බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කිරීමට එරෙහි දෙමළ ජන විරෝධය හමුවේ ජනාධිපති මුනිවත රකිද්දී, වට්ටුවාකල් ගෝඨාභය නාවික කඳවුරට ඉඩම් අල්ලා

ගැනීමේ මෙහෙයුම් යළි අරඹා තිබේ.

''සමහර ඉඩම් හිමියෝ තමන්ගේ ඉඩම් වලට වන්දියක් හෝ විකල්ප ඉඩමක් ලබා ගන්න දැනටමත් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒත් බහුතරයක් තමන්ගේ ඉඩම් ආණ්ඩුවට දෙන්න කැමති නැහැ. ඒත් නාවික හමුදා කඳවුරට අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඉදිරියට කරගෙන යනවා,'' යැයි මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන් පවසයි.

 දිස්ත්‍රික් ලේකම්ට අනුව වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුර සඳහා අයැදුම් කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 671 කි. ඉන් ඉඩම් අක්කර 292 ක් රජයේ ඉඩම් වලින් සපුරා ගෙන ඇති අතර ඉතිරි අක්කර 379 ලබා ගත යුත්තේ පුද්ගලික ඉඩම් හිමියන් 35 දෙනකුගෙනි. ඉඩම් හිමියෝ 23 දෙනෙක් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව විරෝධය දක්වති.

 

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිකම් කළ 2014 වසරේ දී මුලතිව්, වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුරට ඉඩම් පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

2018 පෙබරවාරි මාසයේදී ඉඩම් මැනීමට එහි ගිය මිනින්දෝරුවන්ට ඉඩම් හිමියන් ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ, නාවික හමුදා ආරක්ෂාව යටතේ පසු බසින්නට සිදුවිය.

මිනින්දෝරුවන්ට බාධා කරමින්, ඔවුන් පැමිණි වාහනයට අලාභානි කිරීම හා ගෝඨාභය නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම යන චෝදනා යටතේ දෙමළ ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්.කේ.සිවාජිලිංගම්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිකරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික, එම පක්ෂයේ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික  පීටර් ඉලන්චේලියන් සහ මුලතිව් දිසා ධීවර සමිති සම්මේලනයේ  ක්‍රියාකාරී නායකයකු වන අන්නලිංගම් ෂන්මුගලිංගම් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර පසුව නඩු පවරා තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් සිව් වසක් පුරා ඇදෙමින් තිබෙන මෙම නඩුව අවසන් වරට කැඳවූ ඉකුත් පෙබරවාරි 8 වැනිදා, මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා නියෝග කළේ ජුලි 26 දක්වා නැවතත් කල් තැබීමටයි.

 

ගෝඨාභය කඳවුර සඳහා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම 2021 අගෝස්තුවේ දී යළිත් ආණ්ඩුව සුදානම් වීමේදී උතුරේ දේශපාලඥයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන් හා ඉඩම් අහිමිකර ඇති ප්‍රදේශවාසින් එකතුව මුලතිව් පරන්තන් මාර්ගය හරස් කරමින්, ගෝඨාභය නාවික කඳවුර ඉදිරිපිට වාඩි ලා දැක්වූ විරෝධය හේතුවෙන් එය හකුලා ගැනීමට සිදුවිණි.

 

''මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 627,917 ක්. යුද්ධයට කලින් අක්කර 21,017 ක ඉඩම් ප්‍රමාණයක් මුලතිව්  ජනයා සතුව තිබුණා. දැන් ඒ ප්‍රමාණය අක්කර 16,025 ක් දක්වා අඩුවෙලා තියෙනවා. කැළෑ ප්‍රදේශ ලෙස වෙන්කරලා තියෙන අක්කර 420,300 ක් හැරුණම ඉතිරි සියල්ලම මේ වෙනකොට ආණ්ඩුව  විසින් අත්පත් කරගත් ඉඩම්,'' යැයි පෙන්වා දෙන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන් පවසන්නේ, රජයේ ආරක්ෂක හමුදාවලට අමතරව පුරාවිද්‍යා, වන ජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හා මහවැලි අධිකාරිය ඇතුළු ආයතන රැසක් බලහත්කාරී ගැසට් නිවේදන මගින් ඉඩම් අත්පත් කරගැනීම් සිදුකරන බවයි.

 උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල ආණ්ඩුව විසින් ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ගැන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත යොමු කළ ලිපියට වසරක් ගතවීත් මෙතක් පිළිතුරක් ලබා නොමැති බව එම පක්‍ෂය නිවේදනය කර තිබේ.

 බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව සියලු දෙමළ දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ එක්ව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පසුගිය දා උද්ඝෝෂණයකද නිරත වූහ.

 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්