1200 x 80 DMirror

 
 

පෙබරවාරි 14 යනු ලෝකයේ සෑම රටක ම වෙසෙන ගැහැනු සහ පිරිමි කිසිදු: ආගම්, ජාති, කුල, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව තම තමන්ගේ

ආදරය වෙනුවෙන් තිළිණ ලබන සහ තිළිණ දෙන දිනයකි. එය ආගමික සැමරුම් දිනයකට ද වඩා ආකර්ෂණිය ය; උත්කර්ෂවත් ය. මන්ද එදින හුදු ආගමික සංකල්ප ඉක්මවූ සමස්ත මිනිස් ප්‍රජාවගේ ම, එනම් ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ ආදරය සිහිපත් කෙරෙන, ඒ වෙනුවෙන් විවිධ වැඩ සටහන් සිදු කෙරෙන දිනයක් වන බැවිනි.

 

අර්ථවත් සංකල්පයක් මතු නොව අර්ථවත් භාණ්ඩක්, අර්ථවත් දිනයක් වුව ද අනිසි ලෙස භාවිත කරන මිනිස්සු වෙසෙන ඇතැම් රටවල මෙම දිනය ද එබඳු අර්ථ විරහිත කටයුතු සඳහා භාවිත කිරීම ද වැළැක්විය නොහැකි ය. නමුදු අපි සියල්ලෝ ම උත්සුක විය යුත්තේ අර්ථවත් ඕනැම යමක් සැමරීමේ දී එය අර්ථවත් ලෙස සැමරීම සඳහා ය. ඒ අනුව ‘‘ආදරවන්තයන්ගේ දිනය’’ යනු ද එබඳු දිනයකි.

 

ආදරවන්තයන්ගේ දිනය කෙතරම් උත්කර්ෂවත් අන්දමින් සැමරුව ද එහි දේශපාලන පාර්ශ්වය පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමු නොකරන බව ද සත්‍යයකි. මන්ද මෙම දිනය සැමරීම පිටුපස සැඟව පවත්නා: පිළිගත හැකි, භෞතික සිදුවිම ඉතා ඛේද ජනක බැවිනි. ඒ කුමක් ද යන්න මේ ලිපිය කියවන බොහෝ දෙනා දැනුවත් ය යන විශ්වාසය මත වුව ද එකී නිමිත්ත පිළිබඳ කුඩා හෝ ආවර්ජනයක් කළ යුතු ය. එසේ නොවුණ හොත් ලිපියේ මුඛ්‍ය අරමුණ පසක් කළනොහැකි වනු ඇත.

 

සැබැවින් ම ආදරවන්තයන්ගේ දිනය යනු බල ලෝභී අධිරාජ්‍යයෙකුගේ නොමිනිස් ක්‍රියා දාමයකට එරෙහිව ගැසූ කැරැල්ලකි; ජීවිත පරිත්‍යාගයෙන් ගැසූ කැරැල්ලකි; මිනිස් ඉතිහාසයේ එක් පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද සුවිශේෂී කැරැල්ලකි. එයට පාදක වන්නේ කුමක් ද යන්න පළමුව විමසා බලමු.

 

ක්‍රිස්තු වර්ෂ තුන්වන සිය වසේ දී පමණ රෝමයේ විසූ, බල කාමයෙන් උමතු වූ, දැඩි යුදවාදියෙකු වූ ක්ලොඩියස් නම් අධිරාජ්‍යයා එරට විසූ සියලු තරුණ කොටස් බලහත්කාරයෙන් ම යුද හමුදාවට බඳවාගැනීම හේතුවෙන් ම ඔවුන්ට විවාහ දිවියට ඇතුළත් වීම ද තහම් කර තිබිණ. ඔහු ඒ සඳහා ඉදිරිපත් කළ තර්කය වූයේ යුද සෙබෙළෙකු විවාහ දිවියට පත් වූ පසු ඔහු මානසිකව දුර්වල වන බවයි. එකී මානසික දුර්වලත්වය යනු ඕනෑම මිනිසකු (ගැහැනු පිරිමි දෙපාර්ශ්වය) තුළ ඇතිවන: ආදරය, ප්‍රේමය සහ ලිංගිකත්වය නමැති හැඟීම් සමුදාය යි. ක්ලොඩියස් විසින් වසා දමන ලද්දේ එකී හැඟීම් සන්තර්පණය කරගැනීම සඳහා විවෘතව තිබූ ද්වාරය යි.

