The Leader News
BREAKING
නව අයවැය සහ 2028 ණය අභියෝග පිළිබඳ එජාපයෙන් විශ්ලේෂණයක්●පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා●බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ඉල්ලුම තියුණු ලෙස පහළට; සරසවි මූල්‍ය අර්බුදයක●ආන්දෝලනාත්මක සිදුවීම් මැද එන්වීඩියා ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වේ●ඕස්ට්‍රේලියානු සරසවිවලට නව සීමා: ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද?●Diginote | 2027 අයවැයෙන් බදු සහන: වැටුප් හා දීමනා ඉහළට●ලොවම අඩපණ කළ මයික්‍රොසොෆ්ට් බිඳවැටීම යථා තත්ත්වයට●2027 අයවැය: රජයට මුදල් ලැබෙන සහ වියදම් වන හැටි සරලව●නොරොච්චෝලේ ඩීසල් වංචාව: වසර 10ක අක්‍රමිකතා ගැන විමර්ශන●අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: අයවැය විවරණ සහ කොළඹ ගංවතුර●
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා

Nethmini

Nethmini

November 13, 2026 • 11:48 AM

පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට මඩුවන්වෙල දිසාවේ අසූතුන්වෙනි වියේ පසුවිය.
  • එදා දෙදෙනාගේ එම මත්පැන් සාදය අවසන් වී හැකි ඉක්මනින්ම මොළමුරේ කොළඹ බලා පිටත් වුණේ වැඩ රාශියක් ඇති බව කියමිනි.
  • ඉඳහිට දිනෙක හදිසියේම පැමිණියත් බොහෝ වැඩ රාජකාරී ඇති නිසා පෙර මෙන් රැඳෙන්නට විවේක නොමැති බව කියමින් ඉක්මනින්ම ආපසු ගියේය.
  • තම බූදලයෙන් කොලොන්නේ සීලවතී වලව්ව ඇතුළු ඒ ආශ්‍රිත ඉඩම් කැබලි කිහිපයක් සහ නවනැලිය නින්දගමෙන් කොටසකුත් හැරෙන්නට ඉතිරි සියල්ලම මොළමුරේගේ භුක්තියට පවරාගෙන තිබුණේ දිසාවේට ප්‍රාණ භුක්තිය පමණක් ඉතිරි කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
1927 වසරද උදාවී තිබිණි. මේ වනවිට මඩුවන්වෙල දිසාවේ අසූතුන්වෙනි වියේ පසුවිය. හිටපු පුරාවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරී ජයන්ත විජේරත්න මහතා සිය ගවේෂණවල දී අනාවරණය කරගෙන තිබූ තොරතුරුවලට අනුව මෙම වසරේ එක් දවසක හදිසියේම වාගේ ෆ්‍රැන්සිස් මොළමුරේ මඩුවන්වෙල වලව්වට පැමිණියේය. ඔහු පැමිණියේ නිකම්ම නොවේ. එක් අතක වූයේ ලියකියවිලි කිහිපයකින් යුතු ෆයිල් කවරයකි. අනෙක් අතේ මිල වැඩි විදේශ මත්පැන් බෝතලයක් විය. 
     
මඩුවන්වෙල දිසාවේ තමන් හා පෑහෙන උදවිය සමඟ මත්පැන් සාද පැවැත්වීම වලව්වේ කවදත් සිදුකළ දෙයකි. මත්පැන් සමඟ හැපීමට අවශ්‍ය කරන කටගැස්ම ද සාදවා ගෙන දෙදෙනා සාලයේ සුවපහසු අසුන් දෙකක වාඩි වී මත්පැන් පානය ඇරඹූහ. මොළමුරේ වැඩිපුරම කතා කළේ එවකට මේ රටේ පැවති දේශපාලනයයි. එම මාතෘකාවට මඩුවන්වෙල දිසාවේගේ ද උනන්දුවක් තිබිණි.
       
"ලොකු අප්පච්චි, අර මම ඉල්ලපු උපකාරය නම් මට අවශ්‍යමයි"
       
මොළමුරේ පැවසුවේ හදිසියේ සිහිපත් වූ දෙයක් මෙනි. 
       
"මොකක්ද ෆ්‍රැන්සිස්ට මගෙන් කෙරෙන්න ඕනේ?" 
       
"අර මම දවසක් ලොකු අප්පච්චිට මතක් කළේ කුරුවිට නින්දගමෙන් ඉඩම් කොටසක් මට දෙන්න කියලා"
       
"ආ....ඒකද? ඒක මම කරලා දෙන්නම්" දිසාවේ පිළිතුරු දුන්නේය.
       
