සමහර විට මිනිහ මට අවවාද කළේ අර ටී මේකර් මාව එක්කරගෙන ආපු නිසා ද දන්නෑ.

මට හිතෙන විදියට ඒ ‘ටී මේකර්’කියන මනුස්සයට මේ හෝටලේ ලොකු සර්රුයි, මැනේජර් මහත්තයයි, බිල් මහත්තයයි හැමෝම වගේ මොකක් හරි විශේෂ සැලකිල්ලක් තියෙනව. ඒ හිංද මං තීරණය කරා හෙට රෑ හතට ඕෆ් එක ඉල්ලගෙන ජස්ටින් මාම මුණ ගැහෙන්න ඕන කියල. එයා හැමදාම හවස හයට ඕෆ් වෙනව.

ජස්ටින් හෙවත් ටී මේකර්

ඔවු... රොහාන් හිතපු විදියට ම අද හවස මිනිහ මාව හම්බ වෙන්න ආව. ඒක මම කවදාවත් නොහිතපු දෙයක්. මොකද හැව්ලොක් පාර පටන් ගන්න තැන ඉඳල අන්තිම දක්වා ම තියෙන හැම හෝටලයක් ගැන ම මම දන්නවා. ඒ වගේ ම මම ඒ හෝටල්වලට හුඟක් අය රස්සාවලට දාලත් තියෙනවා. හැබැයි එයාල අතරින් මේ වගේ යුතුකම් ඉෂ්ට කරන අය හමුවෙලා තියෙන්නෙ බොහොම ටික දෙනයි. ඒ අතරින් රොහාන් කියන්නෙ තරමක් විශේෂ කෙනෙක් කියල කිව්වත් වැරැදි නෑ. ඇත්තට ම මම එදා රෑ රොහාන් හම්බ වුණ වෙලාවෙ කොහොමටවත් හිතුවෙ නෑ තව මාසෙකින් මෙහෙම දෙයක් සිද්ධ වේවි කියල. මට එදා වුවමනාව තිබුණෙ වෙනද වගේ දඩයමක් කරගන්න විතරයි. ඒත් ඒක වෙනස් වුණේ රොහාන්ගෙත් තියෙන බය නැතිකම වගේ ම අවංකකම නිසා කියල මට පිළිගන්න ම වෙනව. ඇත්තට ම කියනව නම් මට අද මං ගැන ම ලජ්ජයි. ඒ ලජ්ජාව වෙන මොනවත් නිසා නෙවෙයි. මෙච්චර වයසට ගිහිල්ලත් මට... එක්කො ඒ ගැන හිතල වැඩක් නෑ...

‘‘ඉතිං... ඔහේට කොහොමෙයි දැන්...? රස්සාව හොඳෙයි...?’’

Portrait of A Man UP 2016 1S5A0308 1080x
මම රොහාන්ගෙන් ඇහුවෙ ඇත්තට ම මගේ හිතේ තිබුණ සතුට ප්‍රකාශ කරන්න වෙන විදියක් නොතිබුණ නිසා. මොකද මම එහෙම අවස්ථාවක් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ.

‘‘මොකක් හරි රස්සාවක් හොයාගෙන ආපු මට මේ රස්සාව හරි හම්බුණේ ඔහේ හිංද නෙ අංකල්. ඒක හොඳ ද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. කොච්චර කාලයක් මේක කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ.’’

254659lරොහාන් උත්තර දුන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියාගෙන. ඒක මට නොතේරුණා නෙවෙයි. නමුත් ඒ මොකක්ද කියන එක එයාගෙන් ම දැනගන්න ඕනෙ.

‘‘ඇයි... ඔහේට මක්ක හරි ප්‍රස්න තියෙනවයි...? මක්ක හරි ප්‍රස්නයක් තියෙනව නං මැනේජර් මහත්තෙය එක්ක දොඩන්න. මාත් මැනේජර් මහත්තෙයට දොඩන්නං...’’

රොහාන් ඒකට උත්තරයක් දුන්නෙ නෑ. මිනිහ කරේ කොටු බැම්ම දිහා බලාගෙන කල්පනා කරපු එක. මිනිහට මොකක් හරි ප්‍රශ්නයක් ඇති. මොකද තැළිල පොඩි වෙච්ච එකෙක් නෙවෙයි නෙ. ඒත් ඉතිං මට දිවියඥානෙ නැහැ නෙ...

