The Leader News
BREAKING
බලංගොඩ කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්; මත්ද්‍රව්‍ය පරීක්ෂණවලටත් නියෝග●උසස් පාසල් සහතික අර්බුදය මැද ඉන්දුනීසියානු උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙයි●සිනමාකාරයන් සොයාගත් අලුත් කලාව●“ප්‍රේම කරනා හැටි” ඉගෙන ගන්නා දිනය අද යි●'ඔත්තු බලන තරු' සහ අතුරුදන් වූ මිනිසුන්ගේ විමුක්ති සිනමාව●නව අයවැය සහ 2028 ණය අභියෝග පිළිබඳ එජාපයෙන් විශ්ලේෂණයක්●පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා●බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ඉල්ලුම තියුණු ලෙස පහළට; සරසවි මූල්‍ය අර්බුදයක●ආන්දෝලනාත්මක සිදුවීම් මැද එන්වීඩියා ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වේ●ඕස්ට්‍රේලියානු සරසවිවලට නව සීමා: ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද?●
Top Ad
සාහිත්‍ය - කලා

“ප්‍රේම කරනා හැටි” ඉගෙන ගන්නා දිනය අද යි

Nethmini

Nethmini

November 13, 2026 • 2:10 PM

“ප්‍රේම කරනා හැටි” ඉගෙන ගන්නා දිනය අද යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ අද දිනය ඉලක්ක කරගෙන මම 'සත්හඬ' පුවත්පතේ සිහිනය අතිරේකය වෙත කුඩා පදවැලක් රචනා කළා.
  • රචකාව ගේ දෘෂ්ටිකෝණය මට හැඟුණු විදියට ගීතයේ පළමු පේළියෙන් ම පද රචකාව තමන්ගේ දෘෂ්ටිකෝණය ප්‍රකාශ කරනවා.
  • රචකාව මෙහි දී ප්‍රේමය කියන්නෙ පුරුෂයකු සහ ස්ත්‍රියක අතර හටගන්නා ආදරය නොව දේශපාලන විශ්වාසයකට, විප්ලවයකට, නායකයකුට සහ ජනතාවකට ඇති ආදරය යන්න ගම්‍ය කරනවා.
  • විජේවීර නමැති පුද්ගලයා දේශපාලනය පමණක් නොව, විප්ලවීය ලෙස ලෝකයට ආදරය කරන ලෙස ද ඔහු ඉගැන්වූ බව රචකාව ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

2017 වසරේ අද දිනය ඉලක්ක කරගෙන මම 'සත්හඬ' පුවත්පතේ සිහිනය අතිරේකය වෙත කුඩා පදවැලක් රචනා කළා. මම පාන්දර ම වෙහෙසුණේ එම පදවැල සොයාගන්න. නමුත් සොයාගත නොහැකි වුණා. හැබැයි ඒ වෙනුවට මට චානු නිමේෂා විසින් රචිත සහ ඇය ම ගයනවා යැයි සිතිය හැකි විජේවීර උපහාර ගීතයක් හමු වුණා; මම ඒ ගීතයට කිහිප වතාවක් ම සවන් දුන්නා.

මේ වන විට වෙනත් ගීතයක් පිළිබඳ ලියමින් සිටින අවස්ථාවක වුනත් මේ ගීතය සම්බන්ධයෙන් මගේ හිතට නැගුණ අදහස අකුරු කරන්න හිතුණා.

පළමුවෙන් ම මම ගීතයේ පද පෙළ සටහන් කරන්නම්; ගීතය නම් කර තිබුණේ 'ප්‍රේම කරනා හැටි' යන මැයෙන්.

ප්‍රේම කරනා හැටි ඉගෙන ගත්තේ ඔබෙන් ම යි

ඉතිහාසයේ ඔබ ශ්‍රෙෂ්ඨයි

අප රටේ ඔබ පැමිණීම විරුද්ධයි

අලංකාරයි මරණයෙන් වැසුවලූ

ඔබ සූර්යා වූ විරුවානු

සමරන් දැන් විජේවීර… විජේවීර… විජේවීර…

 

පැහැදිලිව පවතීවී විප්ලවය ඔබ ඉගැන්වූ

අධිෂ්ඨානයෙන් සැවොමා

ගනිමු ජය නද ඔසවාලා

ඔබ නගපු හඬ පාලා

ගොඩනගමු රට එක් වීලා

ඔබ සූර්යා වූ විරුවානු

සමරන් දැන් විජේවීර… විජේවීර… විජේවීර…

 

