*ජාතික ජන බලවේග රජයේ දෙවසරක ගමන: වේදිකාවේ දුන් පොරොන්දු සහ බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය අතර පරතරය විමසා බැලීමක්.
*පොරොන්දු 1333න් කැබිනට් තීන්දු 300ක්: ආර්ථික අර්බුදය සහ ජනතා අපේක්ෂා හමුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශේෂ පත්‍රය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වී දැන් වසර දෙකකි. එනම් 1948 පෙබරවාරි හතර වෙනිදා අප නිදහස ලැබීමෙන් පසු මේ දක්වා දින 28721 ගත වී තිබෙන අතර ඉන් දින 731 එනම් ප්‍රතිශතයක් ලෙස (2.54%) රටේ පාලනය මෙහෙයවා ඇත්තේ ජාතික ජන බලවේග රජය විසිනි.
ඔවුන්ගේ ආකර්ෂණීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මැතිවරණ පොරොන්දු 1333 අඩංගු වී තිබුණු බව ඒ පිළිබඳ විමර්ශනයක නිරත වුණු මාර්තු 12 ව්‍යාපාරය පවසයි. මැතිවරණ ප්‍රකාශයක අඩංගු කරුණු සපුරා ඉෂ්ට කිරීමට කිසිම ආණ්ඩුවකට නොහැකිය. එවැනි ඉතිහාසයක් අපට ඇත්තේ ද නැත. ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම සමකාලීන වේදිකාවේ වාචිකව කියවුණු පොරොන්දු පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතුය.
වේදිකාවේ සටන්පාඨ සහ යථාර්ථයේ මන්දගාමී බව
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්
අතීතයේද හඳෙන් හාල් ගෙනත් දෙන, ධාන්‍ය රාත්තල් අටක් දෙන පොරොන්දු සැමවිටම ලිඛිත වූයේ නැත. නමුත් මැතිවරණ වේදිකාවේ කියවුණු ප්‍රධාන කරුණක් වූයේ ”පළමු කාර්යය ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම හා උගන්ඩාවේ සඟවා ඇති මුදල් මෙරටට ගෙන ඒම හෝ ඒවා ගෙන ඒමට යාන්ත්‍රණය (stolen asset recovery initiative) ආරම්භ කරන බවයි. තවමත් එම ක්‍රියාදාමය ආරම්භ වී නොමැත. නමුත් දූෂණ විරෝධී දර්ශකයේ ඉදිරියට පැමිණීමට හැකිවීම අගය කළ යුතුය.
මාර්තු 12 ව්‍යාපාරය අධ්‍යයනය කොට ඇති ආකාරයට මැතිවරණ පොරොන්දු වලින් තුන්සියයක පමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් තීරණ ලබාගෙන ඇත. නමුත් ඒවා වේගයෙන් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. රජය විසින් ආරම්භ කරන ලද clean sri lanka වැඩසටහන නිෂ්ක්‍රීය වී ඇති අතර ඒ යටතේ ටිල්වින් සිල්වා ලේකම්වරයා ප්‍රකාශ කරන ලද පරිදි වැසිකිලි සෑදීමේ ව්‍යාපෘතියවත් තවමත් ආරම්භ වී නැත.
ප්‍රජාතන්ත්‍රවාදය, අධ්‍යාපනය සහ සෞඛ්‍යයේ නොපිරිමැසුණු හිඩැස
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ වැදගත්ම කාරණයක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සහ නිසි කලට මැතිවරණ පැවැත්වීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට පැලැස්තර ඇලවීමක් සිදුවී ඇති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වූවද වසර දහයේ සිට හයක කාලයක් අකර්මණ්‍යව පවතින විවිධ පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම රජය චේතනාන්විතවම පැහැර හරිමින් සිටි. ආණ්ඩුකාරවරුන් යටතේ විධායක බලය ක්‍රියාත්මක කිරීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවේ.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% වෙන් කිරීම හෝ සෑම ශිෂ්‍යයෙකුටම කිලෝමීටර් තුනක් ඇතුළත පාසලක් ලබාදීම වෙනුවට සිසුන් 50ට අඩු පාසල් වසා දැමීම පිළිබඳ මෑතකදී ජනාධිපතිවරයා පොළොන්නරුවේදී අදහස් ප්‍රකාශ කළේය, පාසල් උපකරණ සඳහා වැට් බදු අඩු කලේ ද නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්විට’’නිරෝගී ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’’ තේමාව යටතේ පොරොන්දු වූ පරිදි අවුරුදු 40ට වැඩි සියලුම වැඩිහිටියන්ට මේ දක්වා එම නොමිලේ ලබාදෙන වෛද්‍ය පරීක්ෂණ පහසුකම ලැබී නැත, නමුත් මේ වන විට යම් ඖෂධ හිඟයක් රෝහල්වල මෙන්ම වෙළඳසැල්වල ද පවතින බව නොරහසකි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වී ගොවීන් ගෙන් සහතික මිලට වී ලබා ගැනීම රජය ප්‍රායෝගිකව අපොහොසත් වී ඇති අතර සත්ව සංගණනයේ ප්‍රතිඵල මත පදනම්ව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත අඩුම වශයෙන් එක් මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළ පරිදි’’රිළා දූපත’’හෝ අරඹා නොමැත.
කඩා වැටෙන ආර්ථික දර්ශක හමුවේ වහා කළ යුතු වෙනස
ප්‍රතිපත්ති ප්‍රකාශයක සඳහන් සියලුම දේ ඉටු කිරීමට බලයට පත් වූ කිසිම රජයක් සමත් වී නැත. ඒවා ඉටු නොකිරීමට බාහිර මෙන්ම අභ්‍යන්තර සාධකද බලපායි. වර්තමාන රජයට මැදපෙරදිග යුධ තත්ත්වය සහ ද්විත්වා බලපෑ ආකාරයටම අතීතයේ පැවැති රජයන්ට ද තිස් අවරුදු යුද්ධය, සුනාමි, ගංවතුර,88/89 අරගලය බලපෑවේය.
රජයට වේගයෙන් ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කිරීමට සිදුවී තිබේ.
| මෑත දී නිකුත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා අනුව දකුණු ආසියාවේ වැඩිම රැකියා විරහිත උගත් තරුණ පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකාවේය.
| මේ වන විට ආහාර උද්ධමනය 8% ඉක්මවා කලාපයේ ඉහළම අගයකට ගොස් ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට එය අකුරක් පාසා ඉටු කිරීමට අවශ්‍ය නොවුණත් කඩිනම්න් රජයේ ආර්ථික ගමන් මග නම් වෙනස් කරගත යුතුව ඇත.
| විදේශ ආයෝජකයන් කොටස් වෙළඳපොළ හැර යමින් සිටිති. සංචාරක කර්මාන්තයේ ආදායම් පසුගිය වසරට වඩා ඉතා පහළ මට්ටමක පවතින බව කොටස් වෙළඳපොලේ ලයිස්තුගත හෝටල් සමාගම්වල කාර්තු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. වැවිලි ක්ෂේත්‍රයේ තේ වගාවේ ආදායමද පහළ බැස ඇත. ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවක් මෑත දි වසා දැමුණු අතර තවත් සමාගමක් සිය ව්‍යාපාර කටයුතු ඉන්දියාවට ගෙන යාමට තීරණය කර ඇත.
වසර දෙකක ශේෂ පත්‍රය දෙස බැලීමට අමතරව ඉක්මනින් ක්‍රියාත්මක වීම රජයට අත්‍යවශ්‍යව තිබේ.
(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය







