වසරක් තිස්සේ කල කතිකා, සාකච්ඡා, සහ අදහස් විමසීම් මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මූලිකාංග පිළිබඳව ලියවිල්ලක් 'සාධාරණ

සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පසුගියදා එලි දැක්වුයේ මෙවන් ලියවිල්ලක් සම්බන්ධයෙන් තිබිය යුතු පුළුල් සාකච්ඡාව තව දුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි.

 එමනිසා, නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන්ගේ විවේචනයන් සහ ප්‍රශංසාද ඇතුළු ලිපිය එම සාකච්ඡාවට හොඳ ආරම්භයක් ලබාදෙන්නක් ලෙස අපි සලකන්නෙමු.

මෙම ප්‍රතිචාරයේ අරමුණ වන්නේ සෙනෙවිරත්නයන්ගේ අප්‍රසාදයට ලක් වුනු දෙවෙනි මන්ත්‍රණ සභාවක් පිලිබඳ යෝජනාව සාධාරණීකරණය කිරීමයි.

ඇත්ත වශයෙන්ම ඔහු මුළු යෝජනාවටම විරුද්ධ බවක් නොපෙනේ; විරුද්ධ වන්නේ ඉදිරිපත් කර ඇති දෙවෙනි විකල්පයට, එනම් 45 දෙනෙකු ගෙන් යුතු දෙවෙනි මන්ත්‍රණ සභාවට පළාත් සභා වල මන්ත්‍රීවරුන්‌ හෝ ඇමැතිවරුන් පත්කිරීමේ අදහසටයි.

ඔහුගේ ලිපියෙන් ගම්‍ය වන්නේ 1948 සිට 1971 දක්වා ක්‍රියාත්මකවූ සෝල්බරි සාමිවරයාගේ ආකෘතියට අනුකූල සෙනෙට් සභාවකට ඔහුගේ විරුද්ධත්වයක් නොමැති බවයි.



අරමුණු පිලිබඳ ප්‍රශ්න:


සෝල්බරි ආකෘතිය යටතේ සභිකයන් පත්කළේ පාර්ලිමේන්තුවේ නියෝජනයවන දේශපාලන පක්ෂවල අනුපාතය අනුව 15 දෙනෙකුත්, අග්‍රාමාත්‍ය වරයාගේ උපදෙස් අනුව ආණ්ඩුකාරවරයා විසින් 15 දෙනෙකුත් වශයෙනි.

එම පත්වීම් හා ධුර කාලයන් පාර්ලිමේන්තුවේ මැතිවරණ චක්‍රයෙන් ස්වායත්ත වීම නිසා සෙනෙට් සභාව යම් ප්‍රමාණයකට මැතිවරණ ප්‍රතිපල වලින් පිළිබිඹු වන “ජනවරමට” තිරිංගයක් ලෙස ක්‍රියා කළේය.

මේ හේතුව නිසාම 1971 වර්ෂයේදී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් එය අහෝසි කර දමන ලදි. මෙය කරන ලද්දේ 1972 වර්ෂයේ අනුමත කර ගත බල කේන්ද්‍රීයකරනයට මුල් තැන දුන් අලුත් ව්‍යවස්ථාවටත් පෙරය.

යමක් විවේචනය කරන විට හෝ යමක් යෝජනා කරන විට, එහි අරමුණ පැහැදිලි කිරීම සපල සාකච්ඡාවකට දායක වෙයි.

 

පළාත් සභා සභිකයන් දෙවෙනි මන්ත්‍රණ සභාවට ඇතුලත් කිරීමේ අරමුණ කුමක්දැයි අසන සෙනෙවිරත්නයන්ට කිව යුත්තේ සාධාරණ සමාජය ව්‍යාපාරයේ ලියවිල්ලේ දෙවෙනි මන්ත්‍රණ සභාව මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පලදායී බල හවුල්කාරීත්වයක් සඳහාවු මෙවලමක් බව ඉතා පැහැදිලිව, ඉදිරියෙන්ම ප්‍රකාශ කර ඇති බවයි. ඔහුගේ ප්‍රසාදයට ලක්වන සෝල්බරි සෙනෙට් මණ්ඩලයේ අරමුණ මීට හාත්පසින්ම වෙනස් වුවකි.

