''රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපගේ අනාගතය වෙනුවෙන් නොව රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්''

යයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

''ඒ සඳහා අද පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් සියලු පක්ෂ සමඟ රජය සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ප්‍රකෘතිමත් වීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බැවින් අප සියලු දෙනා එකඟතාවකට පැමිණීම අතිශයින් වැදගත් '' යයි ද හිටපු අගමැතිවරයා පවසයි.

ඔහු එබව කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර තිබිණ.

 

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ තීරණ ගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා රජයට යෝජනා කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබිය.

 

එසේවුවද, මෙම සමුළුවට සහභාගී නොවීමට ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කර තිබිණ.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය , එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් ඊට සහභාගී වි සිටියේය.

ආණ්ඩු බලය හිමි පොහොට්ටු පක්ෂයේ නියෝජිතයින් මෙන්ම, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් 'ලංකා සමසමාජ පක්ෂයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවී සිටියහ.


කබ්රාල්ගේ කතාවට රනිල්ගේ විරෝධය


ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දැක්විය. එහිදී ඔහු මෙම අර්බුදය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට චෝදනා කළේය.

 

මහ බැංකු අධිපතිගේ කතාවෙන් පසු නැගී සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර සිටි අතර මේ අවස්ථාවේදී දේශපාලන ගැටුම් ඇතිකර ගතහොත් සර්ව පාක්ෂික සමුළුව කැඳවීමේ අරමුණ ආරම්භයේදීම බිඳවැටෙන බව කියා සිටියේය.

 

"මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න.


'' විජය ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි''


අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ.

මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ.

තව එකක් තියෙනවා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත් ... මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු." යයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසිය.


ජනාධිපති සමාව ගනී !


එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ගෙන් සමාව ඉල්ලා සිටියේය.

"ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා." ජනාධිපතිවරයා පැවසිය.



''අපි මුහුණ දෙන ප්‍රශ්න දෙක තමයි ඉදිරි වසර 2 තුළ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය තහවුරු කිරීම.'' - රනිල්


සමුළුව ඇමතු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කළේය.


නිදහස් වෙළඳපොල ආර්ථිකයෙන් නිර්මාණය කල මධ්‍යම පන්තිය රජයේ පසුගිය වසර දෙකේ (2) ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්  ආපසු හැරී ඇති බව දක්නට ලැබේ .

නිදහස් වෙළඳපොල ආර්ථිකයේ විකෘති කිරීම් හේතුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනයට බාධා ඇති විය.

අපගේ කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටී ඇති අතර එය සැකසුම් කර්මාන්තයට බලපා ඇත.

මෙම ප්‍රතිපත්ති හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් 25%කට ආසන්න ප්‍රමාණයක ව්‍යවසායන් නැවතී ඇති බව අපි දකිමු.

 

රට පුලුල්ව පැතිරුනු විරැකියාවට සහ ඉහල යන ජීවන වියදමකට මුහුන දී සිටින අතර එම නිසා සාගින්න සහ මන්දපෝෂණය ද වැඩි වෙමින් පවතී. මිට අමතරව දළ දේශීය නිෂ්පාදිතයට රටේ ණය අනුපාතය 119% දක්වා ඉහළ ගොස් ඇත.

 

ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවම වශයෙන් වසර 5ක් ගතවනු ඇත. අපි මුහුණ දෙන ප්‍රශ්න දෙක තමයි ඉදිරි වසර 2 තුළ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය තහවුරු කිරීම.

ආර්ථීක ප්‍රතිපත්ති ආපසු හැරවීම නිසා විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ දමා ඇත.

මේ හේතුවෙන් අපේ තරුණ තරුණියන් විශාල පිරිසක් රට හැර යමින් සිටිනවා .

 

හානිය ආපසු හැරවීමට ඇති එකම මාර්ගය වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තියට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් සම්මුතියක් තිබේ නම් පමණි. දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, අප ක්‍රියා කළ යුත්තේ මෙම රාමුව තුළ ය.