‘‘ඒ පාර මක්කයි කල්පනා කරන්නෙ...’’

‘‘නෑ අංකල්... මේක කිසිම නිදහසක් නැති රස්සාවක් නෙ. අනික බතික් අංකලුයි සුමනසිරි අයියයි ඇරුනහම අනික් එවුං ඔක්කොම තවමත් මං දිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනව වගේ. රෑට ඕෆ් වෙච්ච වෙලාවෙදි මං චිත්‍රකතා පත්තරයක් කියෙව්වත් ඒක උන්ට පේන්නෙ හරි අමුතු විදියට. අනික පිචර් එකක් බලන්නවත් යන්න නිදහසක් නෑ නෙ.’’

රොහාන් එහෙම කිව්වට මට නං ආරංචි වුණේ අඩුම ගානෙ සතියකටවත් සැරයක් මිනිහ පිචර් එකක් බලනව කියල. එහෙම දවසට හතට ඕෆ් වෙනවලු. ඕෆ් වෙලා නමයයි තිහ පිචර් එක බලල ඇවිත් පත්තර කඩදාසි ටිකක් එළාගෙන කඩේ ඉස්සරහ පේමන්ට් එකේ නිදාගන්නවලු. කඩේ අතුගාන්න උදේ පහට විතර කඩේ අරිද්දි ම ඇතුළට යනවලු. මං ඒව ගැන අහන්න ගියේ නෑ. මැනේජර් මහත්තය වුනත් මොනවත් කියල නැත්තෙ ඒක රස්සාවට බාධාවක් වෙන්නෙ නැති නිසා කියල තමයි මට බතික් කිව්වෙ. බතික් ඕෆ් වෙච්ච වෙලාවට බුකියට යන ගමන් ඇවිත් මාත් එක්ක කයියක් ගහනව. ඒ වෙලාවට තමයි ඔය විස්තර කියන්නෙ.

theater district geno peoples
බතික් අංකල්

‘‘මේකනෙ ජස්ටිං අයියෙ... රොහාන්ට හරියන එවුන් එතන නෑ. එතන ඉන්න එවුන්ට රොහාන් හරියන්නෑ. මිනිහත් හරිම අමුතු ගති තියෙන එකෙක් නෙ. කස්ටමර්ස්ල වුනත් හුඟක් දෙනෙක් මිනිහට කැමතියි. එයාල කියන්නෙ මිනිහ පිළිවෙළකට වැඩ කරනව කියල. ඒත් මේ ළඟදි බස් ස්ටැන්ඩ් එකේ ටයිම් කීපරයෙක් එක්ක පැටලිලා තිබුණ. ‍රොහාන්ට එළියට බහින්නෙපා කියල ඌ කියල තිබුණ. පස්සෙ මං හොයල බැලුව. ටයිම් කීපරය රොහාන්ට ‘ඕයි’ කියල කතා කරාම රොහානුත් ‘මොකද ඕයි...’ කියල අහල. එතනදි තමයි කතාව ඇති වෙලා තියෙන්නෙ. අන්තිමේදි ටයිම් කීපරය රොහාන්ට කිව්වලු පාරෙං එහා පැත්තට ඇවිත් අහුවෙන්නෙපා කියල. මේකා කරල තියෙන්නෙ එදා හයට ඕෆ් වෙලා ඒ පැත්තට ම ගිහින්. ඒ ගිහින් අහක්කල බෝධියෙ තාප්පෙට පිට දීල බස් දිහා බලා ඉද්දි එකෙක් ඇවිත් ඇහුවලු ‘මල්ලි ඔහේ හැව්ලොක් එකේය වැඩ කරන්නෙ...?’ කියල.’’

‘‘ඔවු අයියෙ... ඇයි දන්නෑ...?’’

‘‘ඉතිං මේ වෙලාවෙ මෙතන මක්කයි කරන්නෙ...?’’

රොහාන් මිනිහගෙ මූණ දිහා බලාගෙන ඉඳල හිනාවුණාලු.

