leader s

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තමන් සභාපතිත්වය දැරූ ප්‍රධාන කමිටුවේ සාමාජිකයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ වෛද්‍ය සමන් රත්නායක කටයුතු කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
 

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඇය මේ බව කියා සිටියාය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී පෙර දින නිකුත් කරන ලද සිතාසි මත මෙම නඩුවට අදාළව සාක්ෂි ලබා දීම සඳහා පැමිණිල්ලේ 289 වන සාක්ෂිකාරිය වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ පැමිණිල්ලේ 345 වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ .පී. වයි.වයි ජයසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ මෙම අවස්ථාවේදී 289 වන සාක්ෂිකාරියගේ සාක්ෂිය මෙහෙයවීමට තමන් කටයුතු කරන නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ සාක්ෂි මෙහෙයවීම එම දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරීන්ගේ සාක්ෂි ලබාගන්නා අවස්ථාවේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ය.
 
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි මහතා වෙත මේ වන විට සිතාසි නිකුත් කර ඇති අතර ඔහුගේ සාක්ෂියක් ලබා ගැනීමට නියමිත බව ද එම සාක්ෂිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය ලබාගන්නා බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය. 
 
 
අනතුරුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළාය.
 
2023 වසර වන විට තමන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බව ඇය සඳහන් කළාය. 
 
"ඔබ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රධාන කමිටුවක සාමාජිකයකු ලෙස කටයුතු කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ ප්‍රධාන කමිටුවේ තමන් කටයුතු කළ බවය .එම ප්‍රධාන කමිටුව යටතේ අනුකමිටු තුනක් තිබූ බවද, අත්‍යවශ්‍ය ආහාර ,වෙළඳ අමාත්‍යාංශය යටතේද භාණ්ඩ , කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සහ ඖෂධ ඇතුළු ද්‍රව්‍ය, සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේද පැවති බව ඇය සඳහන් කළාය. 
  
එම ණය යෝජනා ක්‍රමය යටතේ අනුකමිටුව විසින් ගන්නා ලද තීරණ හා ඊට අදාළ invoice පත් ප්‍රධාන කමිටුව වෙත යොමු කිරීමක් සිදුකළ බව ඇය සඳහන් කළාය. 
 
"සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ අනුකමිටුවේ invoice පත් ප්‍රධාන කමිටුවට යොමු වුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ එම invoice පත් ප්‍රධාන කමිටුවට යොමු වූ බවය. 
 
"එම අනුකමිටුවට අදාළ රැස්වීම් සටහන් පරීක්ෂා කිරීමක් ප්‍රධාන කමිටුවේදී සිදුකරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ යෝජනා සහ invoice පත් වලට අනුමැතිය ලබාදීමේදී පරීක්‍ෂා කිරීමක් සිදුකරන බවය. 
 
එහිදී අනුකමිටු වලින් ඉදිරිපත් කරන විස්තර සහ අනුකමිටු වාර්තා සහ invoice පත් ඉදිරිපත් කරන අනුපිළිවෙල අනුව ලබා ගැනීම සිදුකරන බවද ,ඒ අදාළ ඉදිරිපත් කිරීම් මිනිට් එකක් ලෙස සටහන් කරගනිමින් පවත්වාගෙන යන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ප්‍රධාන කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ කවුරුන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" එහි ප්‍රධානත්වය සභාපති ලෙස වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් දැරූ බව"ය. " කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු එහි කටයුතු කළ අතර මුදල් අමාත්‍යාංශයේ නියෝජිත වරයෙකුද එම කමිටුවේ කටයුතු කළ බව" සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ මෙම කමිටුවේ කටයුතු කළේ කුමන කාලයේ සිටද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ 2022 ජූලි මස 25 වැනිදා තමන්  වෙළද අමාත්‍යාංශය ලේකම් ලෙස පත්වූ බවය. එතැන් සිට එම කමිටුවේ තමන් කටයුතු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය . එහිදී අනුකමිටු විසින් ඉදිරිපත් කරන වාර්තා සටහන් පරීක්ෂා කර බැලීමක් සිදු කරන බවද ,එහි සිටි නිලධාරීන් සමග මුල් කාලයේ සිටම කටයුතු කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයකු සහ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිගින් දිගටම එම කමිටුවේ කටයුතු කළ බවද,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා, සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයා සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සිටි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වූයේ කවුරුන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමන් රත්නායක මහතා එම කමිටුවේ කටයුතු කළ බව"ය. 
 
කමිටු රැස්වීම් බොහෝ විට zoom තාක්ෂණය ඔස්සේ පැවැති අතර ඇතැම් අවස්ථාවල භෞතිකව රැස්වීම් පැවැති බවද ,එවැනි රැස්වීම් දෙකකදී පමණ සමන් රත්නායක මහතාව තමන් දැක තිබෙන බවද ,සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ මිනිට් සටහන් සහ වාර්තා සමඟ කටයුතු කර ඇති බැවින් ඔහුගේ අත්සන තමන් හඳුනන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"කරුණාකර බලන්න ,ඔහු මේ අධිකරණයේ කොතැනක හෝ සිටිනවාද කියලා ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂි කූඩුවේ අසුනින් නැගී සිටි සාක්ෂිකාරිය විත්තිකරුවන් අතර සිටි වෛද්‍ය සමන් රත්නායකව හඳුනා ගැනීමක් සිදු කළාය. 
 
"ප්‍රධාන කමිටුවට, අනුකමිටුව විසින් ඉදිරිපත් කළ ලේඛන, ඉදිරිපත් කළ කාල සීමාව, ඒවා ප්‍රධාන කමිටුවට ලැබුණු බව, සහ ප්‍රධාන කමිටුව විසින් ඒවා පරීක්‍ෂා කළ බව, ඔබට සනාථ කරන්න පුළුවන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ඊට අදාළ වාර්තා පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හැකි බව"ය. 
 
 
ඒ අනුව අදාළ මිනිට් සටහන් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරන ලදී. 
 
පැ. 180 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති මිනිට් සටහන සාක්ෂිකාරියට පෙන්වා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ එය ප්‍රධාන කමිටුවේ මිනිට් සටහනක් බවය.
 
"ස්වාමීනි, මෙම මිනිට් සටහන් වලට අදාළ කාලයේ මම මෙම කමිටුවේ සිටියේ නෑ .නමුත් මෙම කමිටුවට පත්වීමෙන් පසුව මම past record බැලුවා. ඒ නිසා මට මේක හඳුනාගන්න පුළුවන්. අනුකමිටුව විසින් ඉදිරිපත් කරන invoice පත් සහ වාර්තා මෙහි තිබෙනවා. ඊට අදාළ මිනිට් සටහනක් ප්‍රධාන කමිටුවෙන් තබා තිබෙනවා. ඒ බව මේ document වල සටහන් කර තිබෙනවා. එම කටයුතු කිරීමෙන් අනතුරුව එය මුදල් අමාත්‍යංශය වෙත යොමු කිරීමක් සිදුකර තිබෙනවා." යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය: 2021 වසරේ අප්‍රේල් මස 06 වැනි දින මිනිට් සටහන බලන්න. එහි වෛද්‍ය රත්නායක ඉඳලා තිබෙනවාද?
 
සාක්ෂිකාරිය : එහෙමයි ස්වාමීනී, වෛද්‍ය රත්නායක මෙහි ඉඳලා තිබෙනවා. ඒ බව මේ document වල සඳහන් වෙලා තිබෙනවා.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය: "Dr. රත්නායකගේ අත්සන එහි තිබෙනවාද?"
 
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි, ඔහුගේ අත්සන මෙහි තිබෙනවා. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ඔබ මේ document වල අත්සන් කරන විට ඩොක්ටර් රත්නායකගේ අත්සන දන්නවාද?
 
සාක්ෂිකාරිය: document වල දැකලා හඳුනගන්න පුළුවන්. කමිටු සටහනක් ලෙස ඊට එකඟ වී "yes "ලෙස මෙහි සඳහන් කර තිබෙනවා. එහි ඇති අත්සන හඳුනා ගන්න පුළුවන්.
 
"අධිකරණය හමුවේ පැ. 181 ලෙස සඳහන් කර සටහන් කර ඇති වාර්තාව ප්‍රධාන අනුකමිටුව ප්‍රධාන කමිටුවට ඉදිරිපත් වෙලා තියෙනවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එම සටහන ප්‍රධාන අනුකමිටුවට ඉදිරිපත් වී ඇති බවය. 
 
2022 අප්‍රේල් 6 දින ප්‍රධාන කමිටුව රැස්වී ඇති අතර ඒ වන විට තමන් එහි සාමාජිකයකු නොවන බවද, අනුකමිටු  වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමක් සිදුකර ඇති බවද සඳහන් කළ සාක්ෂිකාරිය එහි රත්නායකගේ අත්සන එහි නොමැති බව කියා සිටියාය. 
 
"ඔහු ඊට එකඟ නොවන බවට සටහනක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් සඳහන් කළේ එවැනි සටහනක් නොමැති බවය.
 
