් කිරීම සඳහා ven classification කියන එක භාවිතා කළා. "


"පවතින සෑම රැස්වීමකටම සහභාගි වීම අධ්‍යක්ෂක ලෙස අනිවාර්යයෙන් කළ යුතු වුණා. ඊට අමතරව හත්සිය තිස් දෙකක් හෝ සේවක මණ්ඩලයේ කටයුතු, වැටුප් ,ප්‍රවාහන සම්බන්ධයෙන්ද කටයුතු කිරීම මා වෙත පැවරී තිබුණා. ඖෂධ ගබඩා ගණනාවක්ම තිබෙනවා එම ගබඩා සම්බන්ධයෙන් ද පවතින රැස්වීම් වලට සහභාගි වීමට සිදුවුණා"


"2022 ජනවාරි තුන්වෙනිදා විශේෂඥ පුහුණුව සඳහා මම Scotland වලට ගියා. එහිදී Edinbaro university එකට සම්බන්ධ වී අධ්‍යාපනය ලැබුවා. මෙම නඩුවට සම්බන්ධ ටෙන්ඩර් පත් කැඳවීම සිදුකරන්නේ මා ලංකාවේ නොසිටි කාලයකදී යි.


"Hsepc කමිටුව ලෙස කමිටුවක් පත් කර තිබුණා. Pending orders බලලා  තමයි සහකාර අධ්‍යක්ෂවරිය විසින් මෙම ඖෂධ සම්බන්ධයෙන් නිර්දේශයන් කර තිබුණේ. ඒ අනුව තමයි අනුමැතිය ලබා දුන්නේ. මගේ අනුමැතිය ගත්තේ ඖෂධ ඒකක විසි දෙදහස් පන්සීයක් ලබා ගැනීමට. මේ ඖෂධය සාම්පල් සම්බන්ධයෙන් කිසිම කරුණක් මතු වූයේ නෑ."


"Avoding ලෙටර් එකක් නිකුත් කිරීමෙන් පසු පළමු වරට පැමිණෙන අවස්ථාවලදී පමණයි පරීක්ෂාවන් සිදු කරන්නේ. තොග පාලක නිලධාරීවරයාට සහකාර අධ්‍යක්ෂකවරියගේ උපදෙස් මත අදාළ භාර ගැනීම් හැකියාව සිදුකිරීමේ හැකියාව දීලා තිබුණා. spc එකට ලබා දී තිබූ ඖෂධ ඇනවුම් කවදාද ලැබෙන්නේ කියන එක ගැන ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබුණා."


"එම ප්‍රශ්නකාරී ඖෂධය බරගන්නා විට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග තිබුණේ දවස් තුනකට පමණයි. රිටොප්සි මැප් ඖෂධය මාස අටකට තොග තිබුණා. එසේ තිබියදී "එම තොගය භාරගත් එක හරි" කියලා ප්‍රකාශ කිරීම ගැටලු සහගතයි.


WOR සහතිකයේ වලංගුභාවය පිළිබඳව වන තර්කය මෙම නඩුව සඳහාම නිර්මාණය කළ එකක්. WOR සහතිකය නිකුත් කරන්නේ custom එකේදී clear කර ගැනීමට පමණයි. 


"මෙම සිද්ධියට අදාළව අපට ඇති document මෙම අධිකරණයට ඉදිරිපත් වුණේ නෑ. චාන්දනී වන්නිආරච්චි කියන සාක්ෂිකාරිය ප්‍රකාශ කළා රිපිටොප්සී මැප් ඖෂධය භාර දීම සිදුකිරීම් කරද්දී මාස තුනක කාලයක් ඉකුත් වෙලා තිබුණේ නෑ කියලා . ඇය සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස දන්නවා WOR එක මෙහිදී වැදගත් නොවන බව . කුමන බලපෑමක් මත එම සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නාදැයි දන්නේ නෑ."