අපි මැරුණත් අපේ හඬ සදාකාලිකයි

ඔබ කියූ ඒ සත්‍යය

මිය නොයයි එය කිසි දා ලොවේ

ජීවිතෙන් මිදුනා වේ විමුක්තිය ජනතාව ගේ

ඔබ සූර්යා වූ විරුවානු

සමරන් දැන් විජේවීර… විජේවීර… විජේවීර…

 

එක්ව දිවුරමු ඔබේ සොහොනේ

විප්ලවයේ ජය දද නගන්නට

රතු ලොවක් අපි ගොඩනගන්නෙමු

සමාජවාදී රටක් හදමු අපි එක්වීලා

අධිටනින් දිරි පාලා ඔබ මගේ ම වූවෙක් වීලා

 

ඔබ විරු අපෙ සොහොයුරා

නිර්මලව ලේ වැගිරුවා

ඔබ සූර්යා වූ විරුවානු

සමරන් දැන් විජේවීර… විජේවීර… විජේවීර…

 

(අසා ලියූ බැවින් වචන වැරැදි විය හැකියි)

පද රචනය සහ තනුව චානු නිමේෂා (ගීතය ගායනා කරන්නිය ගේ නම සඳහන් වී නැහැ)

විශේෂයෙන් මේ පද පෙළ කියවූ සැණින් මට දැනුණේ මේක සරල විජේවීර උපහාර ගීයක් නොවන, රෝහණ විජේවීරගේ දේශපාලන චරිතය ප්‍රේමය, වීරත්වය,මරණය,විප්ලවය, සමාජවාදය යනාදි සංකල්ප පදනම් කරගනිමින් පූජනීය කරවන දේශපාලන ගීතයක් බවයි. නමුත් ඒ හා සමානව ම පද රචනය තුළ කලාත්මක ශක්තිය මෙන්ම දේශපාලනික සීමා ද ඉතා පැහැදිලිව දක්නට ලැබුණා.

රචකාව ගේ දෘෂ්ටිකෝණය

මට හැඟුණු විදියට ගීතයේ පළමු පේළියෙන් ම පද රචකාව තමන්ගේ දෘෂ්ටිකෝණය ප්‍රකාශ කරනවා. ඒ, “ප්‍රේම කරනා හැටි ඉගෙන ගත්තේ ඔබෙන් ම යි” නමැති පද පේළියෙන්.

රචකාව මෙහි දී ප්‍රේමය කියන්නෙ පුරුෂයකු සහ ස්ත්‍රියක අතර හටගන්නා ආදරය නොව දේශපාලන විශ්වාසයකට, විප්ලවයකට, නායකයකුට සහ ජනතාවකට ඇති ආදරය යන්න ගම්‍ය කරනවා. ඒ නිසා තමයි රචකාව “ඔබෙන් ප්‍රේමය ඉගෙන ගත්තා” යනුවෙන් පැහැදිලි කරන්නේ. විජේවීර නමැති පුද්ගලයා දේශපාලනය පමණක් නොව, විප්ලවීය ලෙස ලෝකයට ආදරය කරන ලෙස ද ඔහු ඉගැන්වූ බව රචකාව ප්‍රකාශ කරනවා. අනෙක් විශේෂත්වය තමයි මෙම ගීතයේ විජේවීර ව දේශපාලන නායකයෙක් වගේ ම ගුරුවරයකු බවට පත් කිරීම; ඒ විතරක් නෙවෙයි රචකාව අවසානයේ දී විජේවීර: වීරයකු, සොහොයුරකු පමණක් නෙවෙයි සූර්යයා බවටත් පත් කරනවා; මෙය ප්‍රබල රූපකයක්.

