1200 x 80 DMirror

 
 

සංජේ ලීලා බන්සාලිගෙ අලුත්ම ෆිල්ම් එක ගංගුබායි කාතියවාඩි (Gangubai Kathiawadi) මේ දවස්වල හෝල්වල පෙන්නනවා.



බන්සාලිගේ ෆිල්ම් එකක් නම් ඒක දැවැන්ත තිරයක විසල්ව පැතිරුණු ශබ්ද ඇතුව බලන්න ඕන කියල බන්සාලි රසිකයො දන්නවා. සංජේ ලීලා බන්සාලි කියන්නෙ භාව කලම්බන කතන්දර ඉතාම විචිත්‍ර නර්තනයන්ගෙන්, පසුබිම් තලයන්ගෙන්, සංගීතයෙන්, ඇඳුම් පැළඳුම්වලින් අලංකාර කරලා සිනමාව සුවිසල් අත්දැකීමක් බවට පෙරලන නිර්මාණකරුවෙක්.

ඒ වගේම තමන්වම අභියෝගයට ලක්කරගන්නා අධ්‍යක්ෂවරයෙක්. මේ විසල් සිනමාව ගැන තමන්ගේ ට්‍රේඩ්මාර්ක් එකම චැලෙන්ජ් කරමින් බන්සාලි බ්ලැක් වගේ චිත්‍රපටියක් කරනවා. ඒක අඳ ගොළු බිහිරි ශිෂ්‍යාවක් සහ ඇල්කොහොලික් ගුරුවරයෙක් ගැන.

 

Mafia Queens of Mumbai - Wikipediaමේ පාර එයා සමාජ සදාචාර ආඛ්‍යානය අභියෝග කරමින් සිනමා බෝම්බයක් පත්තු කරනවා. ඒ තමයි ඉන්දියාවෙ බිහිවුනු ප්‍රචණ්ඩතම ගැහැණියක් වූ ගංගුබායි ගේ කතාව. මේ කතාව බන්සාලි ගන්නෙ හුසේන් සහීද් ලියන ‘මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බායි’ පොතෙන්. ඒ පොතේ ගංගු ඇතුළු තවත් කාන්තා චරිත 13ක් ගැන සහීද් ලියනවා.

 

Gangubai Kathiawadi movie review: Alia Bhatt shines in Sanjay Leela  Bhansali's tale of pain and rage turned into victory | Bollywood -  Hindustan Times

බන්සාලිගෙ ෆිල්ම් එක හැදෙන්නෙ 1960 ගණන්වල කාමාතිපුරයෙ ගංගුබායි කාතියවාඩි ගැන. කාමාතිපුර කියන්නෙ මුම්බායිවල රතු පහන් වීදිය. ගණිකා නිවාස වලින්ම සැදුම් ලත් පුරයක්. විවිධ පලාත්වලින් ළාබාල කෙල්ලන්ව විවිධාකාරයෙන් රවට්ටගෙන ඇවිත් අඩු ගනංවලට කාමාතිපුරයෙදි මේ ගණිකා නිවාසවලට විකිණෙනවා.

ගංගු එන්නෙ එයාගෙ පෙම්වතා එක්ක. එයාව චිත්‍රපටි නිළියක් කරනවා කියල පොරොන්දු පිට රහසේ පන්නගෙන ඇවිත් රුපියල් පන්සීයකට කුන්ටන්කනාවකට විකුණනවා. කුන්ටන්කනා කියන්නෙ ගණිකා නිවාස හඳුන්වන වචනය.

මේක ඒ කාලෙ ඉතාම සාමාන්‍ය දෙයක්. කාමාතිපුරයට එන කිසිම කෙල්ලෙකුට ආපහු යන්න පුළුවන්කමක් නෑ. ඒ දොරවල් අගුළු දාලා හින්ද නෙමෙයි. ඒ පුරයේ රාත්‍රියක් ගත කළ කිසිම දියණියක් ආපහු පවුලට වද්දාගන්න කිසිම දෙමව්පියෙක් කැමති නෑ.