"74 ගොනුව "අයිසොලේස් බයෝටෙක් පාමා" ආයතනය සම්බන්ධයෙන් පවත්වාගෙන යමින් තිබුණා. ඒ ලිපි ගොනුව භාරව කටයුතු කළේ ගණකාධිකාරී සැපයුම් අංශයේ සේවය කළ නිහාල් රංජිත් යටතේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට යොමු කළ ලිපියක් පිළිබඳව දැනගත්තේ එම අවස්ථාවේදී බව අධිකරණයේදී අනාවරණය වුණා. ඒ පිළිබඳව එතුමා දැනුවත්ව නොසිටි බවට කිසිදු අවස්ථාවක මා දැනුවත් වී සිටියේ නෑ."


"තොග භාර ගැනීමේදී භාවිතා කළ 95 ගොනුව පස්වන විත්තිකරු විසින් පවත්වාගෙන ගියා. හැත්තෑ හතර ගොනුව වෙනම ගොනුවක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනා. එම ෆයිල් වල තිබෙන දිනයන් මතක තබා ගන්නට බෑ."


"එම සිදුවීමෙන් පස්සේ WOR පරීක්ෂා කිරීම ගැන අලුතෙන්ම චක්‍රලේඛ නිකුත් කරා. එම චක්‍රලේඛ නිකුත් කිරීමට කල්ගතවීම සම්බන්ධයෙන් නඩු විභාගයේදී ප්‍රශ්න කෙරුණා. අදාළ චක්‍රලේඛය සඳහා අනුමැතිය ලබා දෙන්නේ NMRA ආයතනය විසින්. එම අනුමැතිය ලැබීමෙන් පසුදිනම අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කළා."


"ගෙවීම් සිදුකිරීම මුදල් රෙගුලාසි යටතේ සිදු කරනවා සාමාන්‍යයෙන් වසරකට රුපියල් බිලියන අසූවේ සිට සියය දක්වා කරනවා. ගිණුම් අංශය අංශ දෙකක් යටතේ සැලසුම් කරා. ප්‍රධාන ඝණකාධිකාරී ලෙස ඒ වන විට හිටියේ class 1 officer කෙනෙක්. සැපයුම් ඝණකාධිකාරී ලෙස හිටියේ ක්ලාස් වන් ඔෆිසර් කෙනෙක් නෙමෙයි. මේ සිද්ධියෙන් පසුව ක්ලාස් වන් ඔෆිසර් කෙනෙක් එම තනතුරට දාලා තියෙනවා."


"ජී ආර් එන් පත සකස් වන්නේ නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණය යටතේ. තොරතුරු බලා පරීක්ෂා කර බලා එය සකස් කිරීම එම නිලධාරීන් විසින් සිදු කරනවා. තවත් කෙනෙක් එය චෙක් කරනවා. පසුව එය සහකාර අධ්‍යක්ෂ විසින් පරීක්ෂා කර බලනවා. ඉන් පසුව තමයි ජී.ආර්එන් එක බලන්නේ වැරදි තොරතුරු ඇතුලත් කර තිබුණොත් එය නිවැරදි කිරීමේ හැකියාවක් අපට නෑ, එවැනි දුර්වලතා මගහරවා ගන්නට තමයි චෙක් කිරීම් සිදු කරන්නේ. ඇතැම් සාක්ෂිකරුවන් අධිකරණයේදී කී පරිදි රාජකාරී ලැයිස්තුවක් නැත්තේ නෑ. හැමෝටම රාජකාරී ලැයිස්තුවක් තිබෙනවා."

"වව්චර ගණනාවක් අත්සන් කිරීම සඳහා මා වෙත යොමුවනවා. ඖෂධ පමණක් නොවේ construction, ඔක්සිජන්, යනාදී ලෙස විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා නිවැරදියි කියන පදනමෙන් තමයි අත්සන් කළේ. නිලධාරීන් විසින් සත්භාවයෙන් යුතුව වැඩ කරලා නිවැරදිව කටයුතු කළා යන විශ්වාසයෙන් යුක්තව තමයි මේවාට අත්සන් කළේ."

"Icl යටතේ හෝ වෙනත් මූල්‍ය ප්‍රවාහයක් යටතේ සෞඛ්‍ය ලේකම් විසින් දුන් අනුමැතියක් අනුව ප්‍රධාන ඝනකාධිකාරී වශයෙන් ලබාගෙන තිබූ විශේෂ ගෙවීම් ක්‍රමය යටතේ ගෙවීම් කිරීමට අනුමැතිය ලැබී තිබුණා. අයිතම හතළිස් අටකින් තුනක් පමණයි ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන තිබුණේ. ගෙවීම් ක්‍රමවේදය සඳහා එකම ක්‍රමවේදය තමයි භාවිතා කළේ. Icl යටතේ spc ආයතනය මිලදී ගන්නා ඖෂධ සඳහා icl එක හරහා spc ආයතනයට payment සිදුකළා."


