1200 x 80 DMirror

යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ජනයාට දේශපාලන විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකාව විසින් අලුතින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව උතුරේ ජනතා

නියෝජිතයන් කිහිප දෙනෙක්ම කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනියට පවසා තිබේ.

ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් ඇයට දැනගන්නට ලැබී ඇත්තේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට ඩයස්පෝරා මුදල් ලබා ගැනීම සඳහා නීතිමය බාධා ඇති බවයි.

උතුරේ  සංචාරයක නිරතව සිටින කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ට දෙමළ ජනතා නියෝජිතයන් අලුත් ජිනීවා යොජනාවක අදහස ඉදිරිපත් කොට ඇත්තේ අප්‍රේල් 26 වැනි සඳුදා හවස පැවැති සාකච්ඡාවකදීය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සී.වී විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තානාපතිනි ජුලි චංග් එහිදී පවසා ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම ඇමරිකන් රජයට පැහැදිලි කර 'හොඳ විසදුමක්' ලබා දීමට තමන් උත්සාහ ගන්නා බවයි.



ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග අප්‍රේල් 24 ඉරිදා යාපනයේදී තානාපතිනි ජුලි චංග් සාකච්ඡා පවත්වා තිබු අතර එහිදී ඔවුන්ද ඉල්ලා තිබුනේ 2009 වසරේ මැයි මසදී නිමාව දුටු යුද්ධයේදී සිදුවු වර්ග සංහාරයට යුක්තිය ඉටු කරවා ගැනීම වෙනුවෙන් ඇමරිකාව මැදිහත් විය යුතු බවයි.



එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසියේදී ඒ වෙනුවෙන් ඇමරිකාව මැදිහත් වී ක්‍රියා කළ යුතු බව ඔවුන් තානාපතිවරියට පවසා තිබුනි.

එම සාකච්ඡාවට එක්ව සිටි යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමිවරයා දෙමළ ජනමාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් උතුරු නැගෙනහිර තැනින් තැන බුදු පිළිම ස්ථාපිත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද තමන් තානාපතිවරිය දැනුවත් කළ බවයි.

උතුරු නැගෙනහිර ජනයාට ආගමික නිදහස අහිමි වී ඇති බව වේලන් ස්වාමිවරයා තානාපතිවරිය සමග වැඩි දුරටත් පවසා තිබේ.

එම සාකච්ඡාව සදහා දේශපාලන පර්යේෂක එම්.නිලාන්දන්, දෙමළ සිවිල් සමාජ එකමුතුවේ පී.එන්. සිංහම්, අඩයාලම් සිවිල් සංවිධානයේ එස්. අනුෂියා සහ සිවිල් සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන් ද එක්ව සිටියහ.



බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන්ට අත්වු ඉරණම සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් වෙහෙසෙන මව්වරුන්ගේ වේදනාකාරී අත්දැකීම් දැනගැනීමටත් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් සිය උතුරේ සංචාරය යොදාගෙන තිබුණි.



"සිය සමීපතමයන්ට අත්වූ ඉරණම දැනගැනීමට සැමට අයිතියක් ඇත. සිවිල් යුද්ධයේදී ඥාතීන් අහිමිවූ පුද්ගලයන්ගේ හද පාරවන කතා මට කෙලින්ම අසාගන්නට ලැබුණි. එය වගඋත්තරදායකත්වය සහ සංහිඳියාව යන දෙකේම අවශ්‍යතාව සිහිපත් කර දෙන්නකි," යි එම හමුවීමේ ජායාරූපයක් සිය ට්විටර් ගිනුමේ ප්‍රදර්ශනය කරමින් ඇය විසින් සටහන් කර තිබුණි.




ඩයස්පෝරා ආයෝජනයට බාධා :


උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා හමුවීමටත් ඇමෙරිකානු තානාපතිනිය කටයුතු කර තිබු අතර පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ එම සාකච්ඡාවේදී රටේ ආර්ථිකය දියුණු කරගැනීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇති නමුත් එය ක්‍රියාවට නංවාලීමේදී බාධා රැසක් මතුවන බව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා එහිදී පවසා තිබේ.

ඒ වෙනුවෙන් පවතින නීති ක්‍රියාවලිය සංකීර්ණ බව පෙන්වා දී ඇති ආණ්ඩුකාරවරයා කොළඹ  ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ගෙන් උපකාර ඉල්ලා සිටි බව දෙමළ ජනමාධ්‍යවේදීහු වැඩි දුරටත් සදහන් කරති.

තානාපතිවරිය සමග රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළ බව පවසන යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් දෙමළ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ වසර 30 ක යුද්ධයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ජනයාට මෙම ආර්ථික අර්බුදය අලුත් දෙයක් නොවන බව ඇයට පෙන්වා දුන් බවයි.

 

04 1

03
 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය