leader s

*නීතියෙන් කළ හැකි පමණින් එය ප්‍රජාතන්ත්‍රවාදී ද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය සහ අධිකරණ ස්වාධීනත්වයේ සීමාවන් මනින දේශපාලන පරිණතභාවය


*ජනවරම යනු ව්‍යවස්ථාමය සීමා ඉක්මවා යාමේ බලපත්‍රයක් නොවේ: අසීමිත බලය හමුවේ ආණ්ඩුවක ස්වයං-සංයමය උරගා බලන සැබෑ ලිට්මස් පරීක්ෂණය


22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය දේශපාලනය තුළ තවත් වැදගත් සංවාදයක් ආරම්භ වී තිබේ. මෙය හුදෙක් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, අගවිනිසුරුවරයාගේ ධුර කාලය හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය පිළිබඳ තාක්ෂණික නීතිමය ප්‍රශ්නයක් ලෙස පමණක් කියවීම ප්‍රමාණවත් නොවේ.

ඇත්ත වශයෙන්ම, මෙහි ඇති ගැඹුරු ප්‍රශ්නය වන්නේ බහුතර බලය ලැබුණු ආණ්ඩුවක් ව්‍යවස්ථාව සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. ඒ අර්ථයෙන් 22 වැනි සංශෝධනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් ලෙස කියවිය හැකි බව මඟේ අදහසයි. එහෙත් මෙහිදී එක් වැදගත් වෙනසක් නිරීක්ෂණය කළහැක. එනම් 22 වැනි සංශෝධනය ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද නැද්ද යන්න තීරණය කරන එකම පරීක්ෂණය නොවන බවයි. එය වඩාත් නිවැරදිව කිවහොත්, අපගේ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය, පරිණතභාවය සහ බලය භාවිතා කිරීමේ සංයමය පරීක්ෂා කරන අවස්ථාවක් ලෙස දැක්වීම වඩාත් සාධාරණය.

අප දන්නා පරිදි ලිට්මස් පරීක්ෂණයකින් සාමාන්‍යයෙන් පරීක්ෂා කරන්නේ යම් ද්‍රව්‍යයක ස්වභාවයයි. එසේ නම් දේශපාලන අර්ථයෙන් 22 වැනි සංශෝධනය අපට පෙන්වා දෙන්නේ කුමක්ද? දැත් මෙහි මූලික ප්‍රශ්නය වන්නේ “ආණ්ඩුවට මෙය කිරීමට නීතිමය බලය තිබේද?” යන්න පමණක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථාමය සීමා සම්බන්ධයෙන් තම මතය දැනටමත් ප්‍රකාශ කර තිබේ. සැබෑ දේශපාලන ප්‍රශ්නය ආරම්භ වන්නේ දැන්ය. එනම්, “නීතියෙන් කළ හැකි දෙයක් ප්‍රජාතන්ත්‍රවාදීව කළ යුත්තේ කෙසේද?” මෙය ඉතා වැදගත් වෙනසකි.

ජනවරම සහ ව්‍යවස්ථාව

 

NPPOM 241115 1
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක් ලබා ගනිමින් ඉතා විශාල පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ සැලකිය යුතු ජනවරමකි. එවැනි ජනවරමක් ආණ්ඩුවකට විශාල දේශපාලන ක්‍රියාකාරී අවකාශයක් ලබා දෙයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට, නීති වෙනස් කිරීමට සහ ආණ්ඩුකරණයේ ආකෘති ප්‍රතිසංස්කරණය කිරීමට එය ශක්තියක් සපයයි.

 එහෙත් මෙහිදී ජනවරම සහ ව්‍යවස්ථාමය බලය එකම දෙයක් ලෙස ගැනීම භයානක විය හැකිය. ජනතාව ආණ්ඩුවක් තෝරා ගන්නේ රට පාලනය කිරීමටය. එහෙත් ජනතාව ආණ්ඩුවකට ලබා දෙන්නේ ව්‍යවස්ථාවෙන් නිර්වචනය කර ඇති බලයකි. ජනවරම යනු බලය භාවිතා කිරීම සඳහා ලැබෙන දේශපාලන අනුමැතියක් මිස, ව්‍යවස්ථාමය සීමා ඉවත් කිරීමේ බලපත්‍රයක් නොවේ.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික විරුද්ධාභාසයක් මතුවේ. එක් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තයි. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ බලය පවා යම් සීමාවන්ට යටත් කිරීමයි. ඒ නිසා ප්‍රශ්නය වන්නේ බහුතරය තිබේද යන්න පමණක් නොවේ. ප්‍රශ්නය වන්නේ බහුතරය තමන්ගේම බලයට සීමා පනවා ගැනීමට සූදානම්ද යන්නයි.