"මුදල් පාලන බලතලවලට අදාළ චක්‍රලේඛයක් 2020 /02/12 දින නිකුත් කර තිබුණා. ඒ අනුව, අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිලියන 25කට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිලියන 25-40 අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට මිලියන 40-100 අතර සහ මිලියන 100ට වැඩි ගෙවීම් සඳහා සෞඛ්‍ය ලේකම් අත්සන් කළ යුතුව තිබුණා."


"මේ ඖෂධ සම්බන්ධයෙන් මා කටයුතු කිරීමේදී නිලධාරින් විසිපහක් හරහා තොරතුරු හුවමාරු වී තිබුණා. බඩු භාර ගැනීමේ සිට ගණකාධිකාරී හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු වන තෙක් ඊට අදාළව කටයුතු කිරීමට නිලධාරීන් ගණනාවක් නිර්දේශ කර තිබුණා.


චෙක්පතක් ඇතිනම් එය නිදහස්වීම නිලධාරීන් විසිපස් දෙනා හරහා සිදුවෙනවා. එය තනි පුද්ගලයෙකු හරහා සිදුවන්නේ නෑ. මුදල් රෙගුලාසි 138 අනුව සහතික කරන නිලධාරියා ලෙස ප්‍රධාන ගණකාධිකාරීවරයාට ප්‍රධාන වගකීම පැවරෙනවා. යම් වවුචරයක් අනුමත කළ කර ඇති නමුත් එය ප්‍රතික්ෂේප කිරීමට හෝ පරීක්ෂා කිරීමේ බලය තිබෙනවා. එසේ නැවත එම වව්චරය යොමු කිරීමේ හැකියාව තිබෙනවා."


"ඖෂධයක quality, safety, efficacy සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ NMRA ආයතනයට. එය එම පනතේ 63(2) සහ 162 යටතේ සඳහන් වෙනවා. ඖෂධයක ගැටලුවක් ඇත්නම් එහි සම්පූර්ණ වගකීම සැපයුම්කරු විසින් දැරිය යුතුයි. ඖෂධ සම්බන්ධයෙන් වන රිපෝට් ලබා ගැනීමේ සම්පූර්ණ බලය තියෙන්නේ NMRA ආයතනයට."


"මෙම රිටොක්සි මැප් ඖෂධය කොලිටි ෆේල් වූ බවට වාර්තා වුනේ නෑ. මේ ඖෂධ සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයන් පිළිබඳව NMRA ආයතනය විසින් මට කළ දැන්වීම මම quality assurance unit එකට යොමු කළා.


Quality fail චක්‍රලේඛයක් ලැබුණොත් එහි මුල් පිටපතක් තබාගෙන පිටපත් වෙනත් ආයතන වලට යැවීමට කටයුතු කරන ලෙස මා එහි සේවකයෙකුට උපදෙස් ලබාදී තිබුණා. මෙම නඩුවේ සාක්ෂි සඳහා ඔහු දෙවරක්ම කැඳවා තිබුණත් අවාසනාවට සාක්ෂි ලබා ගැනීමක් සිදුකළේ නෑ. මේ ඖෂධය with hold කිරීම සිදුකළේ 2023 /09/ 23 වැනිදා. එදිනම ඒ සම්බන්ධයෙන් ඊමේල් මගින් දැනුවත් කිරීම සිදුකළා. ඒ සම්බන්ධයෙන් අයිටී යුනිට් එකට දැනුම්දීම සිදු කළා .එම ඖෂධයට අදාළව quality log එකක් විසිවැනිදාම පද්ධතියට වැටී තිබුණා. ඒ අනුව අදාළ ඖෂධය බෙදා හැරීම අත්හිටුවා තිබුණා. ස්වස්ථා සිස්ටම් එක විවෘත කළ වහාම විවෘත කරන නිලධාරියාට පේන්නේ මෙම quality log එකයි. එම quality log එක ඉවත් කිරීමෙන් තොරව වැඩ කටයුත්තකට සිදු කරගන්න බැහැ. එසේම අදාළ නිලධාරීන් sms යැවීමේ ක්‍රමවේදයකුත් ඒ වන විට අප ක්‍රියාත්මක කළා. එලෙස sms ලැබුණු බවට මෙම අධිකරණයේදී සාක්ෂි මගින්ද ප්‍රකාශ කරනු ලැබුවා."


