මේ ලෝකෙ තියෙන හැම දෙයක් ම අනිත්‍යයි කියනවා වගේ අපි දෙන්නා ම නොසිතපු වෙලාවක අපි දෙන්නා අතරට තුන්වෙනියෙක්...

තුන්වෙනියෙක් නෙවෙයි ඇත්තට ම තුන්වැන්නියක් කඩා පැන්නයි කිව්වොත් වැරදි නෑ. ඒක කොහොමද වුණේ...? ඒ සිද්ධියට කලින් වගේ ම ඒ සිද්ධියෙන් පස්සෙ මොනවද වුණේ කියල යසසිරි ම කියාවි. මටත් කියන්න යමක් තිබුනොත් මම ඒ දේවල් ටික කියන්නම්.

*          *          *

ඔවු... සුසන්ත කියන්නෙ ඇත්ත... ඒත් මම හිතන විදියට නම් ඒ සිද්ධි කියන්නෙ මේ කතාවෙ අවසාන අදියර වෙන්න ඕනෙ. මොකද ඒ අතර සුසන්තත් මමත් පොදුවේ වගේ ම මම පුද්ගලිකවත් විවිධාකාරයේ අත්දැකීම් තොගයකට මුහුණ දුන්නා. ඒ හැම අත්දැකීමක් ම හොඳ - නරක, සුඛ - දුක්ඛ, පැණි රස - තිත්ත රස විතරක් නොවයි පංච විධ රසයෙන් ම පිරිල තිබුණා.

447255

 

විජේසිංහ අයියා කසාද බැන්දට පස්සෙ මට කුස්සියෙ වැඩ කරන්න ලැබෙන කාලය වැඩිවේවි කියල මම හිතුවට ඒක එහෙම වුණේ නෑ. සිද්ධ වුණේ ඒකෙ අනික් පැත්ත. ඒ නිසා පිචර් එකක් බැලුවත් බලන්න වුණේ ම නමයයි තිහ. දැන් නමයයි තිහ බලන්න යන්න දෙපාරක් හිතන්න වුවමනා වෙලා තිබුණෙ නෑ. මොකද කරුණාදාස අලුත් පාරක් පෙන්නපු දවසෙ ඉඳල පේමන්ට් එකේ නිදාගන්න එක නතර වුණ නිසා. මට දැන් කනගාටුවක් තියෙන්නෙ කරුණාදාස කරපු උදව්වට ප්‍රති උපකාරයක් කරන්න බැරි වෙච්ච එක. ඉදිරියෙදි හරි අවස්ථාවක් ලැබුණ පළවෙනි අවස්ථාවෙ දි ම ඒ යුතුකම ඉෂ්ට කරන්න ඕනෙ. නැත්නම් ඒක මගේ හිතට ලොකු බරක් වගේ.

*          *          *

ආයෙත් වේටර් වැඩේට එන්න සිද්ධ වුණාට පස්සෙ මම හිතුව නිශ්චිත වැඩක් නැති රස්සාව හම්බ වෙනවා නම් හොඳයි කියල. නමුත් එහෙම වුණෙත් නෑ.

 

waiter 56

හැබැයි හෝටලේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණා. ඒ අතරින් වඩාත් ම විශේෂ සහ මම කැමති ම දේ තමයි අලුතින් කඩේ වැඩට ගන්න වේටර්ල කිහිප දෙනෙක් ම දිග කලිසම ඇන්ද එක. මම දිග කලිසම ඇඳල වැඩ කරන අවස්ථාව වෙනකම් ම තිබුණු පරණ සම්ප්‍රදාය ටිකින් ටික පරණ වෙන්න ගත්තා. දිග කලිසම ඇඳල වේටර් වැඩ කරන එක විශේෂ දෙයක් නොවෙමින් පැවතුණා. ඒ විතරක් නෙවෙයි... එච්චර කාලයක් සරම විතරක් ම ඇඳපු සුසන්ත පවා දිග කලිසම් දෙකක් මහගත්තා. හැබැයි එයා ඒවා ඇන්දෙ මාත් එක්ක පිචර් බලන්න යද්දි විතරයි. දවසක් හෝටලේ අයිතිකාර මහත්තයා ලස්සන කතාවක් කිව්වා.