 

මෙන්න මෙතන සළකුණු වෙනවා සමාජයේ අපචාරයන්ට ගොදුරු වන අය ගැන සාමාන්‍යයෙන් නොකියවෙන ඇත්තක්. ඒ තමයි අපචාරය රඳා පවතින්නෙම, නඩත්තු කරන්නෙම සදාචාරය විසින් කියන එක. ඒ සදාචාරය තමයි මේ දියණියන්ට ගණිකාවන් වෙන්න ඉරණම සකස් කරන්නෙ. අපචාරය කියන්නෙම සදාචාරයේ නිර්මාණයක්.

 

ගංගු තමන්ගේ නිළියක වීමේ සිහිනයෙන් ගණිකාවක් වීමේ යතාර්ථයට ඇහැරෙනවා.

චිත්‍රපටිය පටන් ගන්න සීන් එකෙන්ම මං බන්සාලිගේ මැවුම්කාරීත්වයට වසඟ වුනා. පුංචි කෙල්ලෙකුගේ නහය විදලා තෝඩුවක් දාන සමීප රූපයක්. ඒ තෝඩුව ඇය ගණිකාවක් බවට ලකුණක්. ගණිකාවක් වීම ප්‍රතික්ෂේප කරන අය කාමරයක ලා අගුල් ලා තැබීම සිරිතක්. එයිනුත් නම්මාගත නොහැකි අය මුනගැහෙන්න එනවා චරිතයක්. එයා තමයි කුප්‍රසිද්ධ ගංගුබායි.

Alia Bhatt, Ajay Devgn in 'Gangubai Kathiawadi': Watch First Trailer -  Variety

ගංගුබායි මේ පොඩි කෙල්ලට කතා කරන්නෙ මෙතනින් ගැලවී යන්න නෙමෙයි. අලුත් ජීවිතේට මූනදෙන්න. එයාට තියෙනවා තෝරාගැනීම් දෙකක්. එක, ගණිකා වෘත්තියෙන් ඉහලට යාම. දෙක, ජීවිතය නැති කරගැනීම. අනුකම්පාවෙන් කඩාහැලෙන ගැලවුම්කාරියක් වෙනුවට ජීවිතය තමන්ට දෙන්නෙ ලෙමන් නම් ඉන් ලෙමනේඩ් හදාගන්න දන්න යකඩ ගැහැණිය බන්සාලි අපිට හඳුන්වාදෙනවා.

ගංගු ගණිකා නිවාසයට ඇවිත් මුල්කාලෙ දාමරිකයෙකුගේ දරුණු අතවරවලට ලක්වෙනවා. ගණිකා නිවාස පරිපාලිකාවන් ඒ ජීවිතවලට වගකියන්නෙ නෑ. ඉන් වැඩි මුදලක් උපයාගැනීම හැර වෙන කිසිම වෘත්තිමය ආචාර ධර්මයක් එතන නෑ.

 

ගණිකාවන් කියන්නෙ සමාජයෙන් පිටමං කළ ජීවිත. ඔවුන්ව රිසිසේ පරිහරණය කරන්න, උවමනා නම් මරාදැමීමෙන් වුනත් තෘප්තිමත් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ගණිකාවක් මරා දැමීම සමාජයට සේවයක් විදිහටයි සදාචාර සමාජය සලකන්නෙ. හරියට ලංකාවෙ හිරකාරයෙක් මරා දැමීම ගැන පවතින බහුතර සමාජ ප්‍රසාදය වගේම.

 

ගංගු, කරීම් ලාලා කියන පාතාල නායකයා මුනගැහෙන්න යනවා. දාමරිකයා කරීම් ලාලාගේ ගෝලයෙක්. කරීම් කියන්නෙ ඒ කාලෙ හිටපු ලොකුම මාෆියා චරිත තුනෙන් එකක්. කරීම් ගංගු ගැන අනුකම්පාවෙන් එයාව නංගි කෙනෙක් විදිහට බාරගන්නවා. අර දාමරිකයාව දමනය කරලා ගංගුගෙ නිර්භීතකමට දොරවල් ඇරලා දෙනවා.