අදාළ ඖෂධය withdraw කිරීමට තීරණය කළේ 2023/10/05 වැනිදා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ CEO අත්සන් කර අපට එය ලැබුණේ 09 වැනිදා යි. ව්‍යාජ ඖෂධයක් බවට සඳහන් වූයේ එම චක්‍රලේඛය මගින් තමයි. Withdraw කරන සෑම අවස්ථාවකදීම අපට අවස්ථාවක් ලැබෙනවා. සැපයුම්කරුගෙන් එම මුදල් අය කර ගැනීමට. එහිදී සියයට එකසිය විසි පහක අයකර ගැනීමක් සිදුකරනවා. 2023/12/20 දින මා අත්අඩංගුවට පත් කරා. ඒ නිසා මට එම කටයුතු සිදුකිරීමට නොහැකි වුණා."


"සාම්පල් ලබාදීමේ දී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවට සාක්ෂි වලදී කතා වුනා. Quality assurance unit එකෙන් අදාළ නිලධාරින් විසින් msd එකට අදාළ සාම්පල ලබාදීම සිදු කරනවා ඉන්පසුව තමයි රෝහල්වලට ලබා දෙන්නේ."


"සංකූලතා වාර්තා වූ පමණින් ඖෂධයක් නැවැත්වීමට, ඊට අදාළ ගෙවීම් අත්හිටුවීමට හෝ එම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නෑ. ඕනෑම ඖෂධයක් හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකියි. රුධිරය භාවිතා කරන අවස්ථාවලදී සංකූලතා වාර්තා වීම වැඩියි. ඒ බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම සෆ්රක් කමිටුවට තිබෙනවා. එහිදී බොහෝවිට සිදුවන්නේ එම ඖෂධය අදාළ බැච් එක භාවිතයෙන් ඉවත් කිරීම. එවැනි බැච් පහක් ඉවත් කිරීමක් සිදුවුනොත් තමයි අදාළ ප්‍රඩක්ට් එක භාවිතයෙන් ඉවත් වන්නේ. එහෙත් මරණයක් වාර්තා වුණොත් එම ප්‍රඩක්ට් එක withdraw කිරීමක් සිදුකරනවා."


"මෙම සිද්ධියෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත දැනුම් දීමක් කර තිබුණා wor පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අදාළව. ඊට සාපේක්ෂව අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරා .ඒ වන විටත් msd එක ඇතුලේ කලබලකාරීන් තත්ත්වයක් තිබුණා. චෙක්ලිස්ටර් එකක් හදාගන්න ලොකු උත්සාහයක් ගත්තා. අත්අඩංගුවට ගැනීමට දින පහකට පෙර එම චෙක්ලිස්ට් එක හැදුවා. ඖෂධවේදීන් වෙත එය භාරදීම සිදු කළා."


"මෙම ප්‍රශ්නගත ඖෂධ වලදී ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස කටයුතු කළේ වෛද්‍ය සැපයුම් ඒකකය නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි. ටෙන්ඩර් කැඳවීම, ලේඛන සකස් කිරීම, ලෙටර් එක ලබාදීම ආදි සියලු දේ සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. එය රාජ මුදල් දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවක වන අතල කුමාර මහතාගේ සාක්ෂිවලදී තහවුරු වුණා."


