දීඝාභය කුමාරයා සොයා ගෙන ඉතිහාස මංසන්ධිය මැදින් ඇවිද ගියෙමි. ඒ යන හැම අත හමුවන අතුරු මාවත් බොහෝය.

ඒ අතුරු මාවත් වල ඇවිද යන විට හමුවන අමුතු ඉතිහාස පුවත් වේ. 

එවන් පුවත් සොයමින් සිටින කාරණාවට එක් කරන්නේ ආලෝකයකි. මේ ආලෝකය එළියක් විහිදුවා දැල්වනුයේ අමුතු කතාවක් කන වැකුණුදාය. ඒ දුටු ගැමුණු කුමරුගේ  "නිදියහන" ගැන කතාවය.

ජනප්‍රිය වී ඇති ඉතිහාස දත්තයක් වනුයේ කුමරු ගැමුණු ළමා වියේ තම නිදියහනේ වකුටු වී නිදාගත් පුවතය. එවිට ඔහුගේ මවගේ ප්‍රශ්ණාවලියට පෑ උත්තරය නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒත් මේ කතාව එය නොවේය. දුටු ගැමුණු කුමරු තම "නිදි යහන" හෙවත් "නිදි ඇඳ" නොවේ නම් "සයනය" සුරූපී ගැටවරයෙකුට තෑගි කල කතාවකි. කොහොමින් හරි මේ අමුතු නිදි යහන තැනූ ශිල්පියා ගැන කතාව මම ඇසුයේ ගිගුම්මඬුවේ රිදී ආභරණ ශිල්පීන්ගෙන්ය. එදා කන වැකුනු කතාවේ රස නිසාම ඉව කරමින් බැලුවේ මේ අමුතු "ඇඳ යහන" ගැනය.

ඒ ඇඳ යහන කුමරු ගැමුණු යෞවනයෙකුට තෑගි කලේ කවර හේතුවක් නිසාද. ඒ මන්දැයි සොයා ගැනීමේ පිපාසය ඇවිලෙන්නට විය. අන් අතකින් වසර දෙදහසකට පෙර එම "නිදි යහන" තැනූ පරපුර තම කථාව පපුවෙන් පපුවට රැගෙන විත් තිබූ හැටි මවිතයට කාරණාවකි. ඒ නිසා මේ "ඇඳ" ලංකා ඉතිහාස පොත අමුතු කරන කතාවකි. එය කතාවක් විතරක් නොවන ශාස්ත්‍රීය නිල ලේඛණ වල ලියා ඇති බව සොයා ගත් විට ලද සතුට ඉමහත්ය. ඒ ලක් ඉතිහාස අන්දරය  ලියු මහනාම හිමියන් හා තෙර පරපුර කිසිවක් හංගා ගන්න බැරි තරමට සියල්ලම විවෘත කල අපූරුවටය. ඉතින් දීඝාභය, සොයා යන ගමන  ගැමුණු කුමරුගේ "නිදි සයනය" ලඟ නතර වූයේ ඔහොමය.

ravasha 87

මේ " නිදි යහන " ලංකා ඉතිහාස අන්දරයේ රහස් ගැබ විවර කර ගැනීමට කදිම සාක්ෂියක් සපයයි. එනම් දුටු ගැමුණු කුමරු තම රුචි මනාප නිදි යහන තෑගි කරන සුරූපි යෞවනයා නිසාය. එමෙන්ම එම යෞවනයා දුටු ගැමුණු කුමරුට හඳුන්වා දෙන්නේ ඔහුගේම අයියා දීඝාභයය. ඒ නිසාද මෙම කරුණේ වැදගත් බව තීව්ර වේ. ඉතින් දීඝාභය කුමාරයා එළිපිටට නොගෙන කතා කලාපයෙන් සඟවා තබා ගන්නේ නූතනයන් බව මේ සමඟ වටහා ගත හැකිය. මෙම සයනයෙහි කථාව මහා වංශය 23 පරිච්ඡේදය 24-62 දක්වා  ගාථා  38  කියා  සිටී.  