"2022/04/08  දිනැති වාර්තාව ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර  ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය "ඔව් ස්වාමීනි, මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා .මේ කමිටුවේදීත් මම සාමාජිකයෙක් නෙමෙයි. ඒ වුණාට මා මේ සටහන් දැක තිබෙනවා. එම සටහනට අනුව doctor රත්නායක ඊට අත්සන් තබා තිබෙනවා." යනුවෙන් සඳහන් කළාය. 
 
"එම සටහන recommend කරලා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමක් කරල තියෙනවද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එම සටහන මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමක් සිදුකර ඇති බවද ,වෛද්‍ය රත්නායකගේ අත්සන සඳහන් වන බවද සඳහන් කළාය.
 
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් පිළිවෙලින් අදාළ අනුකමිටු වාර්තා, ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඒවා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමට අදාළ මිනිට් සටහන් එකින් එක පිළිබඳව සාක්ෂි ලබා ගැනීමක් සිදු කළාය.
 
ඒ අනුව අධිකරණය හමුවේ පැ. 184 ලෙස නම් ලකුණු කර තිබූ 2022/04/26, මිනිට් සටහන සහ 2022 /05/05 ,2022 /06/09, 2022/07/ 27 දරණ මිනිට් සටහන් එකින් එක සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරමින් එම අනුකමිටු වාර්තා ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කර තිබෙනවාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙන් වෙන්ව ප්‍රශ්න කර සිටියාය.
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම අනුකමිටු වාර්තා  ප්‍රධාන කමිටුව විසින් අනුමත කර මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවය. එම වාර්තාවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ සමන් රත්නායක විසින් අත්සන් කර ඇති බව සාක්ෂිකාරිය විසින් හඳුනා ගැනීමක් කළාය.
 
2022 ජූලි 04 දින මිනිට් සටහනට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම සටහන අනුව අනුකමිටු වාර්තාව ප්‍රධාන කමිටුව වෙත යොමු කර ඇති බවය. 
 
"මේ සඳහා ඩොක්ටර් රත්නායක email මඟින් තමයි අනුමැතිය දී ඇත්තේ එහි ඔහුගේ digital අත්සන සඳහන් වෙනවා"යනුවෙන් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
Signingloandocuments
 
2022 අගෝස්තු මස 05 වැනිදා, 2022 සැප්තැම්බර් මස 08 වැනිදා , 2022 සැප්තැම්බර් මස 23 වෙනිදා, 2022 සැප්තැම්බර් මස 30 වැනිදා, 2022 ඔක්තෝම්බර් 14 වැනි දා යන අනු කමිටු වාර්තා වලට අදාළ මිනිට් සටහන් වලට සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම අනුකමිටු වාර්තා ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කර ඇති බවය. ප්‍රධාන කමිටුව විසින් ඊට අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය වෙත එය යොමු කිරීමක් කර ඇති බවද, එම සියලු සටහන්වල වෛද්‍ය රත්නායක මහතාගේ අත්සන සඳහන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"මේ අනුකමිටු වාර්තා ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කරන්නේ ලේඛන ලෙසද, email ලෙසට ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "කමිටු සාමාජිකයන්ට මෙම සටහන් කිසි කළේ ලැබෙනවා  email මඟිනුත් ලැබෙනවා . එම අදාළ කමිටුවට සහභාගී නොවන අවස්ථාවක වුවත් සාකච්ඡා කළ මිනිට් සටහන් ලබාදීමක් සිදුකරනවා" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරක් ලබා දුන්නාය. 
 