"මෙම නඩුවේදී local purchasing ගැන කතා වුණා. ඇත්තටම එය ප්‍රායෝගිකව ගැටලුව සහගත ක්‍රමවේදයක්. ඖෂධ මිලදී ගැනීම් ක්‍රම තුනක් යටතේ සිදු කරනවා. වාර්ෂිකව කරන මිලදී ගැනීම් තමයි ලාභ සහගත. හදිසි මිලදී ගැනීම් වලදී වියදම ටිකක් වැඩියි. ආයතන අතර හුවමාරුවේදී අධික ලෙස මිල වැඩියි .එහිදී වයර් දෙක තුනක් හුවමාරු කෙරුණත් විශාල තොගයක් හුවමාරු කරගැනීම practically සිදුවන්නේ නෑ"


"2023/11/20 වෙනිදා මාව අත්අඩංගුවට ගත්තා WOR එක අවලංගු වූ පසුව බඩු භාරගත් බවට චෝදනාවක් තිබුණා. ඒ වන විට ඒ සම්බන්ධයෙන් කාගෙන්වත් කට උත්තරයක් අරගෙන තිබුණේ නෑ. WOR එක සම්බන්ධයෙන් නඩුවේදී මේ සම්බන්ධයෙන් නැවත නැවත කතා කළේ එම වරද නිවැරදි කිරීමට බව සිතනවා."


"නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදේශගත වූ අවස්ථාවල එතුමාගේ රාජකාරිය ආවරණය කර තිබෙනවා. අවුරුදු දහතුනක් වෛද්‍යවරයෙක් ලෙසත් අවුරුදු 17 ක් වෛද්‍ය පරිපාලන නිලධාරියෙකු ලෙසත් මා සේවය කළා. රෝහල් ගණනාවක කටයුතු කරලා තිබෙනවා. නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා .2019 යුද්ධ කාලයේදී උතුරු මැද ක්‍රියාන්විත සමයේදී ප්‍රතිකාර සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගත්තා. කුලියාපිටිය ප්‍රදේශයේ සිටි මම කොළඹ වෛද්‍ය පීඨයට ආවේ කුසලතා පදනමෙන් වැරදීමකින්වත් රෝගියෙකුට නරක බෙහෙතක් දෙන්න අපේක්ෂා කරන්නේ නෑ."
(මෙම සංවේදීත්වයට පත් වූ විත්තිකරු හඩා වැලපෙමින් මෙම ප්‍රකාශය සිදු කළේය.)


"මම වෛද්‍ය ශිෂ්‍ය සංගමයක් පිහිටුවා කටයුතු කළා. ආචාර්ය සේනක බිබිලේ අනුස්මරණ කටයුතු දිගින් දිගටම සිදු කළා. වෛද්‍ය වෘත්තීයෙන් උපයාගත දේ හැර වෙන කිසිවක් මට නෑ. කුලියාපිටිය ප්‍රදේශයේ මටවත් මගේ දරුවන්ටවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවුණා මේ නඩුව නිසා. මේ සිදුවීම නිසා ඉතාම අසරණ භාවයට පත්වුණා .වසර විසි තුනක් තිස්සේ හම්බ කරගත් සියලු දේ නැති වුණා. දැනටත් වියදම් කරන්නේ මිතුරන් එකතු වි ලබාදන මුදල්."


"මෙම නඩුවේ චෝදනාවලට නිවැරදිකරු බවට මා ප්‍රකාශ කරනවා .කුමන්ත්‍රණයට කිසිදු ආකාරයකින් මම සම්බන්ධ වී නෑ. සියලු චෝදනාවලින් මා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලනවා."


"මෙම ඖෂධ කොලිටි ෆේල් ඖෂධ කියලා දැනගෙන හිටියනම් එය බාරගන්නේ නෑ. මා කළේ රස්සාව විතරයි. රස්සාවෙන් හම්බ කරගත් දේ පමණයි මට තිබෙන්නේ .මම පර්යේෂණ වාර්තා 28ක් පමණ නිකුත් කර තිබෙනවා. මේ නඩුව නිසා මට ඊළඟට ලැබීමට තිබුණු ප්‍රමෝෂන් එක නැතිවුණා. දරුවන්ට පවා මිනිස්සු බැණ වැදුණා .බඩු භාර ගැනීමේදී හෝ ගෙවීම් සිදු කිරීමේදී වංචාවක් කර ඇති බවක් මා දන්නේ නෑ. මෙහිදී වරදක් වී තිබෙනවා නම් එහි සම්පූර්ණ වගකීම සැපයුම්කරු භාරගත යුතුයි. නිලධාරීන් සත්භාවයෙන් නිවැරදිව කටයුතු කළා යන විශ්වාසයෙන් සත්භාවයෙන් තමයි මම කටයුතු කළේ වංචාවක් වන බව සිදුවනවා නම් මුලින්ම විරුද්ධ වන්නේ මම තමයි. මේ චෝදනාවලට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා"