මෙම විසිතුරු කතාව මෙසේ දීර්ඝ සවිස්තරයක් සේ ලියා තබන්නට වංශ කතා රචකයාට හේතු වූයේ එම කථාව අති විශේෂ සිදුවීමක් නිසා විය යුතුය. එමෙන්ම මේ "නිදි යහන" ඉතිහාසයට අදාල පාදක සිදු වීමක් නිසා විය හැකිය. අනික මේ "නිදි යහන" විසින් පුරුෂයන් තිදෙනෙකු එකට හමු කරන්නේය. ඒ ඔවුන් තිදෙනා අතර මැදින් දිව යන කතාවක ඡායා රිද්මයක් කියා දෙමිනි.ඒත් ප්‍රශ්ණය වූයේ මේ තරම් දීර්ඝ සවිස්තරයක් සහිත මේ මන බඳින කතාව ඉතිහාසය අනුසාරයෙන් උපන් ජනප්‍රිය කතා ගොන්නේ නැත්තේ මන්ද කියාය. ගැමුණු පවතේ ජනප්‍රිය කර ගත් කතා අතර මේ නිදි යහන තෑගි කොට බැඳෙන මානව බැඳීම අතුරුදන් වූයේ කොහොමද?. ඒ ගැන සිතමින් යා යුත්තේ "නිමලව" සොයා ගෙනය. 

PHOTO 2023 10 20 18 12 28

මේ සුරූපී යෞවනයා වූයේ රුහුණු මණ්ඩල චිත්ත ග්‍රාමයේ ඉපිද දිවි ගෙවූ නිමලය. නිමල, කියන්නේ "සුර නිමලය". සුරනිමල දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතර යෝධයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය හැමෝම දන්නා සරල ඉතිහාස පුවතකි. ඒත් මේ තරම් දන්නා සුරනිමලට තම අති පුද්ගල නිදි යහන සැතපෙන්න රජ ගැමුණු දුන් බව නොදන්නා තරම්ය. සුරනිමල යෝධයා ගැන ලියා ඇති නූතනයන් ඒ ගැන ගුප්තමය ලෙස නිහඞය. දුටුගැමුණු කුමරු එසේ තම සයනය සුරනිමලට වෙන් කලේ මන්ද. එම බැඳියාව කුමක්ද? එය කෙතරම් සංවේදී භාව වාගී අන්දරයක්ද. භික්ෂූන් වහන්සේ නමක් වූ මහානාම තෙරිඳු රචිත ඉතිහාස පොත තුල එය ලියා තැබීමෙන් උන්වහන්සේගේ සංවේදී විවෘත භාවය කියා දේ. අන් අතකින් දුටුගැමුණු කුමරු තම අයියා වූ දිඝාභයට බැඳී තිබූ බැඳීමේ දිග පළල හා පුළුල් පරාසය මේ කථාව කදිමට හැඟුම්කරණය කරයි. එනම් දුටුගැමුණු කුමරු තම අයියා ඔහුට එවන සගයා කෙරෙහි කෙතරම් බැඳී ගියේද යන්නය. එවන් බැඳීමක් විසින් පෙන්වා දෙන්නේ දුටුගැමුණු මල්ලීත් දිඝාභය අයියාත් කොතරම් හෘදයාංගම බන්ධනයක දිවි ගෙවා ඇතිද යන්නය. 

එතරම් සමීප අයියා මලෝ දෙදෙනෙක් ඉතිහාස අන්දරය තුලින් යටපත් කළේ කවුද?. මම නිබඳව කියන්නේ ඒකය. ඉතිහාස පොත පාලි බසින් සිංහල සහ ඉංග්‍රීසි බසට නැඟූ ඒකමානීය රචකයන්ද ඉතිහාසඥයන්ද ඒවා වත්මනට කියා දෙන හැඟීම් යටපත් කළ තරමය. ආගම, ජාතිය සහ යුද්ධය මතින් මානව ජීවිතය යටපත් කල හැටිය. දැන් යලි සුරනිමලයන් සහ දුටුගැමුණු කුමාරයන්ද දීඝාභයන්ගේද තුන් ඈඳුණු භාව බැඳීම සොයා යා යුත්තේ ඒකය. එය කදිමට ලියා ඇත්තා වූ සංකේතීය නිධානය දුටුගැමුණුගේ නිදියහන  හෙවත් "සයනය" ය.

ravaasha 20231020

කුමරු දුටු ගැමුණුවන්ගේ නිදි යහන ගැන මහාවංශය තබන තතු විත්තිය නිරවුල්ය. එය ජන විත්ති වලින් අහුලා ගන්නට තරම් ලුහුඬු නැත. ජන විත්ති විසින් එම පුවත වඩාත් තහවුරු කරන අතර, වංශ කතාවෙන් එය  ඔපවත් වී ඇති ජීවමාන මතකයක්ය. දේශපාලන ආරකින් බරව ඇති සිදුවීමක පවා ඇති හද බන්දන භාව ප්‍රේමයක්ය. භාව සමීපතයන්ගේ මේ අපූරු මොහොත තේරුම් ගන්නේ නම් එම යුගය වටහා ගැනීමේ  කවුළුව හැරගත හැකිය. එම හැර ගැනීමට කිසිවෙක් මෙය විවර නොකරයි. එබැවින් මෙම මහාවංශ පුවත විවර කරමි. මහාවංශය මෙම රසාලිප්ත ජීව භාවය ලියා තබා ගියේ මන්ද. ඒ වර්තමානිකයන්ගේ ජීවන ලාලසාවන් හා අතීත ජීවන ලාලසාවය අතර පෑහීමකට බව පැහැදිලිය. එමෙන්ම විරුවන් වන්නේ ජිව බැඳීම් සහිත මිනිසුන් බව කියා දීමට බවද පැහැදිලිය. ඒ විරුවන්ගේ ජීවන සෞන්දර්ය අවබෝධ කර දෙමින්ය.