‘‘ඇයි ඔහේ හිනාවෙන්නෙ...?’’

realisticeyewithoils

‘‘හිනාවෙන්නෙ ද... ඔහේලයි එක්කෙනෙක් මට අද උදේ කිව්ව නෙ පාරෙන් එහා පැත්තට ඇවිත් අහුවෙන්නෙපා කියල... මං මේ ඒකයි ආවෙ... මං හිතන්නෙ...’’ කියල රොහාන් කියද්දි ම ‘‘හරි හරි මල්ලි... ඔව්ව ගනංගන්නෙපා. ඌ කොහොමත් ටිකක් ගානට වැඩියි. දැං මට මේ ඌම තමයි කිව්වෙ ඔහේ ඇවිත් ඉන්නවයි කියල. ඌ ඔය කයිවාරු ගැහුවට ගූ බයයි. ඌ ඔහොම වුනාට අපේ අනික් කට්ටිය නං ඔහේගෙ හොඳම තමයි කියන්නෙ. මං නං කන්නෙ බොන්නෙ ක්වින්ස් එකෙං. ඒකයි මං ඔහේව අඳුරන්නැත්තෙ. හරි... දැං ඔහේ යන්න. මං හෙට උදේ ඌත් එක්ක ම හැව්ලොක් එකට එන්නං...’’

‘‘කිව්ව වගේ ම මිනිහ පහුවදා උදේ අර ටයිම් කීපර් එක්ක කඩේට ඇවිත් රොහාන් එක්ක කතා කරල. රොහාන්ම තමයි මට විස්තර කිව්වෙ. ඒත් ජස්ටිං අයියෙ මං කියන්නෙ ඔය කියන ටයිම් කීපරය මාගාල්ලෙ එකෙක්ලු. රොහාන්ට ටිකක් පරිස්සං වෙන්න කියන්න.’’

‘‘මොනව කරන්න ද බතික්... නාහෙට අහන්නැති වයසනෙ... බලමු... ටවුන් එකේ එවුන් එක්ක ආරෝවට නොයන විදියෙ මොකක් හරි කරන්න බලමු.’’

*          *          *
Unknown

මං හිතන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මැනේජර් මහත්තෙය මාව කෑම පැන්ට්‍රි දෙකෙයි, තේ පැන්ට්‍රියෙයි පුරුදු වෙන්න දැම්මෙ. තේ පැන්ට්‍රියෙ පුරුදු වෙන්න දාපු එකට නම් කොට්ටවගෙ එච්චර කැමැත්තක් තිබුණෙ නෑ. දහනායකගෙ නම් එහෙම ඊර්ෂ්‍යාවක් තිබුණෙ නෑ. හැබැයි මිනිහත් කොල්ලන්ට ආසයි. ඒත් මායි පාලිතයි අතරෙ ඇති වෙච්ච ප්‍රශ්නෙ නිසා මිනිහ කවදාවත් මට එහෙම යෝජනාවක් කරේ නෑ.

කොහොම හරි දැං මම නිශ්චිත වැඩක් නැති මිනිහෙක් වගේ. උදේ දහය එකොළහ වෙන තුරු ම ඉස්සරහ පැන්ට්‍රියකට උදවු කරනවා. දවල් කෑමට කලින්: උදේ කෑම, ස්විට් කෑම, ෂෝට්ඉස්ට් ආහාර වගේ හැම දෙයක් ම තියෙන්නෙ මේ පැන්ට්‍රියෙ. සතියක් දෙකක් ගියාට පස්සෙ මිනිහ එකොළහට ඕෆ් වුණාම මම ම තමයි ඒ කෑම පැන්ට්‍රිය බැලුවෙ. ඒකෙ තියෙන ලොකුම වගකීම තමයි වේටර්ල ‍කෑම ඕඩර් කරාට පස්සෙ ප්‍රැන්ට්‍රි කීපර් ට්‍රේවලට දාන කැම ප්‍රමාණය හරියට ම මතක තියාගන්න එක. එහෙම වැරදුනොත් හවසට ගණං බලද්දි වග කියන්න ඕනෙ පැන්ට්‍රි කීපර්. මොකද සමහර වේටර්ල එයාලට කන්න ඒ කෑමවලින් හොරෙන් කෑම ගන්නවා. සමහර වේටර්ල කස්ටමර්ස්ලට වැඩියෙන් කන්න දීල අඩුවෙන් බිල දානවා. එහෙම දාල එයාල කස්ටමර්ගෙන් පොඩි ගාණක් ගන්නවා. මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕනෙ පැන්ට්‍රි කීපර්. වේටර් ට්‍රේ එක ආපහු අරගෙන ආවම විකිණිලා තියෙන කෑම මොනවද කියල බිල් මහත්තයට කියන්න ඕනෙ පැන්ට්‍රි කීපර්.  

