theleaderlk 01


තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම වළක්වන අතුරු නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද(18) ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.

ඒ , පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ,  කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට පවසමින් ය.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රැඳවුම් නියෝග නිකුත් කිරීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම ගොනු කර තිබුණේ, නීතිඥ මංජුල බාලසූරිය මගින් ය.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, නිර්නාමික පෙත්සමක් මත කරන ලද බව කියන කූඨ විමර්ශන වාර්තාවකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති අදාළ බී වාර්තාව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

යම් හෙයකින් තමන් අත්අඩංගුවට ගතහොත් වහාම මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදල් ලබා දෙන ලෙස ද පෙත්සම්කාර ශානි අබේසේකර සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එහි කාන්තා පොලිස් පරීක්ෂක නිරෝශනී පතිරණ, ඇතුළු දහහතර දෙනෙකු නම් කර තිබේ.

එම වාර්තාව මත තමන් කවර හෝ අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ සූදානමක්  ඇති බැවින් ඉන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි බවට පෙත්සම මගින් ශානි අබේසේකර පෙන්වා දී තිබේ.

 (News 1st)

 

Leader Whats app