 

The Catholic Roots of St. Valentine's Day | Franciscan Media

 

ක්ලොඩියස්ගේ මෙම අමානුෂික ක්‍රියාවට කිසිවකු එරෙහි නොවූයේ එසේ එරෙහිවන ඕනෑ ම පුද්ගලයෙකු ඝාතනය කිරීමට ක්ලොඩියස් පසුබට නොවන බව අවබෝධ කරගෙන සිටි බැවිනි. නමුදු එවක විසු ශාන්ත වැලන්ටයින් නම් පූජකවරයා  ක්ලොඩියස්ගේ අමානුෂික තීරණය තඹයකට මායිම් නොකර තරුණ තරුණියන් විවාහ කර දීමට කටයුතු කළේ ය. එය තරුණ තරුණියන් විවාහ කර දීම පමණක් නොව යුද උම්මත්තකයකුගේ උමතුභාවයට අභියෝග කිරීමකි; අධිරාජ්‍යයෙකුට අභියෝග කිරීමකි; තවත් විදියකින් පවසනවා නම් මරණය තමා අබියසට කැඳවාගැනීමකි. එය සාක්ෂාත් කරමින් වැඩි කලක් යන්නට ප්‍රථම වැලන්ටයින් පූජකවරයා ක්ලෝඩියස් නම් යුද උම්මත්තකයාගේ සිරකරුවෙකු බවට පත්වන්නේ ය. එතෙකින් නොනැවතුණු මේ යුද උම්මත්තකයාගේ අණට අනුව එම පූජකවරයා ඝාතනය කරන්නේ ය. පසු කලෙක ‘‘වැලන්ටයින් දිනය’’ හෙවත් ‘‘ආදරවන්තයන්ගේ දිනය’’ ලෙස නම් කෙරෙන්නේ එම පුජකවරයා ඝාතනය කළ දිනය යි.

 

Valentine's Day during the pandemic is even more special, meaningful

වර්තමානයේ මෙම දිනය සම්පූර්ණයෙන් ම වෙළඳපොලකරණයට ලක්වී තිබේ.

 

සියල්ල මුදල් මත තීරණය කෙරෙන, ආගමික උත්සව දින ද වෙළඳපොළකරණයට ලක්වෙන ගෝලීය ධනවාදී ක්‍රමය තුළ එය අරුමයක් නොවේ. ඒ අනුව එළඹෙන පෙබරවාරි 14වන දින ද ඒ කනගාටුදායක සිදුවීම අනුස්මරණය කෙරෙන අතර ම ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ තම තමන්ගේ ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ සමග ඔවුනොවුන්ගේ ආදරය විවිධාකාරයෙන් බෙදා හදා ගනිති. එය කිසිදු ආකාරයකින් විවේචනයට ලක් කළ යුතු නොවේ. එය සිදු විය යුතු ය. නමුදු ආදරය ප්‍රේමය මුසු වූ ලිංගික සන්තර්පනයක් ලබනවා වෙනුවට බලහත්කාරයෙන් තම ලිංගික සිතැඟියා ඉටු කරගත් පුද්ගලයෙකු පිළිබඳ සාහිත්‍ය කලා නිර්මාණ ද්විත්වයක් ජනගත කිරීම ද එදිනට යොදාගැනීම ජුගුප්සා ජනක නොවන්නේ ද...? එකී ජුගුප්සා ජනක සිද්දිය පිළිබද සටහන් කිරීමට පෙර මෙරට සිනමා නිර්මාණ මුදාහැරීමේ දී අතීතයේ අනුගමනය කළ පිළිවෙතක් ද සඳහන් කළ යුතු ය.

 

මගේ මුල්ම සිනමා අත්දැකීම ලබන්නේ 1973 වසරේ දී ය. එතැන් සිට මේ දක්වා ම ජනතා ප්‍රදර්ශනයට මුදා හැර ඇති සිනමා නිර්මාණ අතුරෙන් 95% වැඩි ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ සිකුරාදා දවසක ය. ඊට පාදක වන්නට ඇතැයි සැක කෙරෙන හේතු පිළිබඳ සොයා බැලීමේ දී සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න පවසා සිටියේ මෙය ආරම්භ වූයේ හොලිවුඩයේ බවයි. ඊට හේතු පාදක වන්නේ සෙනසුරාදා සහ ඉරිදා යනු බටහිර මෙන් ම යුරෝපීය රටවල ජනතාව හොඳින් විනෝද වන දවස් දෙකක් වන බැවිනි; සිකුරාදා නව සිනමා නිර්මාණයක් සිනමා ශාලා වෙත මුදා හැරි පසු සෙනසුරාදා සහ ඉරිදා දිනවල බොහෝ පිරිස් එය නරඹන බැවිනි. ලංකාවේ සිනමා නිර්මාණ බහුතරයක් සිකුරාදා දිනවල මුදාහරින්නේ හොලිවුඩය අනුකරණය කරමින් බවට සැක නැත. මන්ද අපි බොහෝ ආගමික උත්සව පවා පවත්වන්නේ වෙනෙකෙකු අනුකරණය කරමිනි.