එතන වැඩ ඉවර වුණා ම දවල් දොළහෙ ඉඳල දෙක විතර වෙනකන් බත් පැන්ට්‍රියට උදවු කරනව. එතනත් සතියක් දෙකක් හිටියට පස්සෙ වඳුරඹ ඕෆ් වුනාම මම තමයි ඒ පැන්ට්‍රියෙ හිටියෙ. තුනෙන් පස්සෙ බත් විකිණෙන්නෙ නෑ. හැබැයි වඳුරඹය මට වැඩ කොටසක් පවරනව. ඒ තමයි පාර්සල් ඔතන්න ඉටිකොළ කපන එක. ඒක මහ කම්මැළි වැඩක්. ඒත් ඒක කරන්නම ඕනෙ වැඩක්.

මුරුගේසු අයිය මාර්කට් එකෙන් අරගෙන එන්නෙ අඟල් දාහතරක් විතර පළල ඉටිකොළ රෝලක්. එක වතාවකට රාත්තල් පහක විතර ඉටි කොළ රෝලක් ගේනවා. ඒ රෝල දවස් දෙක තුනකට සැහෙනවා. ඒකෙන් තුනෙන් දෙකක් විතර ඉවර වෙද්දි ආයෙ ගේනවා.

cut 98347
මේ ඉටිකොළේ තියෙන්නෙ බෑග් එකක් වගේ. ඒක දෙපැත්තෙන් දෙකට පැළුවම කොළ දෙකක් විදියට ගන්න පුළුවන්. ඉස්සරවෙලා ම කරන්නෙ මේ ඉටි කොළ රෝල මැදින් කොහු මිටක් හරි එහෙමත් නැතිනම් වෙන ලීයක් හරි දාල, ඒ ලීය දෙපැත්තෙන් ලණු දෙපොටක් ගැටගහල ඉටි කොළ රෝල අපේ මූණ ගානට විතර උසට  එල්ලාගන්න එක. ඊට පස්සෙ හුඟක් සීරුවට ඉටි කොළේ දෙපැත්තෙන්ම පළා ගන්නව. යාර පහක් හයක් පළලල, ඊට පස්සෙ ඉටිකොළ දෙක ම එකට තියල ඒ දෙකේ එක කෙළවරකට තේ පෙට්ටි පියනකින් කපපු ලෑල්ලක් තියල ඒකෙ පළලට පළපු ඉටි කොලේ ඒකෙ ඔතනව. පළපු කොටස ඉවර වෙන්න කලින් නවත්තල හරියට ම අර ලෑල්ලෙ ගාණට කොලේ දෙපැත්තෙන් කපාගන්නව. මේ විදියට කැපුවම සාමාන්‍ය යෙන් එක වතාවකට බත් ඔතන ප්‍රමාණයේ ඉටි කොළ විස්සක් තිහක් විතර කැපෙනවා. ඊට පස්සෙ ඒ ඉටිකොළවල එක කෙළවරක් බිත්තියෙ එල්ලලා තියෙන කම්බි කොක්කක අමුණනවා. වුවමනා වුනාම එක එක කොළේ කඩල ගන්නවා. සාමාන්‍යයෙන් දවසකට මේ විදියෙ කොළ දෙසීයක් විතර වුවමනා වෙනවා.  ඊටත් වැඩිය වුවමනා වෙන දවසුත් තියෙනවා. මම වැඩ පුරුදු වෙන්න ගියාට පස්සෙ වඳුරඹය ඒ වැඩෙන් සම්පුර්ණයෙන් ම නිදහස් වෙලා මට ඒ වැඩේ පැවරුවා. වැඩේ කම්මැළි වුනත් ඒක අලුත් අත්දැකීමක් වුණා.

මීට අමතරව බත් ඔතන්න කඩදාසි කපාගන්නත් ඕනෙ. ඒකට වුවමනා කරන පත්තරත් ගේන්නෙත් මුරුගේසු. ඉස්සෙල්ලාම කරන්නෙ හැම පත්තරයක්ම දෙකට නැමුණ තැනින් දිගෑරල හතරෙන් එකක කොටසක් කපල අයින් කරනව. ඒ කොටසත් ආයෙ කොටස් කිපයකට කපල අත පිහිදාන්න තියනව. ඉතිරි පත්තර දිගෑරල, පත්තර පහක් හයක් එකට තියල ආයෙ දෙකට නවල මැදින් කපාගන්නව. ඒ පත්තර කඩදාසියෙ තමයි බත් පාර්සල් ඔතන්නෙ. කොහොමටත් දවසකට පත්තර රාත්තල් හත අටක් කපන්න ම වෙනව. ඒ හැම දෙයක් ම කරන්න ඕනෙ බත් පැන්ට්‍රි කීපර්.