"ලොකු අප්පච්චිට ඒ ගැන අමුතුවෙන් මහන්සි වෙන්න දේකුත් නෑ. ඔන්න මම ඒකට ලියවිල්ලත් හදාගෙනම ආවා. ඒක ලොකු අප්පච්චිටත් පහසුයි නේ"
       
එසේ කී මොළමුරේ ෆයිල් කවරය තුළින් එම ලියවිල්ල සහිත කඩදාසි කිහිපය පිටතට ගත්තේය. 
       
"මෙන්න මෙතනින් අත්සන් කරන්නකෝ ලොකු අප්පච්චි"
       
ලියවිල්ල කියවා බලන්නට තරම් දිසාවේට තම සහෝදරයාගේ පුතු ගැන අවිශ්වාසයක් තිබුණේ නැත. හැරත් මේ වනවිට මත්පැන් පානය කර සිටි නිසා මෙවැනි ⁣දේ ගැන ඔහුගේ සිතට බරට නොදැනුණා වන්නටත් පුළුවන. මොළමුරේ විසින් පෙන්වා දුන් තැන්වල දිසාවේ සිය අත්සන තැබීය. 
       
එදා දෙදෙනාගේ එම මත්පැන් සාදය අවසන් වී හැකි ඉක්මනින්ම මොළමුරේ කොළඹ බලා පිටත් වුණේ වැඩ රාශියක් ඇති බව කියමිනි. ඉන්පසු සෑහෙන කලක් ගත වුවත් මොළමුරේ මඩුවන්වෙල වලව්වට පැමිණියේ නැත. ඉඳහිට දිනෙක හදිසියේම පැමිණියත් බොහෝ වැඩ රාජකාරී ඇති නිසා පෙර මෙන් රැඳෙන්නට විවේක නොමැති බව කියමින් ඉක්මනින්ම ආපසු ගියේය. 
       
මඩුවන්වෙල දිසාවේට මොළමුරේ ගේ මේ හැසිරීම් ගැන සැක පහළවන්නට විය. තම සැකය හුදු සිතිවිල්ලක්ද, නැතහොත් සැබෑවක්ද යන්න පිළිබඳව සොයා බැලූ දිසාවේ ගේ ඉහ මොළ රත් විණි.       
තම බූදලයෙන් කොලොන්නේ සීලවතී වලව්ව ඇතුළු ඒ ආශ්‍රිත ඉඩම් කැබලි කිහිපයක් සහ නවනැලිය නින්දගමෙන් කොටසකුත් හැරෙන්නට ඉතිරි සියල්ලම මොළමුරේගේ භුක්තියට පවරාගෙන තිබුණේ දිසාවේට ප්‍රාණ භුක්තිය පමණක් ඉතිරි කරමිනි. මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට අයිති වූයේ එසේය. (උපුටා ගැනීම : එම්.එම් ජයන්ත විජේරත්න ගේ රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් ග්‍රන්ථය 2019)
       
මෙම සිදුවීමෙන් පසු මඩුවන්වෙල දිසාවේ සිටියේ තමා කෙරෙහි ම උපන් කලකිරීමෙනි. තම ආබාධිත දියණියට සේම ඇයව තමන්ගේම දරුවකු මෙන් බලා කියාගන්නා සිය බිරිඳ වන කලවානේ කුමාරිහාමිටත් යුතුකම් ඉටුකරන්නට නොහැකි වීම ගැන ඔහු මහත් සේ වේදනා වින්දේය. අප්‍රමාණව පසුතැවුණේය. 
       
මෙම සිද්ධිය කලවානේ කුමාරිහාමි මෙන්ම ඇගේ සොහොයුරා වූ කලවානේ රටේ මහත්තයා ද පසුව දැන ගත්හ. තමන්ගේ සැකය නිවැරදි බව ඔවුන් වටහා ගත්තත් කළ හැකි කිසිවක් තිබුණේ නැත. මඩුවන්වෙල දිසාවේ තම සොහොයුරියට කළ මේ අගතිය හේතුවෙන් කලවානේ රටේ මහත්තයා දිසාවේ කෙරෙහි සිටියේ හිත නොහොඳිනි. ඒ නිසා වෙනදා මෙන් ඔහු මඩුවන්වෙල වලව්වට නිතර යාම් ඊම් කිරීම නවතා දැමීය. ඉඳහිට දිනයක හෝ ගියේ සිය සොහොයුරිය දැක බලාගන්නට පමණි. එසේ වුවද මඩුවන්වෙල දිසාවේ කිසියම් ඉල්ලීමක් කළහොත් එය ඉටු කිරීමට කලවානේ රටේ මහත්තයා පැකිලුනේ නැත. එසේම ඔහු තම රාජකාරී කටයුතු ද අතපසු කිරීමකින් හෝ පැහැර හැරීමකින් තොරව සිදු කරන්නට වග බලා ගත්තේය. 
වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල්
       