 

සරසවිය: ඔළුව ජපන් කඳ ජර්මන් සමඟ අපේ 'කමිං සූන්' විත්තිය: Sarasaviya e  edition - Lake House - Sri Lanka

මෙකී සාම්ප්‍රදායික ක්‍රමය බැහැර කරමින් සිනමා නිර්මාණ මුදා හැරි අවස්ථා ද දේශීය සිනමා ඉතිහාසයේ නැතුවා නොවේ. මගේ මතකය අනුව ප්‍රථම වරට එවැන්නක් සිදුවන්නේ ‘‘වීර පුරන්අප්පු’’ සිනමා නිර්මාණය අළලා ය. එම සිනමා නිර්මාණය මුදාහරින්නේ 1978 අගෝස්තු 08 වන අඟහරුවාදා  ය. ඒ සඳහා නිමිති කරගන්නේ අධිරාජ්‍යවාදි පාලකයින් විසින් කුරු උතුම්පාල වීරහැන්නැදිගේ ෆ‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්දු හෙවත් පුරන් අප්පු නමැති අධිරාජ්‍ය විරෝධී සටන් නායකයා 1848 අගෝස්තු මස 08 වන දින ඝාතනය කරනු ලැබීම ය.

 

Tsunami - සුනාමි - “சுனாமி” Sinhala movie - 18th July - 6.30 pm - Adelaide  Sri Lankan News and Eventsමෙම සිනමා නිර්මාණයට අමතරව සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සුනාමි’’ සිනමා නිර්මාණය ද මුදාහැරියේ 2020 ජනවාරි මස 16වන බ්‍රහස්පතින්දා ය. මෙම සිනමා නිර්මාණය නිකුත්වන්නට නියමිතව තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී වුව ද යම් හේතුවක් මත එය 2020 ජනවාරි දක්වා කල් දැමී ය.

ඒ හැරුණු විට සිකුරාදා නොවන දවසක මුදාහළ සිංහල සිනමා නිර්මාණයක් මගේ මතකයේ නොමැත. එසේ තිබේදැයි සොයා ලිවිය හැකි නම් එය ද අගනේ ය.

 

යට සඳහන් කළ ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව සිනමා නිර්මාණයක් මුදා හැරෙන දිනයක් ලෙස එළඹෙන 14වන (2022/02/14) දින සැලකිය හැකි ය. එදින සඳුදා දවසකි. මුදා හැරෙන සිනමා නිර්මාණය අසෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘Alborada’’ සිනමා (මා තවමත් මෙම නිර්මාණය නරඹා නොමැත) නිර්මාණය යි. මෙම සිනමා නිර්මාණයට පාදක වන්නේ නොබෙල් සම්මානලාභී චිලි කවියෙකු වන පැබ්ලෝ නෙරූදාගේ ජීවිත පවත ය.

 

හඳගම ගේ ඇල්බොරාදා ආදරවන්තයින් ගේ දිනයේ සිට රිදී තිරයට

Alborada

 

මා පළමුවෙන් ම නෙරූදා පිළිබඳ සිංහලෙන් කියවන්නේ 2007 වසරේ දී ය. ඒ, ආචාර්ය තිස්ස අබේසේකර විසින් රචිත ‘‘අයාලේ ගිය සිතක සටහන්’’ කෘතියේ එන ‘වැල්ලවත්තේ දී සක්කිලි ළඳකට පෙම් බැඳි නොබෙල් සම්මානලාභී මහා කවියා’ නමැති ලිපියෙනි. කතුවරයා යොදා ඇති මාතෘකාවට අනුව හැඟෙන්නේ නෙරුදා සැබැවින් ම මෙකී සක්කිලි (මෙතැන් සිට මම ඇගේ නම තංගම්මා ලෙස යොදමි) ළඳට ආදරය කළාය යන්නය; ඇයට ප්‍රේම කළාය යන්න ය. නමුදු අදාළ ලිපිය කියවා අවසන් වන විට නෙරුදා පිළිබඳ ඇති වූයේ ඊට හාත්පසින් ම වෙනස් හැඟීමකි.