ඒ සමග දෙවන චූදිතගේ විත්තිවාචකය අවසන් කර අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ සේවා දායකයා වෙනුවෙන් ලේඛන දෙකක් ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය. ඒ අතරින් එක් ලේඛනයක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ අතර අනික් ලේඛනය විත්තිය විසින් ඉදිරිපත් කරන බවද එම ලේඛන තහවුරු කිරීම සඳහා සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවද නීතිඥවරයා දන්වා සිටියේය. 


ඒ අනුව අදාළ සාක්ෂි ඉදිරියේදී කැඳවීමට නියෝග කරන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය. 


අනතුරුව මෙම නඩුවේ තුන්වෙනි විත්තිකාරීය වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක වූ පීස් දේව ශාන්තිනී සොලමන් නමැත්තිය සිය විත්තිවාචකය දෙමළ භාෂාවෙන් සිදු කරන බව දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා දෙමළ භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගැනීම සිදුකරන ලදි. 


එම දෙමළ භාෂා පරිවර්තකයාගේ සහාය ඇතිව සිය විත්තිවාචක ඉදිරිපත් කරමින් ඇය මෙසේ සඳහන් කළාය. 


"ස්වාමීනී ,මගේ පියා තේ වත්තක ලිපිකරුවෙක්. මව ගුරුවරියක්. වරින් වර විවිධ ස්ථානවල තේ වතුවල පදිංචි වී සිට තිබෙනවා. 1991 වසරේදී කළුතර national health services ආයතනයේ පුහුණුව ලැබුවා .අනතුරුව 2019 දී නුවරඑළිය මූලික රෝහලේ ඖෂ වේදනියක් ලෙස කටයුතු කළා .2000 වසරේදී විවාහ වෙලා කොළඹට ආවා. අනතුරුව වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක නිලධාරී ලෙස කටයුතු කළා. 2020 ජනවාරි මාසයේදී සහකාර අධ්‍යක්ෂක p l ලෙස පත්වුණා"


ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් 2020 දෙසැම්බර් මාසයේ සිට කටයුතු කළා රාජකාරී කරන කාලය තුළ  2022 වර්ෂය ඉතාම දුෂ්කර කාර්යයක් වුණා. ගෑස් පෝලිම් තිබුණා. පෙට්‍රල් පෝලිම් තිබුණා. එම කාලයේදී රැකියාවට පැමිණීමත් දුෂ්කර වුණා. ඒ කාලයේදී ඖෂධ වල හිඟයක් තිබුණා. අපි spc එකෙන් ඖෂධ ඇනවුම් කළත් ඒ වන විට මිල ගණන් වැඩි බව කියමින් ඖෂධ නැති බව කිව්වා .රටවල් වලින් ආධාර ඉල්ලා තිබුනා. ණය සම්බන්ධයෙන් ඉතා දුෂ්කර කාලයක් වුණා."


"අධිකරණයට ඉදිරිපත් කර ඇති 10v 63 ලේඛනය අනුව 2022 සැප්තැම්බර් මාසයේ පස්වෙනිදා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සමග රැස්වීම් පැවැත්වුණා. ඒ සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම් රත්නායක මහතා , වෛද්‍ය සැපයුම් එකකයේ අධ්‍යක්ෂවරයා, SPC, NMRA වල ප්‍රධානීන් සහභාගි වුණා . එම රැස්වීමට සහකාර අධ්‍යක්ෂවරුන් සහභාගි වුණා. මම සහ චාන්දනීය වන්නිආරච්චි සහභාගි වුණා. ඇය තමයි රිටොපිසි මැබ් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළේ  වික්‍රම ද සොයිසා, ශ්‍යාමා විජයකෝන් යන අයද ඊට සහභාගි වුණා . ඔවුනුත් සහකාර අධ්‍යක්ෂවරුන් .තොග පාලක අංශයේ ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාරත් ඊට සහභාගි වුණා කෞශල්‍ය විජේසිංහ ඊට සහභාගි වුණා. ජේ. කුමාර රෝහණත් ඊට සහභාගි වුණා .මෙවැනි රැස්වීම් වලට සහභාගි වුණේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලැබූනොත් පමණයි. එම රැස්වීමේ කතාබහ කරන දේට අපි සම්බන්ධ වන්නේ නෑ. කරුණක් විමසුවොත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. එවැනි රැස්වීම් වල තීරණ ගැනීමේ හැකියාවක් අපිට නෑ. වගකීම් බෙදා දීමක් සිදුවන්නේ නෑ තොරතුරු ලබාදීම පමණයි අප සිදුවන්නේ."