අදාළ කමිටුවේ මිනිට් සටහන් කර ගැනීමේ කටයුතු වෙළඳ අමාත්‍යාංශය විසින් සිදු කළ අතර එම සටහන් ඔවුන් විසින් සෑම අනුකමිටු සාමාජිකයකු වෙතම ලබාදීමක් සිදුකරන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"2022 ඔක්තෝම්බර් 28 අනු කමිටු සටහන් ප්‍රධාන කමිටුවට ලැබුණද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේද සාක්ෂිකාරිය සඳහන් කළේ එම සටහන් ප්‍රධාන කමිටුවට ලැබී ඇති අතර ප්‍රධාන කමිටුව විසින් එය අනුමත කර මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සඳහා යවා ඇති බවය. එහි වෛද්‍ය රත්නායක මහතාගේ අත්සන ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
2022 නොවැම්බර් 11 වැනිදා , 2022 නොවැම්බර් 28 වැනිදා , 2022 දෙසැම්බර් මස 02 වැනි දා, 2022 දෙසැම්බර් 12 වැනිදා , 2022 දෙසැම්බර් 16 වැනිදා, අදාළ අනුකමිටුවේ සටහන් ප්‍රධාන කමිටුව වෙත යොමු කර ඇති බවද ,ඊට සමන් රත්නායක මහතාගේ අත්සන ඇතුළත් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
එසේම 2022 දෙසැම්බර් 23, 2022 දෙසැම්බර් 30, 2023 ජනවාරි 05 ,2023 ජනවාරි 13, 2023 ජනවාරි 20,  2023 පෙබරවාරි 03, 2023 මාර්තු 31 2023 අප්‍රේල් 21, 2023 අප්‍රේල් 28, 2023 මැයි 12, 2023 ජුනි 27, සැප්තැම්බර් 22, 2024 ජනවාරි 31, යන දිනවල අනුකමිටු වාර්තා සාක්ෂිකාරියගේ අවධානයට වෙන් වෙන් වශයෙන් යොමු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම අනුකමිටු වාර්තා ප්‍රධාන කමිටුවට ලැබී ඇති අතර ඒවා අනුමත කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමක් සිදුකර ඇති බවය. එහි වෛද්‍ය සමන් රත්නායක ගේ අත්සන ඇතුළත් වන බව මෙම සටහන් අනුව පෙනී යන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"මේ සියලු සටහන් වලට සියලු කමිටු සාමාජිකයන් විසින් අනුමැතියක් ලබාදී තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ප්‍රධාන කමිටුවේ සියලු සාමාජිකයන් ඊට අත්සන් තබා ඇති බවය. 
 
එම ප්‍රශ්නය යොමු කිරීමත් සමඟ සාක්ෂිකාරියගෙන්  මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර මෙම නඩුවේ දහවෙනි විත්තිකරුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවි හංස විජේසිංහ මහතා සාක්ෂිකාරියට හරස් ප්‍රශ්නයක් යොමු කළේය.
 
එහිදී පැ. 188 සහ දරණ අනුකමිටු වාර්තාව සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නීතිඥවරයා "2022 අගෝස්තු මස පස් වැනිදා ලෙස එහි දිනය සඳහන් වනවා නේද?" යනුවෙන් විමසීමක් කළේය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "එම සටහන  අනුව එම එදින අනුකමිටු වාර්තාව ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කර ඇති බව"ය .ඊට අනුමැතිය ලැබී ඇති බව ද  එහි තමන්ගේ අත්සන නොමැති බව සඳහන් කළ සාක්ෂිකාරිය "එම මිනිට් සටහන තමන් මීට පෙර දැක ඇති බව" කියා සිටියාය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරුන් දැනුම් දුන්න. 
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ද අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවය. 
 
ඒ අනුව සාක්ෂිකාරිය මුද හරින ලදී.
 
SPC 1200px12 03 25 1000x600
එම අවස්ථාවේදී අධිකරණයෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා විසින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පැවති අනු කමිටුවට ඉදිරිපත් කළ ලිපි වල මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බවය. ඒ සඳහා සාක්ෂිකරුවන් ලෙස පැමිණිල්ල විසින් නම්කර සිටින පුද්ගලයන් මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවයට නොකරන බැවින් අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා හෝ ඔහුගේ නියෝජිතයකු අධිකරණයට කැඳවීම සඳහා එම නම ඇතුළත් කොට පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.  
 
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීම සඳහා අවසර ලබා දුන්නේය. 
 
අනතුරුව මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම ලබන 28 වැනිදා සිදුකරන බව විනිසුරු මඩුල්ල එහිදී දැනුම් දීමක් කළේය.
 
එම අවස්ථාවේදී අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  වෙනුවෙන් පෙනී සිට නීතිඥ නයන්ත විජේසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශන  නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේදී හරස් ප්‍රශ්න විමසීම සඳහා, මෙතෙක් ලබාදී ඇති සාක්‍ෂි සටහන් පරිශීලනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවය .එබැවින් අදාළ සාක්ෂි සටහන් ලබාදීමට කටයුතු කරන ලෙස ද, ඒවා පරිශීලනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසද, ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 
 
නඩුවේ දෙවැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ සටහන් ලබා ගැනීමකින් තොරව මෙම විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න ඇසීම අසීරු කටයුත්තක් වන බවය. 
 
එම නඩුවට අදාළව තමන් විසින් ඉල්ලා ඇති ඇතැම් සටහන් මෙතෙක් ලැබී නොමැති බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය. 
 
ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර සුදුසු විසඳුමක් ලබා දෙන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා එහිදී දන්වා සිටියේය.
 
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 28 වැනිදා සිදු කිරීමට ද විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේය.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

whatsapp 202507155

නවතම පුවත්