 

තිස්ස අබේසේකරගේ ජීවිත කතා ‍පොතට බිරිඳ අසංකා විරෝධය පායි - lanka team

තිස්ස අබේසේකර අදාළ ලිපියේ මෙසේ සඳහන් කරයි.

 

‘‘එතැන් සිට බොහෝ දින ගණනක් නෙරුදා ඇය එන මඟ රැක සිටියේ ය. ඇයව අවනත කරගැනීම සඳහා බොහෝ තෑගි බෝග ඇය එන මගට දැම්මේ ය. එසේ දින ගණනක් ගිය පසු එක් උදයක ඇය ඔහුට අවනත වුවා ය. ඇයගේ අතින් අල්ලාගෙන ඔහුගේ යහන් ගැබ වෙත යාමට ඉඩ දුන්නා ය’’

පිටුව 261

 

මෙම කොටස කියවීමේ දී වුව හැඟෙන්නේ තංගම්මා නෙරුදා සමග යහන්ගත වූයේ ඇගේ කැමැත්තෙන් බව ය. නමුදු එය එසේ නොවන බව පසක් වන්නේ පසු ලිවීමේ දී ය.

 

‘මගේ යහන මත වැතිරුණේ දකුණු ඉන්දියාව පුරා වූ කෝවිල්වල දී මා දැක තිබූ වසර දහස් ගණනක් ඉපැරණි දෙව් පිළිමයකි.’

පිටුව එම

 

මෙම වාක්‍යයෙන් ගම්‍යවන්නේ තංගම්මාගේ රූ සොබාව ය; එය නෙරුදා දුටු ආකාරය ය. තවත් ඉදිරියට කියවාගෙන යන විට දැනෙන්නේ කුමක් ද...?

 

නෙරූදා යට කරන් ගලන කඳුළු ගඟ හෙවත් හඳගමගේ අධියථාර්ථය – කේ.ඩී. දර්ශන – සටහන්‘‘ඒ කළු වන් කළු රුවැති දෙව් පිළිමයත් මාත් අතර වු සම්භෝගය මිනිසකු හා පිළිමයක් අතර වූවක් මෙන් හුදෙක් ඒක පාර්ශවික ව්‍යායාමයක් වූ බව ඔහු පවසන්නේ ඒ අහිංසක සක්කිලි ළඳ වරදින් නිදොස් කිරීමට ද? කිසියම් ශද්ධ වූ වස්තුවක් කෙලෙසුවකුගේ පශ්චාත්තාපය වැනි හැඟීමක් මේ විස්තරය කරන නෙරුදාගේ බසට යටි පෙළක් මෙන් පිවිසෙයි.’’

පිටු 261, 262

 

නෙරුදා සහ තංගම්මා අතර පැවතියේ එකිනෙකාගේ කැමැත්තෙන් සිදුවන සංසර්ගයක් නොවන බව තිස්ස අබේසේකර ද ව්‍යංගයෙන් පවසන බව මෙම කොටසෙන් ප්‍රකට කෙරයි. කතුවරයා නෙරුදා ම උපුටා දක්වමින් යළි මෙසේ ලියයි.

 

‘ඇය හිතින් හා කයින් යන දෙකින් ම මාව පිළිකුල් කළා ය. ඇයට මම දොස් නොකියමි’

‘‘නෙරුදා එසේ පවසන්නේ ආත්ම ශුද්ධිය පතා දෙවියන් ඉදිරියේ සමාව යදින්නෙකු මෙනි.’’

 

පිටුව  262

 

නෙරුදා ‘වරදක්’ කළා යැයි ඔහු ම පිළිගන්නා බව කතුවරයා මෙම වාක්‍යයෙන් ගම්‍ය කරයි. එසේ වුව ද ඔහු යළි නෙරුදා පිළිබඳ පිළිගත නොහැකි ප්‍රකාශයක් කරයි.