10v 53 ලෙස ලකුණු කර ඇති ලේඛනය අනුව 2022/10/10 දහයයි දහය දින හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට මා සහ චාන්දනී වන්නිආරච්චි සහභාගී වුණා. නන්දන බණ්ඩාර ,රෝහණ සමන් කුමාර යන අයත් ඊට සහභාගි වුණා. එම රැස්වීමේදී මා කිසිදු තීරණයක් ගත්තේ නෑ .අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සිදුකළා."
 

"පැ.270 ලෙස ලකුණු කර ඇත්තේ 2022 සැප්තැම්බර් 22 දින අතිරේක ලේකම් මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සැපයුම් ඒකකය වෙත ලියූ ලිපියක්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මාස තුනකට අඩු තොග සම්බන්ධයෙන් ඇති ඖෂධයෙන් spc එකට ඇනවුම් සිදුකරන ලෙස එමඟින් දන්වා තිබුණා. එම ඖෂධවල මාසයකට අඩු තොග ප්‍රමාණයක් තමයි තිබුණේ. ලැබීමට ඇති ඕඩර් නොබලා spc එකට ICL යටතේ ලබාගන්න කියලා නියෝගයක් තිබුණා. සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනාටම ඒ සම්බන්ධය උපදෙස් ලබා දී තිබුණා.


"ඒ අනුව ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර විසින් ලැයිස්තුවක් සකස් කලා. එහි ඖෂධ එකසිය අසූ දෙකක් ඇතුළත් කර තිබුණා. ඒ අනුව එය spc ආයතනයට යොමු කළා. මේ  ඇනවුම් ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාර විසින් පරීක්ෂාවට ලක් කල නිර්දේශය කොට අපට ඒවා තිබුණා. ඒ සඳහා අත්සන් තැබීමක් සිදු කළා. අනතුරුව එය අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට යොමු කළා .ඒ වන විට වෛද්‍ය චන්දන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. එම අත්සන් කළ ඖෂධ ලැයිස්තුව ආවරණ ලිපියක් සහිතව ඔහු DDG.MSD වෙත යැව්වා .ඔහු විසින් එය SPC ආයතනයට යොමු කර තිබුණා."


"2022 සැප්තැම්බර් 3 වැනි දා දරණ ලිපියකට අනුව පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා .එහි සභාපතිත්වය දෙනාවත්ත මහත්මිය විසින් දැරුවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන, ජයනාත් බුත්පිටිය යන අයත් එහි කටයුතු කළා."


"ලේකම්තුමාගේ උපදෙස් මත 10/06 වැනි දින h s r p කාර්යාලයේ රැස්වීමට ගියා .ලේකම්වරයා උපදෙස් ලබා දුන්න විට අනිවාර්යයෙන්ම එම රැස්වීමට සහභාගී විය යුතුයි. එහිදී EOI යටතේ ලියාපදිංචි නැති අයට WOR ලේඛන ලබාදීමටත්, අඩුම ලන්සු ඉදිරිපත් කරන අයගෙන් ඖෂධ ලබා ගැනීමටත් තීරණය කෙරුණා."