ආර්. එල්. ස්පිට්ල් (Richard Lionel Spittel) එවකට අපේ රටේ සිටි දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු මඩුවන්වෙල දිසාවේගේ සමීප හිතවතකු විය. ස්පිට්ල් අපට සුවිශේෂ වන්නේ ඔහු අපේ රටේ ඉපදී කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව එවකට තිබූ Ceylon Medical College හි වෛද්‍ය විද්‍යාව හදාරා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකින් වැඩිදුරටත් ශල්‍ය වෛද්‍ය අධ්‍යාපනය ( FRCS) ලබා කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කළ කීර්තිමත් වෛද්‍යවරයකු වූ නිසාම නොවේ.
       
වෛද්‍ය ස්පිට්ල් ඉතාමත් දක්ෂ ලේඛකයෙකි. ඔහුගේ වනයට තිබූ ඇල්ම සුවිශේෂ ය. ලංකාවේ බොහෝ ඝන වනාන්තරවල ඔහු සංචාරය කළ අතර, එහි සත්ව හා ශාක විශේෂ මෙන්ම වැදි ජනතාවගේ ජීවන රටාව ද මනාව අධ්‍යයනය කළේය. ඒ නිසා ඔහු වැදි ජනතාව පිළිබඳ හසළ දැනුමක් ඇති ප්‍රමුඛ පෙළේ පර්යේෂකයකු සහ ලේඛකයකු ලෙස සැලකේ. 
     
Savage Sanctuary නමින් (1941) වෛද්‍ය ස්පිටල් ලියූ කෘතිය "වන සරණ" ලෙසිනුත්, Vanished Trails: The Last of the Veddas (1950) "මැකී ගිය දඩමං" ලෙසිනුත්, Where the White Sambhur Roams (1951) "සුදු ගෝනා" ලෙසිනුත්, Wild White Boy (1958) "සුදු වැද්දා"ලෙසිනුත්, Brave Island (1966)"වීර දිවයින" ලෙසිනුත් ප්‍රකාශයට පත්වී තිබේ.     
මෙම ග්‍රන්ථ අතරින් Savage Sanctuary, Vanished Trails, Where the White Sambhur Roams සහ Wild White Boy යන කෘති ස්පිටල් මහතාගේ වැදි ජන ජීවිතය සහ වනාන්තරය පිළිබඳ ඇති අසීමිත දැනුම ප්‍රකට කරවයි. ඒ හැරුණුවිට Wild Ceylon ලංකාවේ වනය සහ විශේෂයෙන් එවකට සිටි වැදි ජනතාවගේ ජීවිතය පිළිබඳ කෘතියකි. 
     
Far-off Things – ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, ජනප්‍රවාද සහ වනයේ අභිරහස් පිළිබඳ ලියැවුණු කෘතියකි. එය 1933 දී ප්‍රකාශයට පත් වී තිබේ.
       
වෛද්‍ය ස්පිට්ල් විසින් රචිත ⁣කෘතීන් මෙපමණක් නොවේ. මේ දැක්වූයේ කිහිපයක් පමණි. මෙම වෛද්‍යවරයා ඔහුගේ Far- off things ග්‍රන්ථයෙහි A Chieftain of the wikderness (වනගත ප්‍රදේශයේ නායකයා) නමින් මඩුවන්වෙල දිසාවේ පිළිබඳ වෙනමම පරිච්ඡේදයක් ලියා ඇත. (මෙම පොත ප්‍රේමචන්ද්‍ර අල්විස් නම් ලේඛකයා විසින් "ලක්බිමේ තවත් යුගයක්" නමින් සිංහලට පරිවර්තනය කර තිබේ.)
       