බන්සාලි පෙන්නන්නෙ අරක්කු ජාවාරම විතරක් වුනාට ගංගුබායිගෙ සැබෑ චරිතය සියලු ආකාරයේ පාතාල වැඩ මතින් ගොඩනැගෙන්නක්. පළාතෙ දේශපාලකයන්, පොලිසිය වගේම ජාවාරම්කාරයන් සමගත් ඇගේ සම්බන්ධතා කිට්ටුයි. හැබැයි ඒ හැම මැර වැඩක් යටින්ම ඇගේ සැබෑ උවමනාවක් දිවෙනවා. ඒ තමයි කාමාතිපුරයේ ගැහැණුන්ට ආත්ම ගරුත්වයක් ඇති ජීවිතයක් නිර්මාණය කිරීම.


Alia Bhatt On Gangubai Kathiawadi And Becoming 'The Sanjay Leela Bhansali  Heroine' | Film Companion

ගංගුබායි කාමාතිපුරයේ සභාපති වෙනවා. එයා පුරවැසි වෙසඟනන්ට කාරණා තුනක් ඉදිරිපත් කරනවා.


1. ලෝකෙම හිතන්නෙ අපි වංකයි කියල. කවුරු කොහොම හිතුවත් අපි කරන වැඩේට අවංක වෙන්න ඕන.
2. මලක් වුනාම කනත්තක වුනත් සුවඳ දෙන්න ඕන. ඒ වගේ තමන් ගණිකාවක් වුනත් තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳින් සංග්‍රහ කරන්න ඕන.
3. කිසිම කෙනෙකුට ඔලුව නමන්න ඕන නෑ. අත්මාභිමානයෙන් යුතුව ජීවත් වෙන්න ඕන.


සෙන් ඇන්තනීස් උසස් බාලිකා විදුහල ආසන්නයේ පවතින හින්ද කාමාතිපුරයේ ගණිකා නිවාස ඉවත් කරන්න ආගමික සංස්ථා ප්‍රමුඛ සදාචාරවාදීන් උත්සාහ කරනවා. එතනදි මේ විදුහල වසර විස්සක් පරණයි කියල විදුහල්පති තැන්පත් පියතුමා කියනවා.

‘ඔබේ විදුහල අවුරුදු විස්සක් පරණ වෙද්දි කාමාතිපුරයේ අපේ රස්සාව අවුරුදු සීයක් පරණයි ෆාදර්’ ගංගුබායි උත්තර දෙනවා.

 

මේක ලංකාවෙත් කොයිතරම් හුරුපුරුදු තත්වයක්ද? ලිංගික නිදහසට, අයිතියට වැට බඳින්නෙම අධ්‍යාපනය, ආගම වගේ සදාචාර පවුරු පාවිච්චි කරමින්. මේ සියලු දේවල් සේවය කරන්නෙ පවතින සදාචාර පද්ධතියට මිස සැබෑ මිනිස් ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙමෙයි. මනුස්සයන්ව සමාජයෙන් පිටමං කරන, වෙන් කරන, අපචාරීන් කරන සදාචාරයකින් ඇති වැඩක් නෑ. සදාචාරයේ කාර්යය විය යුත්තේ මනුස්ස ජීවිතය පූර්ණව වැළඳගැනීමට හැකි සාමූහික අවකාශයක් නිර්මාණය කිරීමයි.

 

පුවත්පත් වාර්තාකරුවෙකුගේ උදව්වෙන් ගංගුබායි කාන්තා දිරිගැන්වීමේ සමුළුවක කතාවක් කරන්න අවස්ථාවක් ලබනවා.

