යුද්ධ ඉවර නෑ තාම


කෙට්ටු ඇටගැහුණු, දෙපයට බර   හින්දා
පොට්ටු මල් මකා, සියතින් මුල්      සින්දා
කිට්ටු වී බලන්නට හුඟ දුර           හන්දා
මට්ටුවිල් අහස තව නිදිවද           මන්දා

වටකුරු නොවන මුතු ඇටයක උල් පැත්ත
බිඳ ඔප දමන්නට කරවන මර         යුද්ද
ගෙල සිඳ දමා තාලිය ගලවා         ගත්ත
ඉක්බිති හිස-කඳත් විකුණනවා !   නැද්ද

දකුණේ ලවණ සුළඟට මලකඩ     පැතිරී
මලකඩ තියා යකඩත් මෙහෙ නෑ    ඉතිරී
එක'මෙක ප්‍රශ්නයකි ඇස් මත්තේ ඇහැරී
මේ රට අයිති කාටද            විමලේශ්වරී

ණය එක මතට එක නැගුණ ම අහස    කෙලින්
පිපුණට බදු ගහන කොට හිස රැඳි පිච්ච මලින්
වහ කුප්පියෙත් මිල අහසට යන්න          කලින්
මැරුණෙක හොඳ නැද්ද අහපන්    කඳුළුවලින්

 

- ගගන වර්ණකුලසුරිය

 

සටහන :
"ණය පොලී මුදල් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්රපුරම් ප්රදේශයේ පවුලක් ම වසපානය කොට සියදිවි හානිකරගැනීමට ගත් උත්සාහයකදී කාන්තාවක් මිය ගොස් තිබේ. පවුලේ මව වන ඇය නවරත්නම් විමලේස්වරී නැමති 65 හැවිරිදි කාන්තාවකි. තවත් දෙදෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි. අධික ණය බර හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා ය. චාවකච්චේරි පොලීසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි."

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්