 

එහි ප්‍රධාන අරමුණ ලෙස ගත හැක්කේ මහජන ඡන්දයෙන් පත් නොවූ ප්‍රබුද්ධ සහ/හෝ ප්‍රභූ නියෝජනයක් මගින් පාර්ලි‌‌මේන්තුවේ ආවේගශීලී තීන්දු තීරණ වලට යම් ආකාරයක තිරිංගයක් ලෙස කටයුතු කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විෂයයෙහි මෙය හඳුන්වන්නේ තැන්පත් දෙවෙනි සලකා බැලීමට අවස්ථාවක් (sober second thought) සැපයීමක් ලෙසයි.

සෝල්බරි සෙනෙට් මණ්ඩලය නිර්මාණය කිරීමේදී, වර්තමානයේ ජාතික ලැයිස්තුවේ මුඛ්‍ය අරමුණක් වන ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය එනමුත් ඡන්ද මගින් පත් කරගැනීමට අපහසු දක්ෂ පුද්ගලයින්ගේ සහභාගීත්වය සාක්ෂාත් කර ගැනීමේ අරමුණද තිබුණු බව පෙනේ.

 

දැන් අප සෙනෙවිරත්නයන්ගෙන් පෙරලා ඇසිය යුත්තේ ඉහත අරමුණු ඉෂ්ට කර ගැනීමට ජාතික ලැයිස්තුවේ ආසන 28ක් තිබියදී, ඒ සඳහා දෙවෙනි මන්ත්‍රණ සභාවත් කැප කරන්නේ ඇයිද යන්නයි.

 

බල හවුල්කාරීත්වය සඳහාවූ මෙවලමක් :




'සාධාරණ සමාජයක් ව්‍යාපාරය' මගින් යෝජිත දෙවෙනි මන්ත්‍රණ සභාව තේරුම් ගැනීමට අප බැලිය යුත්තේ සෝල්බරි සාමිවරයාගේ ව්‍යවස්ථාව දෙස නොවේ. අප බැලිය යුත්තේ බබාසහෙබ් අම්බෙඩ්කාර් මහතාගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ඉන්දියාවේ ජනරජ ව්‍යවස්ථාව දෙසයි.



ඉන්දියාවේ දෙවෙනි මන්ත්‍රණ සභාව වන රාජ්‍ය සභාවෙන් ලෝක් සභාව තුලනය කිරීමට අමතරව තවත් ප්‍රයෝජනවත් කටයුතු රැසක් ඉටු කෙරේ. රාජ්‍ය සභාවට කෙරෙන පත් කිරීම් වලින් බොහොමයක් සිදු කරනු ලබන්නේ ප්‍රාන්ත විසින් වන හෙයින් එක් එක් ප්‍රදේශ වල විශේෂයෙන් ශක්තිමත් දේශපාලන පක්ෂ වලට මධ්‍යම රජයේ ඉහලම ස්ථරය තුල සිය නියෝජනය තබා ගැනීමට එමගින් ඉඩ සැලසේ.  

පළාත් සභා වශයෙන් ජාතික නොවන ආණ්ඩු දැන් ශ්‍රී ලංකාවේ පවතින අතර ඒවා නව ව්‍යවස්ථාව තුල ද දිගටම පවත්වා ගත යුතු යැයි යෝජනා කරනු ලැබේ.

පළාත් සභා මගින් පත් කෙරෙන දෙවෙනි මන්ත්‍රණ සභාවක් යෝජනා කරනු ලබන්නේ දැනට නිසි ලෙස ක්‍රියාත්මක නොවන මධ්‍යම රජය සහ පළාත් අතර සම්බන්ධීකරණය ඵලදායි තත්වයකට ගෙන ඒම සඳහාය.

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉන්දියානු ව්‍යවස්ථාවේ සමහර කරුණු දැනටමත් ශ්‍රී ලංකාව විසින් යොදා ගෙන තිබේ. මධ්‍යම රජය සහ පළාත් රජයන්ට අදාල විෂයයන්, ලැයිස්තු දෙකකින් වෙන් කර දී ඇති අතර තවත් සමගාමී ලැයිස්තුවක, එකිනෙකෙහි පූර්ව අදහස් විමසීමකින් පසුව, මධ්‍යම සහ පළාත් යන ආණ්ඩු දෙකටම පාලන බලය ඇති විෂයයන් සඳහන්ය.  