‘ලෝකයේ පැරණිතම වෘත්තිය ගණිකා වෘත්තියයි. ඒ තමයි අපේ උරුමය. ගණිකාවො වෙන අපි හින්ද තමයි වැදගත් කාන්තාවන් වන ඔබලාගේ අභිමානය රැකිලා තියෙන්නෙ. අපි හින්ද තමයි ඔබලාගේ වැදගත් මහත්තුරුන්ගේ වැදගත්බව රැකිලා තියෙන්නෙ. අපි කරන්නෙත් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් හා සමානම වැදගත් වෘත්තියක් බව තේරුම් ගන්න. ගණිකාවො වන අපි නැත්නම් ඔබලාට ශිෂ්ට සමාජයකුත් නෑ’ (මීට සමාන අදහසක්)


Who was Gangubai Kathiawadi, played by Alia Bhatt in Sanjay Leela  Bhansali's movie?

ගංගුබායිගේ මේ කතාව මාධ්‍යවලින් ඇවිලිලා යනවා. ඇයට ජවහල්ලාල් නේරු මුනගැහෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ ඒ හින්ද. නේරු මුනගැහෙන ඇය ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියල ඉල්ලනවා. ගණිකාවන්ට අභිමානයක් ඇතුව තමන්ගේ රැකියාව කරගෙන යාමේ අයිතිවාසිකම් ඉල්ලනවා.

‘ඔයාට පුළුවන්නෙ ඔය රස්සාව අතෑරලා හොඳ කෙනෙක් කසාද බඳින්න’’ නේරු ගංගුබායිට කියනවා.

‘එහෙනං ඔබතුමා මාව බිරිඳ කරගන්නවද?’ ගංගුබායි අහන ප්‍රශ්නෙට නේරුට උත්තර නැති වෙනවා.

‘කියන්න ලේසියි අගමැතිතුමා. කරන්න තමයි අමාරු නේද?’

ගංගුබායි ගැන නේරුට ලොකු පැහැදීමක් ඇති වෙනවා. තමන්ගේ කෝට් එකේ තිබුණු රෝස මල එයා ගංගුබායිගේ කොණ්ඩෙ ගහනවා.

මේ දර්ශනය අයින් කරන්න කියල වාරණ මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා. ඒ හින්ද දැන් චිත්‍රපටියෙ තියෙන්නෙ මල අතට දෙන දර්ශනයක්.

කාමාතිපුරයේ ගණිකා නිවාස ඉවත් නොකර පවත්වාගෙන යන්න නිදහස ගංගුබායි දිනාගන්නවා. ගණිකා නිවාස ඉදිරියේ ඇගේ ප්‍රතිමා පවා ඉදිවෙනවා. ඇය තමයි කාමාතිපුර ගණිකාවන්ගේ ‘අම්මා’ වෙන්නෙ.


මේ චිත්‍රපටිය කොහෙත්ම ලිංගිකත්වය කියන්නෙ නරක දෙයක් කියන ඇහින් බලන එකක් නෙමෙයි. මේ කාලෙ සියලු ස්ත්‍රීවාදී කතිකාවන් විසින් යෝජනා කරන්නෙ කාන්තාවන් පිරිමින්ට ගොදුරු වන දුර්වලයන් විදිහට දකින්නත්, ඒ නිසා පිටත සමාජයේ ඔවුන් ගලවාගන්නා ගැලවුම්කාර වොරියර්ස්ලා නිර්මාණය කරන්නත්. 


ඒත් ගංගුබායි යෝජනා කරන්නෙ ලිංගිකත්වයේ අයිතිය වැළඳගැනීම. ගැහැණිය ශක්තිමත්ව ජීවිතයට මුහුණ දීම. ඇගේ විමුක්තිය ඇගේ අතට පවරාගැනීම. ඒක මුල්කාලීන මායා ඇන්ජලෝලගේ පරපුරේ සැබෑ ස්ත්‍රීවාදී කතිකාවට සම්බන්ධ එකක්.