එබැවින් මෙය 22 වැනි සංශෝධනය ලිට්මස් පරීක්ෂණය බව මම සිතමි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය යනු කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පැහැදිලිව වෙන් කරගත යුතුය.

අධිකරණයේ කාර්යය වන්නේ යෝජිත නීති, ව්‍යවස්ථාව සමඟ අනුකූලද යන්න පරීක්ෂා කිරීමයි. එමගින් අධිකරණය දේශපාලන ප්‍රතිපත්තියක් තෝරා නොගනී. එය ව්‍යවස්ථාව විසින් නියම කර ඇති සීමාවන් තුළ නීතිමය තීරණයක් ලබා දෙයි.

22 වැනි සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ද එම ආකෘතිය තුළ කියවිය යුතුය. අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන සහ සංශෝධනවල ස්වභාවය සලකා බැලීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අධිකරණය සිය මතය ප්‍රකාශ කර තිබේ. එම තීරණයෙහි වැදගත් දේශපාලන පාඩමක් තිබේ.

අධිකරණය දොරටුව විවෘත කළ පමණින් එම දොරෙන් ඇතුළු වන ආකාරය පිළිබඳ ප්‍රශ්නය අවසන් වන්නේ නැත. අධිකරණය නීතිමය සීමාව නිර්වචනය කරයි. ඉන්පසු පාර්ලිමේන්තුවට තීරණයක් ගැනීමට සිදුවේ. එහිදී පාර්ලිමේන්තුව නීතිමය තීන්දුව පමණක් නොව, 'ව්‍යවස්ථාවේ ආත්මය'ද සලකා බැලීමකට ලක්කරන්නේ ද යන්න වැදගත්ය.

නීත්‍යානුකූලභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණත්වය

මෙහිදී “නීත්‍යානුකූල භාවය” සහ “ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින විශ්වාසය” යන සංකල්ප දෙක එකිනෙකින් වෙන් කර බැලිය යුතුය. යම් ක්‍රියාවක් ව්‍යවස්ථාවට අනුකූල වීම එය නීත්‍යානුකූල වීමට අවශ්‍ය කොන්දේසියකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගීම සඳහා නීත්‍යානුකූලභාවය පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය. මෙය විශේෂයෙන් අධිකරණය සම්බන්ධයෙන් වැදගත්ය. අධිකරණයක ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ට නීතිය අනුව තීරණ ගැනීමට ඇති ආයතනික හැකියාව පමණක් නොවේ. ජනතාවට එම අධිකරණය යනු දේශපාලන බලයේ දිගුවක් නොවන බවට ඇති විශ්වාසයද එහි කොටසකි. ඒ නිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ අගවිනිසුරුවරයාගේ ධුර කාලය පිළිබඳ නීති වෙනස් කිරීමේදී ප්‍රශ්නය වන්නේ “මේ සඳහා ව්‍යවස්ථාවෙන් අවසර දී තිබේද?” යන්න පමණක් නොවේ. “මෙය අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසයට බලපාන්නේ කෙසේද?” යන්නද සලකා බැලිය යුතුය.

නමුත් මෙය ආණ්ඩුවේ අභිප්‍රාය පිළිබඳ චෝදනාවක් නොවේ. එය එයට වඩා, යම් නීතියක බලපෑම සහ එය පිළිබඳ ඇති විය හැකි ආයතනික සැකය අතර වෙනස හඳුනා ගැනීමකි.