අනික ජාතිය යුද්ධය ආගම හා දේශපාලනයට වඩා භාව ප්‍රේමය බලගතු බවට කියා දෙමිනි. ඒ කියා දීම වෙතින් පසක් වන්නේ මානවයන්ගේ ශූරතා ඔප් නැගෙන්නේ දයාව ආදරය හා භාව ආලයන් තුලින්ම බවය. ඒත් ලක්රාජ අන්දරයේ ජනකාන්තයාගේ භාව හැඟුම්කරණයන් නොපෙනෙන නොදකින තරමට නූතන ලාංකිකයන්ගේ නෙත පියවි ගියේ මන්ද. ඒ බැල්ම වසා දැමීම පෙන්වන්නේ ලංකා ඉතිහාස අධ්‍යාපනය, අධ්‍යනය මෙන්ම කතිකාවතද ඉතිහාස ශාස්ත්‍රඥයන් දක්වාද ඇති කුහකත්වයය. නොවේ නම් නොදන්නාකම හෝ මුග්ධත්වය නොවේද?. ඉතිහාසය, තුළින් මානව භාවයන් ඉවත් කළ විට ඉතුරු වන්නේ ඇට සැකිලිවන් අජීවි මිනිසුන්ය. එවන් අජීවි කරන ලද ඉතිහාස කරණයෙන් සිදු වූයේ කුමක්ද. පූර්ණ භාව විසිතුරු එම ලංකා සමාජය අර්ධ ගෝත්‍රික වනචාරින්ගේ සීමාවට ඇද වැටීමය‍.

දැන් විවෘතවම මහාවංශය ලියා ඇති එම වැකි පෙළ නිරාවරණය කළ යුතුය. ආවරණය කරගෙන ඇති ඉතිහාසය නිරාවරණය කළ යුතුය. එවිට ලාංකිකයන්ට ජීවිතය හමුවනු ඇත. මහාවංශයේ 23 පරිච්ඡේදයේ 56,57,58,59,60 ගාථා වල තබන දුටුගැමුණු කුමරුගේ සයනයේ කතාව සසඳා බලන්න.

ravasha 56

" නිමලගේ කෙස් කපා සකසා....,  ගඟට කැඳවා ගෙන ගොස් සිහිල් දියෙන් තනවා... අනඟි සළු යුවලක් හදවා....,  සුවද ගල්වා...... සුරූපි මලින් සරසා..... හිස දුහුල් සළුවෙන් වසා නැවත කුමරු වෙත කැඳවා ගෙන ආහ. කුමරු තමා වෙනුවෙන් පිළියෙල කළ ආහාරයෙන් සංග්‍රහ කොට නිදාගැනීමට තමන්ගේ ලක්ෂයක් වටිනා සයනයද නිමලට දුන්නේය‍" .

රාජ කුමාරයෙක් මතු ලක් සිහසුනට සිහින මවන්නෙක් ස්වකීය ජීවිතයේ වටිනාම, අති පුද්ගලික ගෘහ භාණ්ඩය වූ නිදියහන නොහොත් "සයනය" හෙවත් "සිරියහන" පුරුෂ ගැටවරයෙකුට වෙන් කලේ මන්ද? සුරනිමලව, සිහිල් දියෙන් නහවා  රූපලාවණ්‍යයෙන් සරසා සුවඳවත් කොට මල් ගවසා මල් කුමාරයෙකු සේ සළු පළඳා අලංකාර කොට සමීපයට කැඳවාලූවේ කිමද? දුටුගැමුණු කුමාරයාගෙන් ඔහුගේම නිදි යහන තෑගි ලබා සැතපෙන්නට නිමල හෙවත් සුරනිමලට හැකි වූයේ කෙසේද. ඉතිහාසය මනමත්ය. එය කවියක් වැනිය‍. එහි ඇත්තේ මානව භාවයන්හි දිගැසැය ය.

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රාවාෂ පසුගිය ලිපි :

ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්