ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා මේ වනවිට ගත්ත තීන්දු තිරණ ගැන උදව් කරපු අපි වගේම ඡන්දය නොදුන් අයත් සතුටු වෙන බවත්

මේ වන විට ඒ බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා යැයි ද තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. අමාත්‍යවරයා මේ පිළිබඳ අනාවරණය කර ඇත්තේ, අනිද්දා පුවත් පත හා සිදුකළ සාකච්ඡාවක දීය.

අනිද්දා :
නව අමාත්‍ය මණ්ඩලය පත් කරද්දී ශ්‍රී ලනිපයට ඇමතිධුර දෙකක් පමණක් ලබාදීම ගැන අසතුටක් තියෙනවාද?

දුමින්ද :
අපි ඒ පිළිබඳ කිසිම අසතුටක් නැහැ. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට සහ මේ ආණ්ඩුව සමඟ එක්වීමට තීන්දුව අපි ගත්තේ ප්‍රධාන වශයෙන්ම රටේ අනාගතය වෙනුවෙන්. එතැනින් එහාට පක්ෂවලට ලැබෙන කොටස ගැන කතාකරන්නට අපට බලාපොරොත්තුවක් නැහැ. අපි මේ අමාත්‍යධුර ලබාදීමේදී පක්ෂවලට මොනතරම් ලබාදුන්නාද කියලා සලකා බලන්නවත් සූදානම් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුවක් විදියට එක්ව වැඩකරන්න බලාපොරොත්තු වෙනවා.

 

අනිද්දා :
ශ්‍රී ලනිපය මින් ඉදිරියේ මැතිවරණවලට ආණ්ඩුව සමඟ එක්ව ඉදිරිපත් වෙනවාද? නැතිනම් වෙනම ඉදිරිපත් වෙනවාද?

දුමින්ද : 
ඒ ගැන දැන්ම කල්පනා කරන්න අවශ්‍ය නැහැ. මොකද මැතිවරණයට තව කාලයක් තියෙනවා. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. ඒ මොහොතේ අපට සාකච්ඡුා කොට එකඟතාවකට එන්න පුළුවන්. මැතිවරණයකට අපි කැමති වුණත් අපි දන්නවා නීත්‍යනුකූලව ලබන මාර්තු මාසය වෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව.

ගෝඨාභය රාජපක්ෂ නීත්‍යනුකූල නොවන කිසිම දෙයක් කරන්න සූදානම් නැහැ. ඒ වගේම නීති විරෝධී කිසිම දෙයක් කරන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා ව්‍යවස්ථානුකූලව තමයි කටයුතු කරන්නේ. ඉදිරියේදී තීන්දු කරන්න පුළුවන් මැතිවරණය ආවාම අපි මොන විදියටද ඉදිරිපත් වෙන්නේ කියලා. රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව ගැනයි අපි අද කතාකරන්නේ.

 

අනිද්දා :
පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ ක්‍රීයාකාරීත්වය ගැන තක්සේරුව මොකක්ද?

Text 23දුමින්ද :
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා මේ වනවිට ගත්ත තීන්දු තිරණ ගැන උදව් කරපු අපි වගේම ඡන්දය නොදුන් අයත් සතුටු වෙනවා. ඒ බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. උදාහරණයක් විදියට බදු සහන ආදිය ගැන සතුටු නොවෙන්නේ කවුද. ඡන්දයේදී විරුද්ධව කටයුතු කරපු අය පවා බදු සහන ගැන සතුටු වෙනවා.

ඇමතිවරුන් පත්කිරීම ගැනත් ජනතාවට සතුටුයි. ඉන්පසු ආයතන ප්‍රධානීන් පත්කිරීම සදහා ජනාධිපතිතුමාගේ අදහස පවා වටිනවා. මේ වෙනකොට පත්තරවල දැන්වීම් පවා දාලා තියෙනවා ආයතනවල ප්‍රධාන තනතුරුවලට සම්බන්ධ වෙලා ඒ ආයතන නගා සිටුවන්න කැමති අය ඉන්නවා නම් ඒ අයට ඇප්ලිකේෂන් දාන්න කියලා. මේක මීට කලින් නොතිබුණු අලූත් ප්‍රවණතාවක්.