 

රට සඳහා වන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුය. මෙය විවෘත සංවාදයක් විය යුතු අතර එහිදී රජය පෙරමුණ ගත යුතු අතර විපක්ෂය ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතුය.

 රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වනතුරු අපි දැකලා නැහැ. අදාළ දත්ත අපට ලබාදීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

 

කෙටි කාලීනව අපි එක්ව ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ යුතුයි, එසේ නොවුණහොත් රට ගැන ජනතාවට තිබෙන විශ්වාසය නැති වෙනවා.

 

විදේශ විනිමය හිඟය සහ විදේශ ණය ප්‍රතිනිර්මාණය කිරීම


අපගේ විදේශ විනිමය හිඟය සමඟ කටයුතු කිරීම සහ අපගේ විදේශ ණය ප්‍රතිනිර්මාණය කිරීම යන ක්ෂණික කාර්යයන් දෙකකට රට මුහුණ දී සිටී.

රජයක් විදේශ ණය උපලේඛනගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇත.

 

විස්තීරණ අරමුදල් පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළ හැකි අය මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සිටිති. නමුත් ණය නැවත සකස් කළ හැකි කිසිවෙක් නැත. මූල්‍ය ආධාර සහ නීතිමය සහය පිළිබඳ විශේෂඥ දැනුම ලබා දිය හැකි ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් අප ලබාගත යුතුය. මූල්‍ය විශ්ලේෂණ පිළිබඳ විශේෂඥයන්ගේ සේවය ද අපට අවශ්‍ය වේ.

 

මෙම සේවාවන් ශ්‍රී ලංකාවෙන් පිටත ලබා ගත යුතුය, මන්ද අපට හොඳම දේ අවශ්‍ය වනු ඇත. මෙම සමාගම් තෝරා ගැනීමේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් සිදු කළ යුතු අතර, මෙය තවත් ප්‍රශ්නකාරී තේරීම් ක්‍රියාවලියක් නොවිය යුතුය.

පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගනිමින් රජය තෝරා ගැනීමේ නිර්ණායක නියම කළ යුතුය. මෙය තනි පුද්ගලයෙකුගේ අතේ තැබිය නොහැක.

මූල්‍ය නීතියේ 5 වැනි වගන්තියේ සඳහන් වන්නේ “ආර්ථික සහ මිල ස්ථායිතාව” සහ “ස්ථාවර මූල්‍ය පද්ධතියක්” සහතික කිරීමේ වගකීම මහ බැංකුව සතු බවයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය මෙම අරමුණු ඉටුකර ගැනීමට අසමත් වී ඇත.

 මුදල් අමාත්‍යාංශයේ මාසික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දැනට ක්‍රියාත්මක වන අත්තනෝමතික හිඟ මූල්‍යකරණය වැළැක්වීම සඳහා මහ බැංකුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අධීක්ෂණ කාර්යභාරයක් පැනවීමට නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

 

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකම උපාය මාර්ගයකට අනුගත විය යුතු අතර ප්‍රසිද්ධියේ එක හඬින් කතා කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව නම් කරන පුද්ගලයා මුදල් අමාත්‍යවරයා වන බැවින් මුදල් අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතුය.

 

නව විනිමය අනුපාත බැංකු මත පීඩනයක් ගෙන ඇත. පුද්ගලික බැංකු මේ වන විට ඩොලර් ණය විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින අතර රාජ්‍ය බැංකු රාජ්‍ය සතු ව්‍යවසායන් කිහිපයක විශාල විදේශ ණය ගෙන යමින් සිටී.