රචකාව ගේ දේශපාලන භක්තිමත් භාවය

රචකාව එක් තැනක “ඉතිහාසයේ ඔබ ශ්‍රේෂ්ඨයි” යනුවෙන් යොදනවා. මේ යෙදුම හුදෙක් ඉතිහාස විග්‍රහයක් පමණක් ම නෙවෙයි; ඉතිහාසය නැවත ලිවීමක්. නමුත් මම දකින විදියට මේ වැකිය හුදෙක් සාධක මත ඉදිරිපත් කරන අදහසක් හෝ ඉතිහාසයේ විනිශ්චයක් නෙවෙයි; ඒක පද රචනයේ/ රචකාව ගේ දේශපාලන ස්ථාවරය යි. මොකද අපි සමබරව විග්‍රහ කළොත් විජේවීර කියන්නෙ1965 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ (ඉදිරියේ දී මෙම වචන තුන 'ජවිපෙ' ලෙස සඳහන් කරනවා) නිර්මාණය කිරීම වගේ ම එහි දේශපාලන ගමන් මග සමග සම්බන්ධ වුණ ප්‍රධාන චරිතය. ඒ නිසා ම ජවිපෙ පිළිබඳ ඒ නිල ඉතිහාසය විජේවීරට ඒ දේශපාලන ව්‍යාපාරයේ මතවාදය වගේ ම සංවිධානාත්මක ගොඩනැංවීමේ ප්‍රධාන භූමිකාව පවරනවා; ඇත්තෙන් ම කිසිවකු විසින් පවරනු නොලැබුවත් එය ස්වයංක්‍රීයව ම විජේවීර වෙත පැවරෙනවා.

හැබැයි මෙතනදි මට විචාරකයක් විදියට තවත් ප්‍රශ්නයක් පැන නගිනවා. රචකාව, “ශ්‍රේෂ්ඨ” යනුවෙන් හඳුන්වන්නෙ කාගෙ ඉතිහාසය ද කියන ප්‍රශ්නය. මොකද මට ඒක වැදගත් වෙන්නෙ ඇතැම් අවස්ථාවල විජේවිර ගේ දේශපාලන භූමිකාව ඒකමානීය නොවුණ නිසා. ඒක වඩාත් පැහැදිලි කරනවා නම් ජවිපෙ: මාක්ස්වාදී, ලෙනින්වාදී සහ මාඔ්වාදී පසුබිම වගේ ම පසුකාලිනව පක්ෂයේ ජාතික ප්‍රශ්නය පිළිබඳ වෙනස්කම්. අනෙක් පසින් සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග පැවැත්වූ සහ දැනට ද පවත්වන සම්බන්ධය යි.

මෙන්න මේ හේතුව නිසා රචකාව “ඔබ ශ්‍රේෂ්ඨයි” යෙදීම එක් පසෙකින් සත්‍යයක් ම නොවෙන භක්තිමත් දේශපාලන ප්‍රකාශයක් කියලයි මට හිතෙන්නෙ.

ගීතයේ කාව්‍යාත්මක භාවය

රචකාව පද රචනයේ එක තැනක“අලංකාරයි මරණයෙන් වැසුවලු” යනුවෙන් පදයක් භාවිත කරනවා. මේක මට දැනුණෙ ගීතයේ වඩාත්ම කාව්‍යාත්මක පදය විදියට. මොකද මෙතන “මරණය” කියන්නෙ අවසානයක් නොවන  රූපකයක්. මරණය හේතුවෙන් පුද්ගලයා ගේ දේශපාලන ජීවිතය අවසාන වුනාට මෙම ප්‍රකාශනයේ දී විජේවීර ගේ ප්‍රතිරූපය තව තවත් විශාල වෙන බවක් තමයි මට හැගුණේ. වඩාත් පැහැදිලිව කියනවා නම් සමහර විට කිසියම් පුද්ගලයකු ගේ මරණය ඒ මිනිසා මිථ්‍යාමය වීරයකු බවට පත්කරන ක්‍රියාවලියක් වීම. අපේ රටේ විවිධ පළාත්වල මිනිස්සු අදහන දෙවියන් පිළිබඳ විමසා බැලුවා නම් මේ පිළිබඳව වඩාත් නිවැරැදි අවබෝධයකට එන්න පුළුවන්.