 

‘‘පෙර දිග අප විසින් කුලවාදය අනුව යමින් සමාජයේ අග්ගිස්සට තල්ලු කර දමා ඇති මිනිස් වර්ගයක උපන් ළඳක් තුළ දේවත්වයක් දැකිය හැක්කේ ද එම නිසා ම ඇයට ගරු කළ හැක්කේ ද උත්තම කවියෙකුට පමණි.’’

පිටුව  262

 

මෙය සාවද්‍ය ප්‍රකාශයකි. නෙරුදා තංගම්මා තුළ දේවත්වයක් දුටුවා නම් ඇය මත සිය ලිංගික බලහත්කාරය නොයොදනු ඇත. ඔහු ඇය දේවත්වයට නගනවා නොව පාර්වතීගේ (මිනිස් නිමැවුමක) රූපශ්‍රීය ඇගේ සිරුරේ දකියි; එය උත්කර්ෂයට නංවයි. තවත් සරලව පවසන්නේ නම් සුළු මොහොතක වින්දනයක් උදෙසා ඔහුගේ මනසේ ඇඳි කාන්තා රුව තංගම්මාට ආදේශ කිරීම පමණි; එසේ ආදේශ කරගත් කාන්තා රුව තුළින් තාවකාලික වින්දනයක් ලැබීම පමණි. එසේ නම් තිස්ස අබේසේකර පවසන පරිදි නෙරුදා උත්තම කවියෙකු විය හැකි ද...? එමෙන් ම එක් නිශ්චිත මොහොතක හෝ ඔහු ස්ත්‍රී දුෂකයෙකු නොවන්නේ ද...?

 

 

හඳගමගේ සිනමා නිර්මාණය මුදාහැරීමට සමගාමීව ම නෙරුදා විසින් ම රචිත ‘‘ Memoirs’’ කෘතියේ සිංහල පරිවර්තනය වන, සමන් වික්‍රමආරච්චි විසින් පරිවර්තිත ‘‘මට මතක මම’’නම් වූ කෘතිය ද (හඳගමගේ සිනමා නිර්මාණයේ නිෂ්පාදකවරයා ද, මෙම කෘතියේ ප්‍රකාශකවරයා ද එකම පුද්ගලයෙකු වීම ද සුවිශේෂ ය.) එදිනට ම ජනගත කිරීමට කටයුතු යොදා ඇත. අදාළ කෘතිය පිළිබඳ 2021දෙසැම්බර් 08වන දින සිය Facebook ගිණුමේ සටහනක් තබන සමන් වික්‍රමආරච්චි මෙලෙස සඳහන් කරයි.

 

ආදරයට ආදරයෙන් ඇල්බොරාදා…. – Helawood Popcorn‘‘හරියට කළු පාට පිළිමයක් ඇවිදින්නාක් මෙන්මා ලංකාවේදී දැක්ක ලස්සනම ගැහැනිය නිවස පිටුපසට පැමිණියාය. ඇය සැඩොල් කුලයේ දෙමළ ස්ත්‍රියකි. ඇය රතු සහ රන්වන් පාටැති ලාබ සාරියක් ඇඳ සිටියාය. ඇගේ නිරුවත් වළලු කරෙහි බරැති වළලු දමා තිබිණි . ඇගේ නාසය දෙපැත්තෙහි පුංචි රත් පැහැති තිත් දෙකක් දිලිසිනි. ඒවා සාමාන්‍ය ගල් වෙන්නට ඇති. එහෙත් ඔවුනට නම් ඒවා පද්ම රාගය. ඇය සාර සුබාවට වැසිකිළිය වෙත ඇවිද ආවේ මා එතන සිටීම මායිම් නොකොටඇස් කොනකින්වත් මදෙස නොබලමිණි. අනතුරුව ඇය එතනින් අතුරුදන් වූයේ අර ජරා පනිට්ටුව හිස මතින් ගෙනදෙවඟනක මෙන් පා තබමිනි. ඇය කොතෙක් සුන්දර වූවාද යත් ඇගේ රස්සාව කුමක් වුවත් මට මගේ සිතින් ඇය අයින් කළ නොහැකි විය. කුලෑටි කැලෑ සතකු මෙන් ඇය වෙනස්ම වූ ලෝකයකට අයත් අමුතුම කෙනෙකු විය. ඉන්පසුව මම ඇය යන මග සාරියක් හෝ යම් පළතුරු කිසිවක් හෝ ඇයට ගැනීම පිණිස තැබුවෙමි. ඇය ඒ දෙසවත් නොබලා පියමන් කර ගියාය. නිතිපතා සිදුවන එම නීච කාර්ය ඇගේ කළු සුන්දරත්වය විසින් උපේක්ෂා සහගත රැජිනියක යටහත් පහත්ව ඉටු කරන වතාවතක් බවට හරවා ඇත.