ඩොලර් ණය වත්මන් විනිමය අනුපාතිකයට පරිවර්තනය වීම නිසා බැංකුවල ශේෂ පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබේ. බැංකු ක්‍ෂේත්‍රය බිඳවැටීමේ අසන්න මොහොතක සිටින අතර, කඩාවැටීම වැළැක්වීම සඳහා බැංකු සඳහා ආරක්‍ෂිත දැලක් සම්පාදනය කිරීමට රජය සහතික විය යුතුය.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස මිල ගැලපීම ජනතාව මත විශාල බරක් පටවා ඇත. ඒ නිසා මහජනතාවට සහන සැලසීම අත්‍යවශ්‍යයි.

 

IMF විසින් "සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් නිර්දේශ කර ඇති අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කරන ලද, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැල් හරහා දරිද්‍රතාවය අඩු කිරීම" නිර්දේශ කර ඇත.

 

IMF සමඟ සාකච්ඡා සඳහා අවම වශයෙන් මාස හයක් (6) ගතවනු ඇති අතර, ඉන්දියානු ක්‍රෙඩිට් ලයින්ස් වෙතින් ලැබෙන සහන ප්‍රතිලාභ මැයි මස මුල් සති දෙකෙන් ඔබ්බට නොයනු ඇත. IMF සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන තෙක් ඉතිරි මාස හතර සඳහා රජය අරමුදල් සොයා ගත යුතුය.


''අපට ඇත්තේ එකම විකල්පයකි''


අපට ඇත්තේ එකම විකල්පයකි, එය නම්, සම්මුතියක් පිහිටුවා මූල්‍ය ආධාර ඉල්ලා සිටින සහ නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට උපකාර කළ හැකි මිත්‍ර ජාතීන් කිහිපයක් වෙත ළඟා වීමයි.

 මෙම රටවලට ඉන්දියාව, ජපානය, චීනය සහ IMF සමඟ එක්ව වැඩ කරන යුරෝපීය සංගමය (EU) ඇතුළත් විය යුතුය. 2002 සිට 2004 දක්වා කාලය තුළ ආර්ථිකය කඩා වැටී සාම සාකච්ඡා පවත්වමින් සිටියදී අපට එවැනිම එකමුතුවක් තිබුණා.

මෙම රටවල් සමඟ අපගේ සබඳතා පළුදු වී ඇති අතර, මෙය ප්‍රධාන වශයෙන් ස්වයං-ප්‍රේරකයකි. ඉන්දියාව සහ ජපානය සමඟ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට රජය තීරණය කළා, මේවා විසඳිය යුතුයි.


චීනය සමඟත් විසඳා ගත යුතු ප්‍රශ්න


ඒ වගේ ම මේ රජය චීනය සමඟත් විසඳා ගත යුතු ප්‍රශ්න ඇති කර තිබෙනවා. යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ බැවින් එම උත්සුකයන් සමඟ කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීමට වහා පියවර ගත යුතුය. රජයට එසේ කළ හැකි නම්, විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා රට කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වන බව අපට පෙනෙනු ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය මගින් රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට පවරා ඇත; කෙසේ වෙතත් මෙතෙක් පාර්ලිමේන්තුව නොසලකා හැර ඇත. අදාළ සියලු වාර්තා ලබා දෙන අතරම, සියලු වර්ධනයන් පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.

 

කෝප්, කෝපා ඇතුළු රාජ්‍ය මූල්‍ය කමිටු ශක්තිමත් කළ යුතුයි. එසේම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාසිකව පාර්ලිමේන්තුව ඇමතීමේ වගකීම මුදල් අමාත්‍යවරයා විසින් භාරගත යුතුය. අවශ්‍ය නම් මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් ද පිහිටුවිය යුතුයි.

ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය පාර්ලිමේන්තුව යළි විශ්වාසයට ගත යුතු අතර එසේ නොවුණහොත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වනු ඇත.

අද පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් සියලු පක්ෂ සමඟ රජය සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ප්‍රකෘතිමත් වීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බැවින් අප සියලු දෙනා එකඟතාවකට පැමිණීම අතිශයින් වැදගත් ය.

මේ ක්‍රියාමාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපේ අනාගතය වෙනුවෙන් නොව රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්.

 

 

The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 

 

Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්