තවත් ප්‍රබල රුපකයක්

රචකාව දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ගීතය සඳහා තවත් අපූරු රූපකයක් භාවිත කරනවා. ඒ තමයි “සූර්යා වූ විරුවා” කියන රූපකය. මේක පද රචනයේ ප්‍රධාන ම රුපකය විදියට හදුන්වන්නත් පුළුවන්. මොකද සූර්යයා කියන්නෙ ප්‍රබල වස්තුවක්. ඒ වස්තුව අපිට: ආලෝකය දෙනවා, අඳුර පලවා හරිනවා, ජීවය ඇති කරනවා, දිශාවක් ලබා දෙනවා, දිනපතා ම නැවතීමක් නැතුව ම නැවත නැවත උදාවෙනවා. මෙන්න මේ සියලු සිද්ධි නිසා පද රචනයේ දී විජේවීර එක් පසෙකින් ආලෝකයට ද සම්බන්ධ කරනවා. මගේ කියවිමට අනුව නම් මේ රූපකය ඉතා පැරණි දේශපාලන කාව්‍ය සම්ප්‍රදායකට පවා සම්බන්ධ වෙනවා. ඒ වගේ ම මෙතන දි විප්ලවීය නායකය කියන්නෙ “ආලෝකය” විදියටත්, පැරණි සමාජය කියන්නෙ “අඳුර” විදියටත් දක්වලා තිබීම මේ දේශපාලන පද රචනයේ ප්‍රබල රූපකයක්.

සිත් ගන්නාසුලු පුනරුච්චාරණය

අපි හොඳට ම දන්න දෙයක් තමයි කිසියම් පුද්ගලයකුගේ නම හෝ සිද්ධියක් පිළිබඳව නැවත නැවත සිහිපත් කරද්දි, කියවද්දි ඒ පුද්ගලයා ගේ නම හෝ අදාළ සිද්ධිය සංකේතයක් බවට පත්වෙන එක. ඒ සඳහා අවශ්‍ය තරම් උදාහරණ දෙන්න පුළුවන් වුනත් මම ඒකට පෙලඹෙන්නෙ නැහැ.

මේ පද රචනයෙත් එක පදයක “විජේවීර… විජේවීර… විජේවීර…” යනුවෙන් වර නගනවා. ඒ වර නැගීම එක් ස්ථානයකට පමණක් සීමා නොවී කිහිප පළක ම යොදනවා. මේ වර නැගීම සාහිත්‍යමය විදියට නාමකරණය කරනවා නම් ඉතා සිත් ගන්නාසුලුයි. මොකද මේ පදයෙන් හැඟවෙන්නෙ තොරතුරක් නෙවෙයි නෙ… ඒක මන්තරයක්; ජය ඝෝෂාවක්; සාමුහික මතකාවර්ජනයක්.

මෙන්න මේ පුනරුච්චාරණය නිසා ම ගීතය අවසානයේ විජේවීර පිළිබදව විශේෂයෙන් කියන්න වුවමනා වෙන්නෙ නැහැ. විජේවීර ගේ නම ගීතය පුරා ම ගැයෙනවා; විශේෂ රිද්මයකින් ගැයෙනවා. තවත් සරලව කියනවා නම් “මහ රජාණනි” කියල වර නගනවට වඩා ශ්‍රාවකයාට මේ වර නැගීම දැනෙනවා; හැඟෙනවා.

මතක සංකල්ප නව මානයකින්…

අපි හැමෝම දන්නවා “අප මරා දැමුවද අප නගන හඬ සදා නොමියෙනු ඇත” කියන ප්‍රකාශය රෝහණ විජේවීර ගේ ප්‍රකාශයක් බව. මේ ප්‍රකාශය ම රචකාව වෙනත් ආකාරයකට භාවිත කර තිබෙනවා ඒ, “අපි මැරුණත් අපේ හඬ සදාකාලිකයි” යනුවෙන්. ඇත්තට ම මේක පද රචනයේ අන්තර්ගත ප්‍රබල දේශපාලනික මුලධර්මයක් විදියට හඳුන්වන්න පුළුවන්.

මෙතනදි මම හිතන්නෙ රචකාව “අපි” යනුවෙන් භාවිත කරන්නෙ වර්තමානයේ ජීවත් වන පුද්ගලයින් පමණක් නෙවෙයි; ඒ සමස්ත විප්ලවීය පරම්පාව ම හඳුන්වන්න පුළුවන් සංකේතයක්. මෙන්න මේ නිසා ම මරණය කියන්නෙ භෞතික ශරිරයේ අවසානය වුනත් ඒ ඒ විප්ලවාදී සංවිධාන නගන හඬෙහි අවසානය නෙවෙයි. මම කියවලා තියෙන විදියට මේ සංකල්පය/ අදහස ලෝකයේ විප්ලවීය දේශපාලන ගීතවල පූජිත මරණය, එහෙමත් නැති නම් දිවි පිදූවන් පිළිබඳ මතකය සංකල්ප ගතකරන යෙදුමක්.