 

එක් උදෑසනක මෙහි කෙලවරක් දැකීමට මම තීරණය කලෙමි. මම ඇගේ මැණික් කටුව දැඩිව ග්‍රහණය ට ගෙන ඇගේ ඇස් වලට එබී බැලුවෙමි. ඇය සමග කතා කළ හැකි බසක් නොවීය. සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවාය. ඇගේ සිහිනිගත්පුපුරන්නට තරම් වන පුන් පියයුරුත්ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත . එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඒ මුළු කාලය පුරාම ඇය ඇස් හායි ගා ඇරගෙන සිටියාය. ඇය මා පිළිකුල් කිරීම නිවැරැදි ය. එය නැවත සිදු වූයේ නැත.’’

උපුටා ගැනීම Saman Wickramaarachchi Facebook 2021 දෙසැම්බර් 8

 

මෙම කොටස කියවන ඕනැම පාඨකයකුට හෝ පාඨකාවකට නෙරුදා තංගම්මා වෙත ලිංගික බලහත්කාරකමක් කර ඇති බව ප්‍රත්‍යක්ෂ කරගත හැකි ය. එමෙන් ම මෙහි එන ‘‘සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවාය.’’ යන්න ද පිළිගත නොහැකි ය. නිවැරදිව ම ලියන්නේ නම් ‘‘නිරුවත් වූවා ය.’’ යන්න ‘‘මම ඇය නිරුවත් කළාය.’’ ලෙස නිවැරැදි විය යුතු ය. ‘‘නිරුවත් වූවා ය.’’ ලෙස යෙදීමෙන් ගම්‍ය වන්නේ ඇය සිය කැමැත්තෙන් ඇගේ ඇඳුම ඉවත් කළ බව යි. එම ලියැවිල්ලේ අනෙක් කරුණු දෙස සලකා බැලීමේ දී ප්‍රත්‍යක්ෂ වන්නේ එවැන්නකි කිසි සේත් ම සිදුවිය නොහැකි බවයි. එම වාක්‍ය නෙරුදා ම එසේ ලියා තිබුණේ ද පරිවර්තකයා එසේ ලිව්වා ද යන්න මා නොදනී.

ඇල්බොරාදා පූර්ව ප්‍රචාරක පටය නරඹන්න - Cinema.lk

Alborada

යට සඳහන් තිස්ස අබේසේකරගේ ලියවිල්ලෙන් ද, සමන් වික්‍රමආරච්චිගේ ලියවිල්ලෙන් ද පැබ්ලෝ නෙරූදා ස්ත්‍රී දුෂකයෙක් බව ප්‍රත්‍යක්ෂ වී හමාර ය. ඉදින් එවන් පුද්ගලයෙකුගේ ජීවන පවත පාදක කරගත් සිනමා නිර්මාණයක් සහ සාහිත්‍ය කෘතියක් පෙබරවාරි 14 බඳු දිනක ජනගතකරන්නේ කුමන අරමුණකින් ද යන්න විමසීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ ය. ඒ සදහා සිනමා නිර්මාණකරුවාට සහ පරිවර්තකයාට දිය හැකි පිළිතුරු බොහෝ තිබෙන්නට පිළිවන. නමුදු එය කෙතරම් දුරට සාධාරණිකරණය කළ හැකිද යන්න ගැටලුවකි. මන්ද එබදු පුද්ගලයෙකුගේ ජීවන පුවතක් පාදක කරගෙන නිර්මිත කිනම් හෝ සාහිත්‍ය කලා නිර්මාණයක් ජනගත කළ‍ යුතුව තිබුණේ අදාළ පුද්ගලයාගේ ජීවිතයට සම්බන්ධ (මෙය නියමයක් ම නොවේ) දිනයක ය. එහෙත් ඔහුගේ ජීවිතයට කිසිසේත් ම අදාළ නොවන දිනයක මෙම නිර්මාණද්වය ජනගත කිරීමට කටයුතු යොදා ඇත්තේ හුදෙක් අලෙවිකරණ පදනම මත පමණක් ද යන්න විමසිය යුතු ම ය. එමෙන් එ ඒ සදහා නිර්මාණකරුවන් හෝ නිෂ්පාදකවරයා ‘‘ඔවු’’ යනුවෙන් පිළිතුරු සපයන්නේ නම් එය, එදා (දින වකවානු කොතැනක හෝ සටහන්ව නොතිබුණ ද) නෙරුදා නමැති රාජ්‍ය තාන්ත්‍රිකයාගේ නිල බලයට යට වී ලිංගික බලහත්කාරයකට මුහුණ පෑ තංගම්මා නමැති පිඩිත පංතියේ කාන්තාවට කරන අපහාසයක් යැයි මට හැඟේ. මා එය දකින්නේ උඩුගම්පළ නම් තිරශ්චීන පොලිස් නිලධාරියා විසින් ගෙවිය යුතුව තිබූ වන්දිය රජය විසින් ගෙව්වා හා සමාන ලෙස ය; දොස්තර පෝල් මහතාගේ දියණිය දූෂණය කළ ගෝනවල සුනිල් නමැත්තාට දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සාම විනිසුරු පදවියක් පිරිනැමුවාට සමාන ලෙස ය; දූෂිත දේශපාලකයන් යළි යළිත් පදවි තානාන්තරවල පිහිටුවීමට සමාන ලෙස ය.