1929 දී එවකට අසූපස් වෙනි වියේ පසුවූ මඩුවන්වෙල දිසාවේ කකුලක හටගත් ගෙඩියක් හේතුවෙන් රෝගාතුර විය. ආයුර්වේද මෙන්ම බටහිර වෙදකම් ද කළත් ගෙඩියෙහි සුවයක් දක්නට නොලැබිණි. මේ ගෙඩිය නිසා දිසාවේ මහත් කායික වේදනාවක් විඳිමින් සිටියේය. තවදුරටත් මේ පිළිබඳව බලා නොඉඳ වෛද්‍ය ස්පිට්ල්ට දන්වා යවන්නට තීරණය කළ කලවානේ කුමාරිහාමි ස්පිට්ල් වෙත මේ විස්තර සඳහන් කර ලිපියක් ලීවාය. එම ලිපියත්, කොලොන්න රෝහලේ වෛද්‍යවරයාගේ ලිපියත් යන මේ ලිපි දෙකම රැගෙන අතවැසියකු නොපමාව ම කොළඹ බලා පිටත් කරනු ලැබිණි. 
       
වෛද්‍ය ස්පිට්ල් එම ලිපි ලද සැණින් මඩුවන්වෙල ඒමට පිටත් විය. ඔහු තම කෘතියෙන් ද මේ ගමන ගැන විස්තර කර තිබිණි. 
       
1929 වන විට මෙරට මෝටර් රථ භාවිතය තිබුණත්, ඒවා ප්‍රධාන වශයෙන් නගර සහ නිසි ලෙස මාර්ග තිබූ ප්‍රදේශවල පමණක් භාවිත විය. දුෂ්කර ගම්බද ප්‍රදේශවල මාර්ග තත්ත්වය බෙහෙවින් අපහසු වූ නිසා ප්‍රභූ පිරිස් භාවිතා ක⁣ළේ දෝලාවන් ය. වෛද්‍ය ස්පිට්ල් තමන් වලව්වට පැමිණි ගමන ගැන ඔහුගේ පොතේ ද විස්තර කර ඇත. 
       
මඩුවන්වෙල දිසාවේගේ අසනීප තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහතා මඩුවන්වෙල වලව්වට පැමිණි ගමනේ අවසාන කොටස සඳහා ඔහුට පල්ලක්කියක (palanquin - දෝලාවක් වැනි එකකි.) ආධාරය ලබාගැනීමට සිදුව තිබිණි. මිනිසුන්ගේ කර මතින් ඔසවාගෙන යන පල්ලක්කිය එවකටත් ඇතැම් දුෂ්කර ප්‍රදේශවල ගමනාගමනය සඳහා භාවිත වූ පැරණි ප්‍රවාහන ක්‍රමයකි. වනාන්තර බහුල, මාර්ග පහසුකම් ඉතාමත්ම දුෂ්කර මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණෙන්නට එදා සිදුව තිබුණේ ඔය වැනි දෙයක ආධාරයෙනි.
    
වලව්වට පැමිණි වෛද්‍ය ස්පිට්ල් දුටුවේ එම පරිසරය ඉතා පැරණි, වනාන්තරයට සමීප ස්ථානයක් ලෙස ය. වලව්ව වටා විශාල ගස් පැවති අතර වලවිව වනාන්තරයක් මැද පවතින ආකාරයක් දිස් විය. ඉදිරිපස පැරණි බෝධියක්, පහන තැබීමට සකස් කළ කෙටි තාප්පයක් සහ මල් පූජා කළ ගල් පූජාසනයක් ද වෛද්‍ය ස්පිට්ල් දුටුවේය.
       
වලව්වට ඇතුළු වූ පසු ඔහුට අහසට විවෘත වූ කුඩා මැද මිදුලක් සහ එය වටා තිබූ ආලින්දය දැක ගන්නට ලැබිණි. මඩුවන්වෙල දිසාවේ, ඔහු උපන් බව කියන පැරණි ලී ඇඳ මත රෝගීව වැතිර සිටියේය.  පාදයේ වේදනාකාරී ආබාධයට අමතරව උණෙන් ද පීඩා විඳිමින් සිටින බව ඔහු පරීක්ෂා කළ වෛද්‍ය ස්පිට්ල් ට වැටහිණි. 
තවත් කොටසක් ලබන සතියේ 
මෙම විස්තර සපයා ගැනීමට උපකාරී වූ හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (15 කොටස) : ඇත්ගාල සහ ගාල් නගරය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (16 කොටස): ගාලේ ඇතුන්ගේ දුක | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (17 කොටස): ඩිංගිරි අප්පෝට මංගල යෝජනා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (18 කොටස): මොළමුරේගේ සම්ප්‍රාප්තිය | ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

View all stories by ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...