සාහිත්‍යමය උපක්‍රමය අධිභක්තිමත් භාවයක් ලෙස

අපි දන්නවා ඔ්නෑම කවියක, ගීතයක පද රචකයා හෝ රචකාව තමන් ගෙ නිර්මාණයට සාහිත්‍යමය උප්‍රම භාවිත කරනවා. මේ ක්‍රමය: නවකතාව, කෙටිකතාව යනාදියටත් වලංගුයි. ඒ අනුව මේ පද රචනයේ ප්‍රධාන සාහිත්‍යමය උපක්‍රමය විදියට මම දකින්නේ: මනුෂ්‍යයෙක්, ගුරුවරයෙක්, වීරයෙක්, සූර්යයෙක්, සොහොයුරෙක් යනාදි සියල්ල සදාකාලික සංකේතයක් විදියට භාවිත කිරීම යි. හැබැයි ඒක විජේවිර ගේ ‌ඓතිහාසික මානව රූපය විදියට සලකන්න බැහැ. ඒක පද රචනය විසින් නිර්මාණය කරනු ලබන විජේවීර ගේ මිථ්‍යාමය රුපය විදියට තමයි මම දකින්නෙ. මෙතනදි මම අදහස් කරන්නෙ විජේවිර ගේ භෞතික රුපය නෙවෙයි. කලින් සඳහන් කරපු විදියට (දෙවියන් පිළිබඳ) අපි විසින් ම ගොඩනගා ගන්නා ලද මිථ්‍යාමය රූපය. ඇත්තට ම මෙහෙම සිද්ධ වෙන්නෙ මොන තරම් රැඩිකල් විප්ලවවාදී චරිතයක් වුනත් ඇතැම් අවස්ථාවලදි ඒ ඒ පුද්ගල චරිත පිළිබඳව අධිභක්තිමත් භාවයකට එළඹුණා ම කියලයි මට නම් හිතෙන්නෙ. ඇතැම් විට මේ අධිභක්තිමත් භාවය ම තමයි අනාගතයෙ දි ඇදහීමක් දක්වා වර්ධනය වෙන්නෙ. මගේ පුද්ගලික අදහස නම් අපි එතනට නොයා යුතුයි.

ඉතිහාසයේ එක් පාර්ශ්වයක් පිළිබඳ පමණක් කියවෙන ගීතයක් ද…?

මේ සටහනේ දි මම ඉතා වැදගත් අදහසක් මතු කරන්න කැමතියි. ඒ තමයි මේ පද රචනය ඉතිහාස මතක බවට පත් කිරීම. මම මෙතනදි මතු කරන කාරණයට ජවිපෙ බොහෝ දෙනෙක් අකමැති වෙන්න පුළුවන්; හැබැයි අපි යථාර්ථය අවබෝධ කරගන්න ඔ්න.

අපි දන්නවා රෝහණ විජේවීර සහෝදරයා මිය ගියේ 1989 අද (13) යි. ඒ වගේ ම විජේවීර ගේ මරණය (ඝාතනය) සිද්ධ වෙන්නෙ (සිදු කරන්නෙ) ජවිපෙ දෙවන කැරැල්ලේ අවසන් අදියරත් එක්ක නෙ. මෙන්න මේ සමය පිළිබඳව ඉතිහාස විස්තරවලට අනුව රාජ්‍ය පාර්ශ්වය වගේ ම ජවිපෙ පාර්ශ්වයත් ප්‍රචණ්ඩත්වය සහ ඝාතන සිදු කරා නෙ. (අදාළ කාලයට සාපේක්ෂව එය වැරැදියි කියන්න බැහැ) මෙන්න මෙතනදි පද රචකාව ඒක පාර්ශ්වීය වීම අඩුපාඩුවක් විදියට මම දකිනවා. මොකද විජේවීර සාධකය සමග ප්‍රචණ්ඩත්වයත් දම්වැලක පුරුක් වගේ එකිනෙකට යා වෙනවා; හැබැයි අපි ඒ පාර්ශ්වය අමතක කරනවා. ඒ කියන්නෙ ඉතිහාස සිද්ධියක එක් පාර්ශ්වයක් අමතක කරනවා.