 

මෙම ලිපිය මගින් හඳගමගේ සිනමා නිර්මාණය හෝ සමන් වික්‍රමආරච්චිගේ පරිවර්තන කෘතිය පිළිබඳ කිසිදු විවේචනයක් සිදු නොකරන බව ද, එමෙන් ම නෙරුදා නමැති කවියා සහ විමුක්තිකාමියා විවේචනයට බඳුන් නොකරන බව ද පැවසිය යුතු ය. මා විවේචනයට ලක් කරන්නේ හෝ අවධානයට ලක් කරන්නේ ආදරවන්තයින්ගේ දිනය යොදාගනිමින් ස්ත්‍රී දුෂකයකුගේ ජීවිත පවත සම්බන්ධයෙන් වූ නිර්මාණද්වයක් සමාජගත කිරීම පිළිබඳව ය. මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් හට විවිධ අදහස් තිබිය හැකි ය. එම අදහස් ද ඉදිරිපත් කරන්නේ නම් එය ද ඉතා අගනේ ය.

 

Pablo Neruda | Poetry Foundation

පැබ්ලෝ නෙරුදා

 

නිර්මාණකරණයේ යෙදී සිටින පුද්ගලයන් හෝ වෙනත් කිසිවකු පවසන පරිදි ලොව පසිඳු කවියකු වන පැබ්ලෝ නෙරුදා එදා තංගම්මාට අබ මල් රේනුවක තරම් හෝ පෙම් කළා නම් ඇය වෙනුවෙන් කවි පද දෙකක් හෝ ලියන්ට තිබිණ; අවම වශයෙන් ඇය වෙත කළ බලහත්කාරී සිද්ධිය පිළිබඳව හෝ ලියන්නට තිබිණ. මා දන්නා තරමින් (මා කියවා ඇති, නෙරුදාගේ කවිවල සිංහල පරිවර්තන අතර) ඔහු තංගම්මා පිළිබඳව කවියක් පබඳා නොමැත. එමතු නොව මැතක දී නිකුත් වූ අනුරාධා නිල්මිණි කිවිදියගේ ‘‘නාරි සුත්‍රය’’ කෘතියේ එන ‘තංගම්මා’ නිර්මාණය හැර ඇය පිළිබඳ (ඇගේ මානයෙන් හෝ නෙරුදාගේ මානයෙන්) ලියැවුණ කිසිම නිර්මාණයක් මුණ ගැසී නැත.

 

අවසන් වශයෙන් තංගම්මාට උපහාර පිණිස අනුරාධා නිල්මිණගේ කවිය මෙලෙස උපුටා දක්වමින් මෙම ලිපිය අවසන් කරමි.