"ස්වාමීනි, මේ වගේ බෙහෙත් නොවන බෙහෙත් දෙයි කියලා හිතුවේ නෑ. පොඩි වැරැද්දක්වත් මගේ සේවා කාලය තුළ මම කරලා නෑ. අපි ඔක්කොම හොඳට හොයලා බලලා තමයි වැඩ කළේ .වැඩ හොඳින් කිරීම නිසා මේ දේ සිදුවුණා කියලා තමයි හිතන්නේ. ඒ සම්බන්ධයෙන් හරිම දුකයි. පැ දෙසිය පනස් හය ලේඛණය අනුව evaluate කරන විට සියලු තොග බැලුවා එහිදී සියලුම කරුණු සටහන් කළේ නෑ. අවශ්‍ය කරුණු පමණයි සටහන් කළේ .තොග තියෙන ඖෂධ අවශ්‍ය නැති නිසා ඒ සම්බන්ධයෙන් සටහන් කළේ නෑ .සම්බන්ධයෙන් පරිගණක දත්ත පරීක්ෂා කළ නිසා ලේඛන පරීක්ෂා කිරීමක් කළේ නෑ. මෙම නඩුවේදී සාක්ෂි ලබාදීමේදී ප්‍රකාශ වුණා මම Technical specialist කෙනෙක් කියලා මම එහෙම කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය ඖෂධ වේදියෙක්. තාක්ෂණික කරුණු ගැන මා දන්නේ නෑ. අදාළ රැස්වීම්වලදී අපි පිළිතුරු ලබා දෙන්නේ තොග සම්බන්ධයෙන් පමණයි."


"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාරගත්තේ සුජිත් නොමැති නිලධාරියා ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් මා වෙත ඒවා තිබුණා වසරකට අවශ්‍ය ප්‍රමාණය සඳහන් වෙනවා. එහි අනූදාහක් ලෙස සඳහන්ව තිබුණා. මාසයකට අවශ්‍ය තොගය හත්දහස් පන්සීයක් ජාතික අවශ්‍යතාවය දාහතර දාහක් msd එකේ ඒවන විට ඉතාම අඩු තොගයක් තමයි තිබුණේ."


'ලැබිය යුතු තොගවලින් ඇක්ටේව් ඕඩර්ස් වෙනස් වෙනවා. දාලා තියෙන ඕඩර් එකක් එන්නේ නෑ කියලා තිබුනේ. ඒවන විට ලබාදී තිබුණු orders නිසි පරිදි ලැබුණේ නෑ. ගොඩක් වෙලාවට පරක්කු වෙලා තමයි ලැබෙන්නේ. අයිසොලෙස් ආයතනයේ price එක අඩුවට තිබුනා. ඉක්මනින් බඩු එන බවත් දැක්කා. ඒ නිසා තමයි less pricey and order status කියලා එහි සටහනක් දාලා තිබුණේ. ඇනවුම් කළ ඖෂධ කොටස් ලෙස තමයි ආවේ ඒ ඔක්කොම compere කරලා තමයි ඒක යටින් ලිව්වේ."


"අපි ඔක්කොම හොඳින් වැඩ කරන අය. කරන රාජකාරිය හරියටම කරන්න ඕන කියලා තමයි අප කටයුතු කළේ. මාව අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ සහකාර අධ්‍යක්ෂවරුන් හතර දෙනෙක්ම ඉවත් වෙලා ගියා. පිළිවෙලට වැඩ කරලා මෙහෙම දෙයක් වුණානෙ කියලා. හරියට බලලා වැඩ කරන නිසා තමයි මෙහෙම වුණේ .සර් කියන දේ පමණක් කළා නම් මෙහෙම වෙන්නේ නෑ. වැරදි විදියට සල්ලි හම්බ කරලා නෑ. වැරදි කරලත් නෑ. සමහර වෙලාවට මොනවටද ජීවත් වෙන්නේ කියලා හිතනවා. මේ වංචාවට අපි උදව් කළේ නෑ. එහෙම උදව් කරන්න උවමනාවකුත් නෑ. හරිම අමාරුයි"


තුන්වෙනි විත්තිකාරියගේ විත්තිවාචකය සිදු කරන අතරතුර දිනයට නියමිත කටයුතු අවසන් වූ බැවින් එම ප්‍රකාශයේ ඉතිරි කොටස ඊළඟ නඩු දිනයේදී සිදු කරන ලෙස විනිසුරු මඩුල්ල ඇයට එහිදී නියම කළේය. 


එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සිය සේවා දායකයා වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් සහ ලේඛන කිහිපයක් ඇතුළත් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කළේය. 


ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියම කළේය.


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...