සමහරවිට රචකාව බලාපොරොත්තු වෙන්නෙ මේ මතක වටා නව පරම්පරාවක් උදෙසා දේශපාලන හැඟීමක් නිර්මාණය කිරීම වෙන්න පුළුවන්. ඒකෙන් සිද්ධ වෙන්නෙ මේ පදරචනය භාවිත කරමින් නිර්මාණය කරපු ගීතය ඉතිහාසය පිළිබඳ ගීතයක් නොවී ඉතිහාසයේ එක් පාර්ශ්වයක් පිළිබඳ කියවෙන ගීතයක් වීමයි. තවත් සරලව කියනවා නම් ඉතිහාසය මතක තබාගත යුත්තේ මෙන්න මෙහෙමයි කියල හඟවන ගීතයක් වීමයි.

මගේ අවසන් නිගමනය

මේ කරුණු මේ විදියට ගොනු කරමින් මම දැන් සුදානම් වෙන්නෙ දේශපාලනික වශයෙන් එකඟ වීමෙන් හෝ නොඑකඟ වීමෙන් තොරව සාහිත්‍යමය වශයෙන් මේ ගීතයේ, විශේෂයෙන් ම පද රචනය පිළිබඳ මගේ අවසන් නිගමනය අකුරු කරන්න.

මේ පද රචනය (ගීතය) විජේවීර ගේ ජීවිතය විශ්ලේෂණය කරන පද රචනයක් විදියට මම දකින්නෙ නැහැ. තවත් පැහැදිලිව කියනව නම් මේක විජේවීර පිළිබඳ විශ්වාසයක් නිර්මාණය කරන පද රචනයක්; ඔහු ගේ දේශපාලනය (වර්තමාන ජවිපෙ නායකකාරාදින් විසින් පවත්වාගෙන යනු ලබන දේශපාලනය නොවේ) පිළිබඳ විශ්වාසයක් නිර්මාණය කරන පද රචනයක්.

විශේෂයෙන් ම මට දැනෙන සහ හැඟෙන විදියට මේ පද රචනයේ ප්‍රධාන අරමුණ වෙන්නෙ විජේවීර කවුද යන්න පැහැදිලි කිරීම නෙවෙයි; විජේවිර යනු අපට කවුද යන්න තහවුරු කරන පද රචනයක්. ඒ නිසා මෙහි අන්තර්ගතය ඉතිහාස මතකයක් බවටත්, මතකය ආගමික භක්තියක් බවටත්, භක්තිය දේශපාලන කැපවීමක් බවටත් පරිවර්තනය වෙන බවක් මට හැඟෙනවා.

ඒ නිසා මේ පද රචනයේ අතිශය සාර්ථක රූපකය “සූර්යා වූ විරුවා” විදියටත්, අතිශය බලවත් සාමූහික සංකේතය “විජේවීර… විජේවීර… විජේවීර…” විදියටත්, දේශපාලනික වශයෙන් වඩාත් බරපතළ යෙදුම “ඔබ කියූ ඒ සත්‍යය” විදියටත්, වඩාත් ම ගැඹුරු සංකේතය “ඔබේ සොහොනේ දිවුරමු” විදියටත්, වඩාත් ම විවාදාත්මක යෙදුම “නිර්මලව ලේ වැගිරුවා” විදියටත් සලකන්න මම කැමතියි.

මෙන්න මේ සියල්ල ම එකට කැටි කරා ම ගීතයේ සැබෑ අරුත මතු දැක්වෙන ආකාරයට සාරාංශ කරන්න පුළුවන්.

ඝාතනයට ලක්වුණ විප්ලවවාදියෙකු ගේ මතකය, ඔහුගේ අනුගාමිකයන් ගේ දේශපාලන විශ්වාසය බවට පරිවර්තනය කිරීම. ඒ වගේ ම පද රචනය ප්‍රේමය නමැති වචනයෙන් ආරම්භ වෙලා, සමාජවාදී රටක් නමැති දේශපාලන අරමුණෙන් අවසන් වීම. ඒක තමයි මම දකින ඉතාමත් අපූරු සාහිත්‍යමය ව්‍යුහය.

 ප්‍රේම කරනා හැටි (Prema Karana Heti) | අමරණීය විජේවීර සහෝදරයාට උපහාරයක් | Chanu Nimesha | Story Net

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...