 

තංගම්මා

‘‘ඉස්පිලි හොයපු ජීවිතය නෙමෙයි පැතුවේ

හැප්පිලි, රැවිලි බෑ, බයාදු මතුවේ

දුක්, කිලි කුණු, රෙදිය, සදාකල් එතුවේ

සක්කිලි ගෑනු උරුමය රැකිය යුතු වේ

 

ලිස්සා වැටෙන විට යළි ආපිට නැඟිට

උස්සා පෝච්චිය මැද, බිම වට, අවට

පස්සා දොරෙනි, ගනු-දෙනු සහ තේ කහට

රස්සාවකි නියම, වැසිකිළි ජනයාට

 

දැල්ල කැමති ලෙස අඩු වැඩි වන එළිය

මැල්ලකොළ මුහුණ, සියොලඟ සියුමැලිය

පැල්ලමකි නොදුටු සඳ මත සෙවණැලිය

වැල්ලවත්තෙ මැදුරකි, ඒ දිය සුළිය

 

නැවෙන් ආපු උතුමෙකි ගරු සරු ය නිකැළැල් ය ජීවිතේ

සොවිනි, තනිකඩ ය, තරුණ ය ඔහු විඳි සතුට මී විතේ

සොයන් අඩු - වැඩිය හිඟ පාඩු ඒ සුදු මුදු පෙළපතේ

කියන්නට ඉඳ හිටෙක වේලු හැර, හිතවතෙක් මට ළඟ නැතේ

 

මාළු මිතුරන් ය වැල්ලෙදි නිතර හමුවන

යාළු බල්ලෙකි ගමන පසු පස්සෙ යන - එන

පාළුවට කැලෙන්, තව මුගටි පැටියෙකු ගෙන

යාළු කරගත්තෙ ඔහු ගමේ පොඩි පොඩි දන

 

දිනක් අලුයමේ අහවරව කාරිය

කෙනෙක් දොර ළඟය උස් හඬිනි ගෝරිය

නිමක් නැති වචන සට - පටස් නාරිය

‘‘තංගො ඒ තමයි සුද්දගේ පෙර බාරිය’’

 

වුණේ මොකද කොයි කල් ද ඒ ගනු දෙනු

අනේ මට මොකට, කිලලෝට රට හුණු

ඉණේ තරම දැන, බැඳිය යුතු දිය ලණු

අතේ පනම, මගෙ මෙහෙය පමණ විමසනු

 

සිනා තාන් නූලෙන් හැඩ කළ සාරී

අනා තල තෙලෙන් බැඳි කඳුරට පූරී

ගෙනා, තෑගි යන, එන මග මඟ නෑරී

ඉනා නොකෑවෙමි, මේ කළු වැඩකාරී

 

බැලුම් විදුලි එළි දැක, දුවමි සැඟවෙමී

කැලුම් අග දැවෙමි, හිත හයිය කරගමී

ඇලුම්, පිරිමි ඇස්, වග, විත්ති හඳුනමී

පුළුන් හුළඟටත්ඇවිළේ ය අදහමී

 

දිනක් උදා විය ඒ දිරිය දියවුණ

දණක් එතූ රතු - රන් සාරි ගිලිහුණ

අණක් බව සිතා ඉල්ලීම, අරමුණ

පණක් නැති කයක් උඩුකුරුව වැතිරිණ

 

උමතු සිප ගැනුම්, තද රිදුම් කෙඳිරිලී

අමුතු බසින් දොඩවන, කෙරෙන ඇවිටිලී

නිමැ’ති නැති හැඟුම් රළු කයක මැසිවිලී

පැවැති මොහොතක ය, මිය ගියේ හසරැලී

 

අඟුරක් කිරි දියක පොඟවා ලිහිල් කර

මුගුරක් නැගෙනු වැනි කය තුළ වරින් වර

සුඟුරක් ලෙසින්, ඒ රමණයට ඉඩ හැර

අඟුරක් මියගියා, මළ මුහුද කෙළවර

 

ඉතින් අහවරයි මහතුන්ගෙ කාරිය

හිතින් මකා යනු මේ අරුම නාරිය

මතින් මිදුණු පසු ලැබ පෙර සිහිය වීරිය

හිසින් වඩම්මනු, ඒ කුණු කිලිටි සාරිය...!’’

 

ප. ලි.

මෙම ලිපිය සඳහා උපුටාගෙන ඇති සියලු කොටස්වල අක්ෂර වින්‍යාසය සහ වෙනත් භාෂාමය යෙදීම් ඒ ඒ කතුවරුන්ට ම අනුව බව සැලකිය යුතු ය.

jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත

2022/02/12

 

සබැඳි පුවත් :

හඳගම ගේ ඇල්බොරාදා ආදරවන්තයින් ගේ දිනයේ සිට රිදී තිරයට

'මට මතක මම' ආදරවන්තයින්ගේ දිනයේ දී එළිදකියි

 

 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58