 

මේ සමගාමී ලැයිස්තුව ඉවත් කරන ලෙසට වර්තමාන ව්‍යවස්ථා සංශෝධනයෙහි මධ්‍යම සහ පළාත් අතර සම්බන්ධතාව පිළිබඳව පසු ගිය කාලයේ කටයුතු කල අනු කාරක සභාව යෝජනා කලේ එය නිරන්තරයෙන්ම පළාත් සභා වලට අවාසි වන අයුරින් යොදා ගෙන ඇති බව දක්වමිනි.  

ඉහත සඳහන් කළ ලැයිස්තු තුනට විෂයයන් වෙන් කර දෙන 1978 ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනය විශාල වශයෙන් උල්ලංඝනය වන බව කවුරුත් දන්නා කරුණකි.  

උදාහරණයක් ලෙස, තොග සහ සිල්ලර වෙළඳාම් මත ව්‍යාපාර පිරිවැටුම් බදු  පැනවීමේ අයිතිය පළාත් සභාවලට තිබේ.  

එහෙත්, පළාත් සභා වලට සැලකිය යුතු ආදායම් මාර්ගයක් විය හැකි මේ මූලාශ්‍රය, අගය එකතු කළ (VAT) බදු පද්ධතිය හරහා, පළාත් සභා වලට යුක්ති සහගත කොටසක් ලැබෙන ආකාරයේ ව්‍යුහයක් සකස් කිරීමකින් තොරව මධ්‍යම රජය විසින් පැහැර ගෙන ඇත.

මෙවැනි බදු අනුමත කර ගැනීමේදී පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුව තුල නිශ්චිත භූමිකාවක් සාධාරණ සමාජයක් යෝජනා මගින් නිර්මාණය කැරෙන අතර එමගින් පළාත් සභාවනට කෙරෙන අසාධාරණයනට පිලියමක් සපයනු ලැබේ.

මධ්‍යම රජය සහ පළාත් රජයන් අතර පුළුල් සම්බන්ධීකරණයක් අවශ්‍ය නොවන කිසියම් විෂයක් වේ යැයි පෙන්වා දීම  දුෂ්කරය.  එහෙත්, මේ සම්බන්ධයෙන් පවතින තිස් වසරක  අත්දැකීම් දෙස බලන විට පාර්ශව දෙක අතර විෂයන් බෙදෙන ආකාරය හොඳින් ක්‍රියාත්මක වන බව සම්බන්ධයෙන් ද වාද කළ නොහේ. මෙම දුර්වලතා පිළිසකර කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුය.

 

මේ සඳහා ඉන්දියාවේ අත්දැකීම් වලින් වැදගත් පාඩම් උගත හැක.  ඉන්දියානු ව්‍යවස්ථාවේ යොදා ඇති භාෂාව සම්බන්ධයෙන් පමණක් පාඩම් ඉගෙනීමට වඩා වැදගත් වන්නේ එහි දැක්වෙන අර්ථ දැක්වීම් සහ ක්‍රියාවට නැඟීම් පාඩමට ගැනීමය.

 

උදාහරණයක් ලෙස, මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර ආර්ථික සම්බන්ධීකරණයට අදාලව මෑතකදී අනුමත කරගන්න ලද ඉන්දියානු ව්‍යවස්ථාවේ 101 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කල නව යාන්ත්‍රණ ක්‍රියාවට නැගීමේ අත්දැකීම් අධ්‍යයනය කළ හැකිය.  

ශ්‍රී ලංකාවේ, මධ්‍යය සහ පරිධිය අතර ඇති අසාර්ථක සම්බන්ධතාවයට හේතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන්ම පිළි නොගත් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් බව කිව හැක.  

එහෙත්, මධ්‍යම රජයේ නීති සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිය අදහස් දක්වන්නට පළාත් සභාවලට ඉඩ සලසන දෙවන මන්ත්‍රී මණ්ඩලයක් සහ අනෙකුත් යාන්ත්‍රණයන් නොපැවතීම ද එම තත්වයට දායක වන්නට ඇතැයි යෝජනා කිරීම අසාධාරණ නොවනු ඇත.


RS 11.04(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ගේ ලිපිය :


නව ව්‍යවස්ථාවක් සැකසීමේදී සිද්ධි අධ්‍යයනය මුල් විය යුතුයි -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 
 
අප්පච්චි බේරගන්න චීගෙන් චූ පෑලැන් එකක් !| මොණරවිලගේ ලියමන 
 

ඩලස්ගේ අලුත් ගේම! | The Leader TV | Gossip 
 

බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්