22 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවේදී තවත් ප්‍රශ්නයක් මතුවිය හැකිය. මෙවැනි වෙනස්කම් මඟින් සිදුවන්නේ අධිකරණය තමන්ට හිතකර ලෙස හැඩගැස්වීමක්ද? මෙය ඉතා ප්‍රවේශමෙන් කතා කළ යුතු ගැටළුවකි.  විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පොදුවේ වෙනස් කිරීම සහ යම් නිශ්චිත විනිසුරුවරයෙකුගේ ධුර කාලය දේශපාලන බලයට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කිරීම සංකල්පමය වශයෙන් එකම දෙයක් නොවේ. එබැවින්  "22 අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක්” ය යන නිගමනයට ඉක්මනින් පැමිණීමත්, අනෙක් අතට එවැනි ආයතනික බලපෑමක් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කියා සිටීමත් යන දෙකම සරලකරණයන් විය හැකිය.

වඩා වැදගත් වන්නේ නීතියේ අන්තර්ගතය, එය සියලු අනාගත ආණ්ඩු සඳහා සමානව ක්‍රියාත්මක වන ආකාරය, එහි සංක්‍රාන්ති විධිවිධාන සහ ආයතනික ස්වාධීනත්වය පිළිබඳ ඇතිකරන බලපෑම යන කරුණු එකට සලකා බැලීමයි. විශේෂයෙන් වත්මන් ධුරධාරියා සම්බන්ධයෙන් වෙනම විධිවිධානයක් අවශ්‍ය වන්නේ ඇයි යන්න පිළිබඳ සාධාරණ හා පැහැදිලි ව්‍යවස්ථාමය පැහැදිලි කිරීමක් තිබීම ආයතනික විශ්වාසය සඳහා වැදගත් වේ.

ආණ්ඩුවේ විශාලම පරීක්ෂණය

22 260920
අප දකින ආකාරයට 22 වැනි සංශෝධනයේ ගැඹුරුම දේශපාලන අර්ථය මෙහිදී මතුවේ. බලවත් ජනවරමක් ලැබූ ආණ්ඩුවකට විරුද්ධ පාර්ශ්වයකට වඩා පහසුවෙන් නීති සම්පාදනය කළ හැකිය. පාර්ලිමේන්තු බහුතරය නිසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි වේ. එහෙත් ශක්තිමත් බහුතරයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පරිණතභාවය පිළිබඳ අවසාන සාක්ෂියක් නොවේ. ඇත්ත වශයෙන්ම, එය පරීක්ෂණයක් වන්නේ එතැන් සිටය. බහුතරයක් නොමැති ආණ්ඩුවක් බලය බෙදා ගැනීමට සිදුවීම නිසා සංයමයෙන් කටයුතු කළ හැකිය. නමුත් ඉතා ශක්තිමත් බහුතරයක් ඇති ආණ්ඩුවකට එම සංයමය තමන් විසින්ම පවත්වා ගත යුතුය.

ඒ නිසා ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයේ උසස්ම පරීක්ෂණය වන්නේ බලය නොමැති විට ප්‍රජාතන්ත්‍රවාදී වීම නොව, විශාල බලයක් ඇති විටද තමන්ගේ බලයට සීමා තබා ගැනීමයි. මෙය කිසිදු නිශ්චිත ආණ්ඩුවක් පිළිබඳ චෝදනාවක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු ආයතනික මූලධර්මයකි.

ජනවරම අවසන් වන්නේ කොතැනින්ද?

මෙහිදී තවත් ගැඹුරු දේශපාලන ප්‍රශ්නයක් මතු වේ. ජනවරම යනු කුමක්ද? එය ආණ්ඩුවකට ලබා දෙන දේශපාලන බලයකි. නමුත් එය ව්‍යවස්ථාවට ඉහළින් සිටින බලයක්ද? නැතහොත් ජනතාව විසින්ම සම්මත කර ඇති ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක විය යුතු බලයක්ද? මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවේ. නූතන ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගැටලුවක් වන්නේ ජනතා ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාමය සීමා අතර ඇති සම්බන්ධයයි.

ජනතාව පාලකයන් තෝරා ගනී. එහෙත් එම තේරීමෙන් පසු පාලකයන්ට ජනතාවගේ නාමයෙන් සියලු බල සීමා ඉවත් කළ හැකි යැයි අදහස් නොවේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණය පමණක් නොවේ. මැතිවරණයෙන් පසුව බලය භාවිත කරන ආකාරයද එහි අත්‍යවශ්‍ය කොටසකි. මෙය 22 වැනි සංශෝධනය අප ඉදිරියේ තබන විශාලම ප්‍රශ්නයකි.