එදා ලොකු මහත්තයට කැම සුදානම් කරේ මම. කවුරු හරි එයාට කෑම සූදානම් කරනවා නම් එයා කාලා ඉවර වෙන තුරු ම එහෙම කරන කෙනාගෙ මේසෙ වෙන කෙනෙක් වැඩ කරන්න ඕනෙ. මොකද ලොකු මහත්තයා කන්නෙ හුඟාක් හෙමින්. ඒ වගේ ම කෑම කන අතරතුර කීප වතාවක් ම එක එක වර්ගයේ එළවළු, මස්, මාළු වගේ ම ඔය තව අමතර කැම වර්ගත් ගෙන්වා ගන්නවා. මට හිතෙන්නෙ නම් එයා එහෙම කරන්නෙ ඒ එළවළු, මාළු සහ මස්වල රස හඳුනා ගන්නත් එක්ක කියලයි. සමහර විට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා එයාට කෑම සූදානම් කරපු වේටර් එතනින් නිදහස් වෙන්නෙ ලොකු මහත්තයා කලා ඉවර වුනාට පස්සෙ.

‘‘යසේ... තමුසෙ තමයි යසේ දවසකටවත් මිනිහ.’’

 

wai7
කැම කන අතර ලොකු මහත්තය එක පාරට ම එහෙම කිව්වම මම ටිකක් ගැස්සිලත් ගියා. මොනවා හරි ගිනි ගෙඩියක් ද දන්නෙත් නැහැ නෙ. කෝකටත් කියල මම ලොකු මහත්තයත් එක්ක කතා කරා.

‘‘ඇයි සර්... මගේ අතින් මොක හරි වැරැද්දක් උනාද සර්...?’’

‘‘නෑ නෑ අයිෂෙ... තමුසෙ නිසා දැන් අලුත් වේටර්ලත් දිග කලිසමට හුරු වෙලා.’’

මම හිතුවෙ ලොකු මහත්තයා ඒක වැරදි විදියට තේරුම් ගනීවි කියල. ඒ නිසා මම ටිකක් යාප්පුවෙන් වගේ කතා කරා.

‘‘ඉතිං ඒක හොඳ නැද්ද සර්...’’

FS 510496‘‘නෑ නෑ අයිෂෙ... ඒක නරක නෑ. දිග කලිසම ඇන්දම පොඩි කලඑළියකුත් තියෙනව අයිෂෙ... අනික සුද්දො එන හෝටල්වල ඇරුණම මේ වෙද්දි මුළු ගාල්ලෙ ම හෝටල්වල වැඩ කරන එවුන් අඳින්නෙ සරම නෙ අයිෂෙ. හැව්ලොක් එකේ විතරයි දිග කලිසම අඳින වේටර්ල ඉන්නෙ. ඒක මාරයි අයිෂෙ... ඇත්තට ම මාරයි. මං උනත් මුලින් ම තමුසෙ දිග කලිසම අඳිනවට කැමති උණේ නෑ. ඒ උනාට තමුසෙ පුංචි කාලෙ ඉඳලම සරම අරඳල නෑ කිව්වම මට තමුසෙ ගැන දුක හිතුණ. ඒකයි මං මැනේජර් මහත්තයට කිව්වෙ ‘කමක් නෑ ඔන්නොහො කලිසම අඳින්න දෙන්න මැනේජර් මහත්තයො’ කියල. ඒ අතිං නං අයිෂෙ තමුසෙ කරේ මාර ම වැඩක්. බලනෝ මං කියන්නෙ බොරුද කියල... තව ටික දොහක් යද්දි මේ කඩේ හුඟක් එවුන් දිග කලිසම අඳීවි. ඒ වගේ ම මේ හැව්ලොක් පාරෙ හැම කඩේක ම වැඩ කරන එවුන් දිග කලිසම අඳීවි... ඒකෙ ලකුණු ඉතිං තමුසෙට තමයි.’’

ඇත්තට ම එදා මට ලොකු සතුටක් දැනුණ දවසක්. ඒ සතුට කොච්චර ද කියනවා නම් මම සාමාන්‍ය පෙළ පාස් කියල දැනගත්තට පස්සෙ කොච්චර සතුටක් දැනුණ ද, ඊට වඩා සතුටක් ඒ වෙලාවෙ දැනුණා. මොකද මම සාමාන්‍ය පෙළ සමත් වුණ වෙලාවෙ මගේ සතුට කියන්න හිටියෙ ස්කෝලෙ ම යාළුවොයි යෙහෙළියොයි විතරයි; සතුට බෙදාගන්න හිටියෙත් එයාල විතරයි. හැබැයි මේ වෙලාවෙ: සුමනසිරි අයිය, සුසන්ත, විජේසිංහ අයියා, ගනේෂ්, බතික් අංකල්, වඳුරඹ විතරක් නෙවෙයි අර අක්කලා හතරදෙනත් ඉන්නව නෙ.

*          *          *
crowded restaurant

මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සෙ ඒ අක්කලා හතර දෙනා කඩේට ආපු වෙලාවක මම මේ සිද්ධිය ජෙසිකා අක්කට කිව්වෙ නිකමට වගේ. එයත් පුදුම විදියට සතුටු වුණා. මොකද එයාල කියන විදියට හෝටලේ අයිති මහත්තෙයා හරිම නපුරු කෙනෙක්; මනුස්සකම නැති කෙනෙක්. ඒක එයාලගෙ පරම්පරාවෙම හැටිලු. ඉතිං එහෙම කෙනෙක් මට ඒ වගේ වටිනාකමක් දීපු එක පුදුමයි කිව්ව. එහෙම කියපු ජෙසිකා අක්කා අපූරු යෝජනාවක් කරා.

‘‘ඇත්තට ම අපිට සතුටුයි බං... ඒක මරු...’’

ජෙසිකා අක්කා එහෙම කිව්වෙ හදවතින් ම කියල මම දන්නවා. ඒත් ඊළඟට කරපු යෝජනාව නම් මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. එයා ඉස්සරවෙලා ම ඒ යෝජනාව කරේ එයාගෙ ම පිරිසට.

‘‘මේහ්... අපි අර දවසට යසේටත් එන්න කියමු ද...?’’

එහෙම අහපු ජෙසිකා අක්කා එයාගෙ මිතුරියො තුන් දෙනාගෙ මූණු බැලුවෙ එයාල මොනවද කියන්නෙ කියල බලන්න වෙන්න ඇති. එස්සර වෙලාම කතා කරේ විනීතා. එයා කොහොමත් එක විදියක් නෙ.

‘‘මොන දවසටෙයි... මොකටෙයි...?’’

විනීතා එහෙම අහද්දි එයාගෙ මූණෙ තිබුණෙ නොරුස්සනා ගතියක්. ඒ එක්ක ම ජෙසිකා අක්කා ආයෙත් කතා කරා.

 

rest678
‘‘මොන දවසෙයි කියල අහන්නෙ...? ඇයි බං උඹට අමතක උනයි...?’’

ජෙසිකා අක්කා ආයෙත් අනික් තුන්දෙනාගෙ මූණු බලන්න පටන් ගත්තා. ඒ තුන්දෙනා අතරින් එක පාරට ම කතා කරේ කමලනී.

‘‘අඩේ... මට මතක් උණා... එනිද්දට ඔයැයිගෙ බර්ත් ඩේ එක නේද...?’’

‘ඔයැයිගෙ’ කිව්වෙ ජෙසිකා අක්කාගෙ මූණ දිහා බලාගෙන නිසා මට හිතුණා ඒ උපන් දිනේ එයාගෙ වෙන්න ඇති කියල. මගේ සිතිවිල්ල වැරැදි නැහැ කියල ඒ එක්කම දැනගන්න පුළුවන් වුණා.

‘‘අඩේ ඔවුනෙ... අනිද්ද ජෙසිකගෙ බර්ත් ඩේ එක නෙ... ඉතිං... අපි එදාට මක්කයි කරන්නෙ...?’’

මූණෙ හිනාවකුත් පුරවගෙන ම එහෙම ඇහුවෙ රමණී. හැබැයි ජෙසිකා අක්කා රමණිට උත්තර දෙන්න කලින් විනීතා ඉස්සර වුණා.

‘‘ඉතිං බං උඹේ බර්ත්ඩේ එක දවසට මූට එන්න කියන්නෙ මක්කටෙයි. අනික මේකා බොන්නෙත් නෑ කිව්ව නේද...?’’

 

wine 4
මට ඒ වෙලාවෙ ඇති වුණේ පුදුම ලජ්ජාවක්. මම මොනවත් ම නොකියා ඉඳුල් පිඟන් ටික එකතු කරන්න පටන් ගත්තා. හැබැයි ඒ අතරෙ හතර දෙනාගෙ කතාවටත් ඇහුන්කන් දුන්නා.

‘‘උඹට ඒ ***න් වැඩක් නෑනෙ... බර්ත් ඩේ එක මගේ නෙ...’’

ඒ වචන ටික ඇහෙද්දි ම මම ඉඳුල් පිඟන් ටික අරගෙන යන්න හැදුවා. ඒ එක්කම ජෙසිකා අක්කා ‘‘මල්ලියෙ... අපිට තේත් අරං වරෙංකො...’’ කියල කිව්වෙ ‘මේකි කියන එව්වා උඹ මායිං කරන්නෙපා’ කියල කටින් නොකියා. මට ඒක හොදට ම තේරුණා.

‘‘ඈ මල්ලියෙ... උඹට ඇහැකිනෙ අනිද්දට කොටුවට එන්න...?’’

තේ අරගෙන ආපු ගමන් ම ජෙසිකා අක්ක මගෙන් ඇහුවෙ මගේ කැමැත්ත අකමැත්ත දැනගන්න වගේ.

‘‘අක්කෙ... වේටර්ලට ඕෆ් එක තියෙන්නෙ පැය දෙකයි නෙ... ඒ හිංද එන්න බැරිවෙයි අක්කෙ...’’

 

tea 2

ඇත්තට ම මම එහෙම කිව්වෙ වැඩේට සහභාගි වෙන්න අකමැති නිසා නෙවෙයි. ඇත්ත ම තත්ත්වෙ ඒක නිසා. එතකොට ම ජෙසිකා අක්ක බිබී හිටපු තේ කෝප්පෙ පිරිසි තට්ටුව උඩින් තියල ‘‘ඉතිං බං උඹට පුළුවංනෙ අර පිචර් බලන්න යද්දි වගේ හතට ඕෆ් වෙන්න. ඒ ඇවිත් නමයට කලින් කඩේට එන්න.’’

නමයයි තිහ පිචර් එක බලන්න යන බව මම ජෙසික අක්කට කියල තිබුණෙ නෑ. ඒ වුණාට දවසක් කමලනී දැකල තිබුණනෙ මම නමයයි තිහ බලල එළියට එනව. අනිවාර්යයෙන් ම ජෙසිකා අක්කා දැන් මෙහෙම ඇහුවෙ ඒක තමයි.

‘‘ඒක නං එහෙම තමයි අක්කෙ... ඒත් රෑ වෙලා...’’

මට කියන්න ලැබුණෙ එච්චරයි.