ඒ වගේම ඉතිහාසය නිවැරදි කරන්න, එයින් යුක්තිය ඉල්ලන්න හදන නිර්මාණයකුත් නෙමෙයි මේක. ලන්ඩනයේ නගර ඉදිකළ පැරණි වහල් හිමියන්ගේ ප්‍රතිමා පෙරලා දමා, අතීතය වෙනුවෙන් යුක්තිය පසිඳලන නූතන යුගයක් නිර්මාණය කිරීමේ ළදරු වළිප්පුවෙන් මිදී ජීවිතය පැත්තෙන් පරිණත දැක්මක් චිත්‍රපටිය යෝජනා කරනවා.


තමන්ගේ පීඩිත අතීතය, තමන්ට සිදුවුනු ආසාධාරණය තමන්ගේ අයිතියක්, ශක්තියක් කරගෙන නැගී සිටීමේ හැකියාව ගංගුබායි සනාථ කරනවා. ඒක වෛරයේ පණිවුඩයක් නෙමෙයි. ඒ වෙනුවට ඉන්ස්පිරේෂන් එකක්.

මේ කතාව අපිට ඇහෙන්නෙ සදාචාර සමාජය පැත්තෙන් නෙමෙයි. එයින් පිටමං කළ, අපචාරී යැයි හංවඩු ගැසූ ගැහැණියකගේ පැත්තෙන්. ඒකයි මේ එළඹුමේ වෙනස.

Gangubai Kathiawadi'' Telugu teaser: Alia Bhatt's powerful performance as  Gangubai will give you goosebumps instantly | Telugu Movie News - Times of  India

ආලියා බාත්ගේ රංගනය රෝමෝද්ගමනය කරනසුලුයි. අජේ දේව්ගන් හිටියට ඒ තරම් දිගහැරෙන චරිතයක් එයාට පැවරී නෑ. සෑම තැනකම කැමරාව යොමුවෙන්නෙ ගැහැණු ජීවිතය පැත්තට.

බන්සාලිගේ සංගීතය භාවිතා කිරීම සහ නර්තනයන් යොදාගැනීමේ නිර්මාණශීලීත්වය හොඳටම කැපී පේනවා. ඒ වගේම ගණිකා නිවාස සම්බන්ධ කතන්දරයක් නිසාම විශාල පරාසයක ගැහැණු චරිත අපිට චිත්‍රපටය තුල මුනගැහෙනවා. එකකට එකක් වෙනස් ජීවිත, වෙනස් සිහින, වෙනස් පැවතුම් ඇති ගැහැණුකම ඇතුලෙන් ගංගුබායි ස්ත්‍රීත්වය පිළිබඳ සුවිසල් කැඩපතක් මවනවා.

තමන්ගේ මවගේ චරිතයට හානිකරන නිසා මේ චිත්‍රපටය මුදහැරීමට ඉඩ නොදෙන්නැයි ඉල්ලා ගංගුබායිගේ හදාගත් පුතෙක් කියන කෙනෙක් ගිහින් අධිකරණයෙ නඩුවක් දානවා. නමුත් උසාවිය මේ නඩුව ප්‍රතික්ෂේප කරමින් චිත්‍රපටය නිදහස් කිරීමට අවසර දෙනවා.

”මේ රට ප්‍රකාශනයේ නිදහස ගරු කරන රටක්. එයට සම්පූර්ණයෙන් බලය දෙන රටක්. අපිට කිව යුතු කිසිම දෙයක් කීමට බාධාවක් මෙතෙක් මේ රටේ පැනවී නෑ. අපිට මේ දේ කියන්න කියල කිසි දවසක කියලත් නෑ. ඒ නිදහස තනිකරම අප සතුයි’’ බන්සාලි නඩු තීන්දුවෙන් පස්සෙ මාධ්‍යවලට කියනවා.



චින්තන ධර්මදාස (Author of Faculty Of Sex)(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58