දැන් “ආණ්ඩුවට මෙය කළ හැකිද?” යන ගැටලුව වෙනුවට “ආණ්ඩුව එය කළ යුත්තේ කෙසේද?” දක්වා 22 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාව නීතිමය ප්‍රශ්නයක් තුළ පමණක් සිරගතවීමෙන් වළක්වා ගත යුතුව තිබේ.  එසේම “පාර්ලිමේන්තුවට මෙය කළ හැකිද?” යන්නට අමතරව, “පාර්ලිමේන්තුව මෙය කළ යුත්තේ කෙසේද?” යන ප්‍රශ්නයද ඇසිය යුතුය.

මෙහි “ කල යුත්තේ කෙසේද” යන්නෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය පමණක් නොවේ. පැහැදිලි හේතු දැක්වීම, විවෘත සාකච්ඡාව, නීතිමය තර්ක, අදාළ ආයතන සමඟ සංවාදය, ව්‍යවස්ථාමය පූර්වාදර්ශ පිළිබඳ සැලකිල්ල සහ අනාගත ආණ්ඩු විසින් එම නීතිය භාවිත කළ හැකි ආකාරය ගැන සිතීම යන සියල්ල එයට අයත් වේ. ඇත්ත වශයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය මැනෙන්නේ බහුතරය කෙතරම් ඉක්මනින් තීරණයක් ගන්නවාද යන්නෙන් පමණක් නොවේ. සමහර අවස්ථාවල එය මැනෙන්නේ බහුතරය තමන්ට තිබෙන බලය කෙතරම් සංයමයකින් භාවිත කරනවාද යන්නෙනි.

22A යනු එම නිසා “ ලිට්මස් පරීක්ෂණයක්” ය. 22 වැනි සංශෝධනයේ සැබෑ වැදගත්කම ඇත්තේ එය සම්මත වන්නේද නැද්ද යන්න පමණක් නොවේ. එය හරහා අපට ප්‍රශ්න කිහිපයක් ඇසිය හැකිය. ජනවරමක් ලැබුණු ආණ්ඩුවක් ව්‍යවස්ථාමය සීමා පිළිගන්නේ කෙසේද? පාර්ලිමේන්තු බහුතරය අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද? අධිකරණ තීරණයකින් නීතිමය මාර්ගය විවෘත වූ විට දේශපාලන බලය විසින් එය භාවිත කරන්නේ කෙසේද? අද ගන්නා නීතිය හෙට තමන්ට විරුද්ධ දේශපාලන බලයක් අතට පත්වූ විටත් සාධාරණ යැයි පිළිගත හැකිද?

මේ අවසාන ප්‍රශ්නය විශේෂයෙන් වැදගත්ය. හොඳ ව්‍යවස්ථාමය නීතියක් යනු “අපට දැන් එය අවශ්‍ය නිසා හොඳ” නීතියක් වන දෙයක් නොවේ. එය “අපට විරුද්ධ ආණ්ඩුවක් හෙට බලයට පැමිණියත් පිළිගත හැකි” නීතියක් විය යුතුය. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරිණතභාවය එතැනදී පරීක්ෂා වේ.

age lowyer 260803

22 වැනි සංශෝධනය පිළිබඳ අපගේ අවධානය අගවිනිසුරුවරයාගේ ධුර කාලයට හෝ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට පමණක් සීමා කළහොත් එමඟින් පෙන්වන විශාල දේශපාලන අර්ථය අපට මඟහැරී යා හැකිය. මෙය බලය පිළිබඳ ප්‍රශ්නයකි; ජනවරම පිළිබඳ ප්‍රශ්නයකි; පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ ප්‍රශ්නයකි; අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයකි.


ඊටත් වඩා, බලය ඇති අය තමන්ගේම බලයට සීමා කරගන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

එබැවින් අපට 22 වැනි සංශෝධනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබේද නැද්ද යන්න තීරණය කරන අවසාන පරීක්ෂණයක් ලෙස ගැනීමට වඩා, එය වඩාත් ගැඹුරු අර්ථයකින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් පරිණතද යන්න පෙන්වන ලිට්මස් පරීක්ෂණයක් ලෙස ගත යුතු බව පෙනෙයි.


Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්