අපි මැතිවරණවලදී අපේක්ෂකයන් දිනවනවා. ඒත් හැම ජයග‍්‍රහණයකින්ම පස්සේ ඉතිහාසයේ කරලා තියෙන්නේ කෙටිකාලීන බලාපොරොත්තු සමඟ කටයුතු කරන එක. හිතවතුන්ව පිනවන එක. ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය දවස් කිහිපය තුළ කරපු දේවල් එක්ක ඔහු ඊට වඩා වෙනස් වේවි කියලා උදව් කළ අයටත් නොකළ අයටත් විශ්වාසයක් ඇතිවෙලා.

 

අනිද්දා :
ශ්‍රී ලනිපයේ පිරිසක් පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන්නා. ඒ ගැන පියවරක් ඉදිරියේදී ගන්නවාද?

දුමින්ද :
මම හිතනවා ඒ අය පිළිබඳව කලබල වෙන්න ඕනෑ නැති බව. ශ්‍රී ලනිපයේ ඉඳපු පිරිස් පක්ෂයෙන් එළියට ගිහිල්ලා ඕනෑ තරම් නැවත එකතුවෙලා තිබෙනවා. අපිත් එක වෙලාවක එහෙම කළා. පාර්ලිමේන්තුවේදීත් එවැනි පක්ෂ මාරුකිරීම් වෙලා තියෙනවා. පක්ෂයේ නිලධාරීන් මට්ටමෙනුත් එවැනි දේවල් වෙලා තියෙනවා. අපේ මතයත් එක්ක අත්වැල් බැඳගන්න ඕනෑම කෙනෙකුට නැවත පක්ෂය එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. කොහොමත් ඒ අයට යන්න වෙන තැනක් නැහැනේ.

 

අනිද්දා :
ශ්‍රී ලනිපයට මෙතැන් පටන් පක්ෂයක් විදියට අසීරු අවස්ථාවකට මුහුණදෙන්නට සිදුව ඇතැයි පෙනෙනවා. පක්ෂයක් විදියට තමන්ගේ අනන්‍යතාව පවත්වාගෙන යෑමත්, නැවත ප්‍රධාන පක්ෂය විදියට නැගී ඒමත් සඳහා අරගල කරන අතරේම පොදුජන පෙරමුණට සහාය පළ කරන්නත් සිද්ධවෙනවා. ඒ අභියෝගය සැලකිල්ලට ගන්නේ කෙලෙසද?

දුමින්ද :
මම හිතන්නේ ඒක අපට අපහසුවක් නොවන බව. ශ්‍රී ලනිපය සහ පොදුජන පෙරමුණ කියන පක්ෂ දෙකේම ඉන්න කණ්ඩායම් සහ ප්‍රතිපත්ති බොහෝවිට එකයි. එසේ වුණත් ශ්‍රීලනිපය කියන්නේ වෙනම පක්ෂයක්. පොදුජන පෙරමුණ කියන්නේ තවත් පක්ෂයක්. පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වාගෙන යන්න ඕනෑ බව පැහැදිලියි.

එහෙත් අනන්‍යතාව පවත්වාගෙන යෑම පිණිස ප්‍රතිපත්තිමය ගැටුම් ඇති කරගන්න සිද්ධවෙන්නේ නැහැ. එය එක්සත් ජාතික පක්ෂය සමඟ එකට කටයුතු කිරීම තරම් අසීරු නැහැ. ඇත්ත කතාව බැලූවොත් අදටත් ශ්‍රී ලනිපයේම කණ්ඩායමක් තමයි පොදුජන පෙරමුණ විදියට ඉන්නේ. ඒ නිසා අපේ අදහස් හා ප්‍රතිපත්තිවල ගැටුමක් නැතිව ආණ්ඩුව කරන්න පුළුවන්.

 

අනිද්දා :
ශ්‍රී ලනිපය පොදුජන පෙරමුණ සමඟ එක්වීමෙන් මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වැදගත් බලපෑමක් වුණ බව හිතනවාද?

