උදෑසන කෝපි කෝප්පය රසවිඳීමෙන් පසු ඔබ කුණු කූඩයට විසි කරන කෝපි මණ්ඩි, අනාගතයේදී ඔබේ නිවසේ බිත්ති ශක්තිමත් කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක් විය හැකිය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් මේ බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.
ඔවුන්ගේ පර්යේෂණවලට අනුව, ඉවතලන කෝපි කුඩු විශේෂ ක්‍රමයකට පුළුස්සා කොන්ක්‍රීට් මිශ්‍රණයට එකතු කිරීමෙන් සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා 29.3%ක (30%කට ආසන්න) අමතර ශක්තියක් ලබාගත හැකිය.
කසළ කන්දෙන් ගොඩනැගිලි බිමට

ලොව පුරා වසරකට ඉවතලන කෝපි කුඩු කිලෝග්‍රෑම් බිලියන 10ක් පමණ කසළ ගොඩවල්වලට එකතු වේ.
මෙම කාබනික අපද්‍රව්‍ය දිරාපත් වීමේදී පරිසරයට අහිතකර 'මීතේන්' වායුව නිකුත් වීම ගෝලීය පාරිසරික ගැටලුවකි.
එම අපද්‍රව්‍ය යළි ප්‍රයෝජනයට ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වටිනා සම්පතක් නිපදවීමට මෙම පර්යේෂකයින් සමත් වී ඇත.
කෝපි කුඩු අඟුරු බවට පත් කළ හැටි
සාමාන්‍ය කෝපි කුඩු කෙළින්ම සිමෙන්ති සමඟ මිශ්‍ර කළහොත් කොන්ක්‍රීට් බදාමය දුර්වල වේ.
එබැවින් පර්යේෂකයින් කළේ ඔක්සිජන් රහිත පරිසරයක සෙල්සියස් අංශක 350ක උෂ්ණත්වයකට කෝපි කුඩු රත් කිරීමයි (Pyrolysis ක්‍රියාවලිය).
එමඟින් නිපදවුණු විශේෂ අඟුරු වර්ගය (Biochar), කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඇති වැලි වෙනුවට 15%ක ප්‍රමාණයකින් ආදේශ කිරීමට ඔවුන් පියවර ගත්තේය.

ගංගා පතුල් හාරමින් සිදුකරන අධික වැලි කැණීම් නිසා පරිසර පද්ධතියට සිදුවන්නේ දැඩි හානියකි.
කොන්ක්‍රීට් සඳහා යොදාගන්නා වැලි වෙනුවට කෝපි අඟුරු භාවිත කළ හැකි වීම නිසා ස්වභාවික වැලි සඳහා ඇති ඉල්ලුම අඩු කරගැනීමට හැකි වනු ඇතැයි RMIT ඉංජිනේරු ජී ලී පෙන්වා දෙයි.
පර්යේෂණාගාරයෙන් මහපොළොවට

2023 වසරේදී ආරම්භ වූ මෙම පර්යේෂණය 2024 වසරේදී ඕස්ට්‍රේලියාවේ පදික වේදිකාවක් ඉදිකිරීම සඳහා ප්‍රායෝගිකව යොදා ගැනුණි.
ඉන් අනතුරුව 2025 වසරේ සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී තහවුරු වූයේ, මහා පරිමාණ කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර හරහා නිපදවීමේදී විද්‍යාගාරය තුළ ලැබුණු 30%ක අමතර ශක්තියට තවමත් සම්පූර්ණයෙන්ම ළඟා වීමට නොහැකි වී ඇති බවයි.
කෙසේ නමුත් සාමාන්‍ය කොන්ක්‍රීට් හා සමාන ශක්තියක් පවත්වා ගනිමින්, කසළ ගැටලුවට සහ වැලි හිඟයට එකවර විසඳුම් ලබා දීමට මෙම සොයාගැනීම සමත්ව තිබේ.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳියක්