140529161951 the brigade resting

මම පුරුදු වෙන කාලෙ වඳුරඹය ඒ වැඩෙනුත් නිදහස් වුණා. හැබැයි මම මේ වැඩ කරේ වේටර් වැඩ කරනවට වඩා සතුටෙන්. මොකද පත්තර කපද්දි පත්තර කියවන්නත් හම්බ වෙනව නෙ. ඒ වගේ ම හොඳ ලිපි මොනව හරි තිබුනොත් මම ඒ පත්තරේ හංගල තියල, පස්සෙ ඒ ලිපිය කියවලා ඒ පත්තරෙත් කපන්න ගන්නවා. ඔය විදියට පත්තර පිටු අරන් තියද්දි දවසක් වඳුරඹය මගෙන් ඇහුව ඇයි එහෙම පත්තර පිටු හංගන්නෙ කියල. මං කිව්ව ඒ පත්තරේ ගාමිණි ගැනයි මාලනී ගැනයි හොඳ ලිපියක් තියෙනව කියල. වඳුරඹය ‘‘උඹටත් තියෙන්නෙ අමුතු පිස්සුවක් නේද බං...?’’ කියල හිනාවුණා. ඊට පස්සෙ මං බය නැතුවම එක එක ජාතියෙ ලිපි තියෙන පත්තර හංගගෙන ඉඳල, කියවන්න පුරුදු වුණා. ඒ නිසා මට බත් පැන්ට්‍රියෙ වැඩේ නම් හොඳට ම හිතට අල්ලලා ගියා. වඳුරඹයත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන මම කැමති විදියට වැඩ කරගෙන යන්න ඉඩ දුන්නා. හැබැයි මිනිහ මගේ වැඩවලට කිසිම බාධාවක් කරන්න ආවෙ නෑ. අනම් මනම් කිව්වෙත් නෑ. ඒක මට හිතට ලොකු හයියක් වුණා.

ටික දවසක් යද්දි මට තව අදහසක් පහළ වුණා. ඒ තමයි පත්තරවල තියෙන නළු නිළි පිංතූර එකතු කරන එක. මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, සුමනා අමරසිංහ, අග්‍රා සජීවනී, සෝනියා දිසා, ෆරිනාලායි වගේ ම රෙක්ස් කොඩිප්පිලිගෙ පිංතුරවලටත් මං හරිම ආස කළා.

Wanni Arachchige Malani Senehelatha Fonseka3201මුලින් මුලින් කරේ හැමෝට ම හොරෙන් මේ පිංතුර එකතු කරපු එක විතරයි. දවසක් මට හිතුණ මාලනි ෆොන්සේකගෙ පිංතුරයක් කෑම පැන්ට්‍රියෙ බිත්තියෙ අලවන්න. වඳුරඹ ඕෆ් වෙලා ගියාට පස්සෙ මම බත් ඇට ටිකක් අරගෙන කඩදාසියෙ එහා පැත්තෙ ගාල කාටවත් එක පාරට ම නොපෙනෙන තැනක ඒ පිංතුරෙ ඇලෙව්ව. අලවල සද්ද නැතුව හිටිය. ඒ වෙනකම්ම කවුරුවත් එහෙම කාගෙවත් පිංතූරයක් කෑම පැන්ට්‍රියෙ බිත්තියෙ අලවලා තිබුණෙ නෑ. වඳුරඹ පැන්ට්‍රියට ආවට පස්සෙවත් මම ඒ ගැන කිව්වෙ නෑ. මම සද්ද නැතුව ගියා. එදා මම ආයෙ පැන්ට්‍රියට ආවෙ රෑ හතට විතර.

‘‘රොහාන්...’’

වදුරඹ කෑම බෙදන ගමන් ම මට කතා කරේ ටිකක් අමුතු විදියට.

‘‘ඇයි වඳුරඹයියෙ...?’’

මගේ හිතේ කුකුසක් තිබුනත් මම ඒක නොපෙන්වා වඳුරඹගෙන් ඇහුවෙ එයා ඊළගට මොකද කියන්නෙ කියල බලන්න.

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/12/15 

අපලෝකන - පසුගිය කොටස්...


Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්