දුමින්ද :
අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූ ජයග්‍රහණය ලබාදීලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට ඡුන්ද ලක්ෂ 17ක් ලැබුණා. මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ඡන්ද ලක්ෂ 17 ප්‍රයෝජනවත් වුණ බව පැහැදිලියි.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් බලාපොරොත්තු වුණා පහුගිය ආණ්ඩුවලින් යම්කිසි වරදවල් වෙලා තියෙනවා නම් ඒවායේ නිවැරදි කිරීමක්. අපේ පක්ෂ දෙක වෙනම ඉන්න කාලේ ශ්‍රී ලනිපය විදියට ලබාගත් ජයග්‍රහණ බොහොමයක් තියෙනවා.Text 24

අපි ප්‍රජාතන්ත්‍රවාදය, කතාකිරීමේ අයිතිය වගේ මුදලන් මනින්න බැරි දේවල් ජනතාව අතර තහවුරු කළා. ඒ ජයග්‍රහණ ටික ඉදිරියටත් ගෙනයන්න ඕනෑ බව අපි පිළිගන්නවා. මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒවා ශක්තිමත් කරන්න වැඩකරන බව පැහැදිලිව පෙන්වලා තියෙනවා.

ඔහු පරිසරය සුරැකීම ගැන උනන්දු වුණා. ආරක්ෂාව පිළිබඳ උනන්දු වුණා. නිදහස පිළිබඳවත් උනන්දු වෙලා තියෙන බව අපට පේනවා. මේ මැතිවරණය ජයග්‍රහණය කළාට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ කාටවත් කරදරයක් කිරීමේ සිදුවීම් නැතිම තරම්. දේශපාලන පළිගැනීම් නැහැ. අපි ඇතිකරපු වෙනස ඉදිරියට ගෙනයන්නට ඔහු වැඩකරන බව පැහැදිලියි.

 

අනිද්දා :
මීට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ ඒකාධිපති ප්‍රවණතා ගැන විරෝධය දක්වලා ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණ, ඉන්පසුවත් ඔවුන්ගේ අධිකාරිවාදී භාවිතාවන් ගැන විරෝධය පළකරපු ඔබ ඇතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දුන්නා. ඒ නිසා ඔහුගේ භාවිතාවන් ගැන බියක් තිබුණු ඇතැම් අය ඒ බිය තුරන් කරගන්නට ඇතැයි සිතනවාද?

දුමින්ද :
මං හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි එකතුවීමෙන් දැවැන්ත ශක්තියක් ලැබුණා. කණ්ඩායමක් එකතුවීම තුළ ශක්තියක් ලැබෙන බව පැහැදිලියි. අපි එදා රජයෙන් අයින් වෙන්න හේතුවක් තිබුණා නම් ඒක නිවැරදි කරගන්න ඕනෑ කියන එක මත ශ්‍රී ලනිපය ඔවුන්ට ශක්තියක් වෙලා තියෙනවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාවිතාවන් රටේ යහපත් පාලනයක් සඳහා වැදගත්. ඔහුට සමහර වෙලාවට මේ රටේ විනය හදන්න අලූතින් නීති දාන්න වුවමනාවක් නැහැ. සමහර වෙලාවට එතුමා කතාවකදී කියන දේ නීතියක් බව හිතාගෙන මිනිස්සු වැඩකරනවා. ඒක රට පැත්තෙන් ජයග්‍රහණයක්.

 උදාහරණයක් විදියට කුණු දාන එක ගැන ඔහු කතාකළාම ඒක නීතියක් ලෙස සලකමින් මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. ඔහු රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන කතාකළා. දැන් සියලූ රජයේ සේවකයන් වැඩ කරයි මින් ඉදිරියට කාර්යක්ෂමව වැඩකළ යුතුය කියන හැඟීමෙන්. ඒක හොඳ ප්‍රවණතාවක්.

 

අනිද්දා :
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට එකතු වේවිද?

දුමින්ද :
ඒක තවම එතුමා පැහැදිලිව කියලා නැහැ.

 

අනිද්දා :
මේ ආණ්ඩුවට ශ්‍රී ලනිපය එකතු කරන විශේෂ දේවල් තියෙනවාද?Text 25

දුමින්ද :
අපි හැමෝම ආණ්ඩුවක් විදියට බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු ටික ඉටුකිරීමට. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ එකම ආණ්ඩුවක් විදියට මිසක් ශ්‍රී ලනිපය හෝ පොදුජන පෙරමුණ කියන භේදයෙන් නෙවෙයි. රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමයි අපේ වගකීම. වෙන වෙනම ජයග්‍රහණ බෙදාගැනීම නෙවෙයි. අපි මීට කලින් බෙදිලා හිටපු බව ඇත්ත.