‘‘රෑ වෙලා...? ඇයි... රෑ වෙලා පාරෙ එන්න උඹ බය ද... උඹ ළමිස්සියෙක් ද... අනෙහ් මේ පලයං... හරි... උඹට රෑ වෙලා එන්න බැරිනං උඹ යමං අපේ ගෙදර. ඒ ගිහිං උදෙම්ම කඩේට වරෙං.’’

 

serve
ජෙසිකා අක්කා එහෙම කියල ඉවර වෙනවත් එක්ක ම ‘‘අම්මට සිරි... මරු එකට තියෙයි,’’ කියල හිනා වුණේ විනීතා. ජෙසිකා අක්ක මට සලකන විදිය ගැන එයා කොහොමටත් හිතන්නෙ වෙන විදියකට. එදා කොටුවෙදිත් දෙන්නත් එක්ක පැටලුණේ ඒකනෙ.

විනිතා එහෙම කියද්දි කමලනියි රමණියි දෙන්නත් ඇස් දෙක ලොකු කරගෙන විනීතා දිහා බැලුවා. ඒ වුනාට මොනවත් ම කිව්වෙ නෑ. ඒ වෙනුවට දෙන්න ම කරේ මාරුවෙන් මාරුවට ජෙසිකා අක්කගෙයි විනීතාගෙයි මූණු බලපු එක. හැබැයි ජෙසිකා අක්කා නම් කතා කරා. 

‘‘මේහ්... විනීතා... මං කිව්වයි කියල හිතාගනිං... මොකද... මගේ කටට එන වචන මෙතන කියන්න බෑ. මෙහ්... උඹට මේකිගෙ දේවල්වලිං වැඩක් නෑ මල්ලියෙ... උඹ අනිද්ද රැ හතට ඕෆ් වෙලා කොටුවට වරෙංකො. අපි කවුරු හරි පාරට එන්න උඹ එක්කං යන්න හරිය... උඹ නොබිව්වට කමක් නෑ. උඹට ලොක්ක දීපු තැනත් මතක් කරල අපි පොඩි ජොලියක් දාමු හරිය. අර කිව්ව වගේ උඹට රෑ වෙලා කඩේට එන්න බැරිනං උඹ යමං අපේ ගෙදර හරිය...’’

ජෙසිකා අක්කා එහෙම කිව්වෙ මට තියෙන ආදරේට තමයි. ඒත් මේ වෙද්දි රෑ එකොළහ පහු වුනාට පස්සෙ වුනත් මට කඩේ ඇතුළට එන්න පුළුවන් බව එයා දැනගෙන හිටියෙ නෑ. මම කියන්න ගියෙත් නෑ. ඒත් මට ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුණ. ඒ තමයි සුසන්ත. මම සුසන්ත එක්ක එනවට නම් ජෙසිකා අක්ක වුනත් කැමති වෙන එකක් නෑ. එහෙම එක්කගෙන එන්න ද කියල අහන්නත් බෑ. ඒත් දැන් ජෙසිකා අක්කගෙ ඉල්ලීමට පිටුපාන්නත් බෑ.

 

අපලෝකන 17 : කළු වුනාට දෙදොල් පැණි රසයි නෙ... -(ජයසිරිගේ අලුත්ම නවකතාව)
ජෙසිකා අක්කලා ගියාට පස්සෙ මම හැම වෙලාවෙම කල්පනා කරේ මේ ගැන සුසන්තට කියන්නෙ මොනව ද කියල. කොහොම වුනත් එයාට නොකියා යන්නත් බෑ. කියන්නත් බෑ.

‘කමක් නෑ... රෑට හිමීට සුසන්තට කියනවා. එයා දන්නවනෙ මං කොහොමටත් ඒ ගෑනු එක්ක බුදියන්නෙ නෑ කියල...’

මම එහෙම හිතල හිත හදාගත්තා.
 

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/03/08

අපලෝකන - පසුගිය කොටස් 


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්