එහෙත් අපි මැතිවරණය වෙනුවෙන් එකතුවුණා. දැන් රට හදන කණ්ඩායම් සහ රට වෙනස්කරන කණ්ඩායම් විදියට ආණ්ඩුවක් විදියට එක වැඩ කරන්න තමයි ඉදිරියේදී කටයුතු කරන්නේ.

 

අනිද්දා :
එහි අදහස මීට පෙර එකිනෙකා ගැන තිබුණු විවේචන අවසන් බවද?

දුමින්ද :
අපි දෙපැත්තේම විවේචන ගැන කතාකරලා මැදකට ඇවිල්ලා තමයි ඡන්දයට කලින් එකතුවුණේ. අපි ගිවිසුම් පවා අත්සන් කළානේ. දැන් සහයෝගය ලබාදීලා, ජයග්‍රහණය කළාටත් පස්සේ විවේචන කරන්නේ නැහැ. ඇත්තටම අපේ පක්ෂ අතර කිසිම ගැටුමක් නැහැ.

ඔබ ඇතුළු මාධ්‍යවේදීන් ඒ ගැන ප්‍රශ්න අහන නිසා උත්තර දෙනවා මිසක්, අපට ඕවා ගැන කතාකරන්නවත් වුවමනාවක් නැහැ. දැන් ජනතාව ඔය කතා අහන්න කැමති නැහැ. රට සංවර්ධනය කිරීම ගැන කතාකරන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ.

 

අනිද්දා :
මීට කලිනුත් රට හැදීමේ අරමුණෙන් ඔබ ඇතුළු කණ්ඩායමක් 2015 දී ජනවරමක් ඉල්ලූවා. එදා වැරදුණේ කොතැනද?

දුමින්ද :
එතැන අපේ ප්‍රධාන අඩුපාඩුව තමයි මතභේදය. අපි මූලික වශයෙන් අපි දෙගොල්ලෝම මූලික එකඟතාවක් හදාගත්තා. එහෙත් ආණ්ඩු කිරීමේදී අලූතින් ඇතිවූ තත්වයන් ගැන අපට වෙනස් මතවාද තිබුණා. සියලූදෙනාම දන්නවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතට ඇතිවුණ මතභේදය එක්ක වෙනස්ම ගමන්මාර්ගවලට ගිය බව.

 

අනිද්දා :
එම ආණ්ඩුවෙන් කිසිම යහපතක් නොවූ බව හිතනවාද?

දුමින්ද :
ඒ ආණ්ඩුවෙන් වුණ බොහෝ හොඳ දේවල් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ආදි දේවල් තහවුරු වුණා. කිසිම දේක හොඳ දෙයක් නරක විදියට අර්ථකථනය කරන්න ඕනෑ නැහැ. විරුද්ධවාදීන්ගේ වුණත් හොඳ දකින්න ඕනෑ.

මම අනුරාධපුරයේ කරපු අවසාන රැස්වීමේදී පවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලූවා ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ වෙනත් අපේක්ෂකයන් හොඳ පොරොන්දුවක් දීලා තියෙනවා නම් අපි දිනලා ඒවාත් ඉටුකරමු කියලා. ඒ අර්ථයෙන් හිටපු ආණ්ඩුව කළ හොඳ දේවල් හොඳ විදියට දකින්න ඕනෑ.

එහෙත් ඒ ආණ්ඩුවේ අඩුපාඩුත් ගොඩක් තිබුණා. ඒවා ගැන ජනතාවට කළකිරීමක් ලැබුණා. දැන් ජනතාවට අලූත් අපේක්ෂාවක් තියෙනවා. ඔවුන් අලූත් ජනවරමක් දීලා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනෑ කලින් ලැබුණු යහපත් වටිනාකම් රැකගෙන අලූත් ජනවරම ඉහළින්ම ක්‍රියාත්මක කිරීම.

(උපුටා ගැනීම : අනිද්දා පුවත්පතින් / සටහන තරිඳු උඩුවරගෙදර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්