අරගලයේ නිරත බොහෝ අහිංසකයන්ට එරෙහිව මර්දනයක් දියත්ව ඇති බවත්, එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විරෝධය පළකර සිටින බවත් සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

ඔහු එබව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ (27) පැවති හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමිනි.

හදිසි නීතිය අවශ්‍ය වන්නේ හිඟයකින් තොරව භාණ්ඩ හා සේවා සපයා ජනතාව ජීවත් කරවීමට බව ඔහු අවධාරණය කර සිටියි.

රජය ජනතාව පාලනය කිරීමට හදිසි නිතිය ප්‍රකාශයට පත් කළ ද සැබැවින්ම හදිසි නීතියක් අවශ්‍ය වන්නේ කුසගින්නෙන් ජනතාව බේරා ගෙන ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර අත්‍යවශ්‍ය භාණඩ ඇතුළු ගෑස් සහ ඉන්ධන සැපයීම සදහා යැයි ඔහු එහිදී සඳහන් කළේය.

හදිසි නීති අණපනත් අනුව එය ක්‍රියාත්මක අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත්, සිවිල් ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩක්‍රියා, උද්ඝෝෂණ, මර්දනය කිරීම සඳහා බලය යෙදවීම මෙන්ම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ බලය ද හිමි වේ.

ඉකුත් ජූලි 17 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම අවස්ථාවේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් හදිසි අවස්ථා ප්‍රකාශනය සිදුකරනු ලැබිය.

ඒ අනුව හදිසි නිතිය සම්මතකර ගැනීම සඳහා පැවති විවාදයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මෙසේද සඳහන් කළේය.

''අපේ දරුවන් නැවත පාසලට ගොස් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය කාලය මෙයයි.

 

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය ජන ජීවිතයට බියක් ගෙන දෙනවා. මම මෙතන පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා පැවැත්ම සඳහා හදිසි අවස්ථාවක් වෙනුවෙන් සටන් කරන්න විනා අපේ මිනිස්සු මරන්න නෙවෙයි.

 

අද අපි මේ වාද විවාද අහන විට අරගල කරුවන් අතරින් නීතිය කඩකළ කිහිපදෙනකුට පහර දීම ගැන ආණ්ඩු පක්ෂයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. නීති විරෝධීව කරන ලද ක්‍රියාවන් පිළිබඳව අදාළ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම වැරදි නැ. කවුරු වැරදි කළද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.

අරගලයේ නිරත බොහෝ අහිංසකයන්ට එරෙහිව නීති විරෝධීව කටයුතු කිරීම පිළිබඳව මා මෙහිදී අවධානය යොමු කරන්නට කැමතියි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනි තැබීම තරයේම හෙළා දකිනවා. දේශපාලනයේ නිරත මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාවන්හට ඔවුන්ගේ පවුලේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් කිසිවකුත් වග කිව යුතු නැ. අපි ලංකාවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

 

පුද්ගලික නිවසක් අසළට ගොස් විරෝධය පළ කිරීමට පවා තමා විරුද්ධ බව ඉරාන් වික්‍රමරත්න මෙහිදී අවධාරණය කළේය.

 

අරගලය අතරතුර කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාට මුහුණ දෙන්නට සිදු වූ දෑ සම්පූර්ණ වැරදියි. මම ද මැයි නම වෙනිදා අරගල භූමියේදී ප්‍රහාරයෙන් නූලෙන් බේරුනා. මෙවන් ප්‍රචණ්ඩ සිද්ධීන් කිසිවක් අප අනුමත කරන්නේ නැ..

අරගලයේ විවිධ මත දැරූ පුද්ගලයන් නිසා විවිධ චේතනා මතු වූ බව නිරීක්ෂණය කළ හැකිය. පොදුවේ ගත් කළ අරගලයේ දී system change හෙවත් ක්‍රමය වෙනස් කිරීම ගැනයි ඉල්ලීම වූයේ. අරගලකරුවන් රාජ්‍ය පාලනයේ යම්කිසි වෙනසක් ඉල්ලා සිටියා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනස් විය යුතුයි යන ඉල්ලීමකුත් ඒ අතර තිබුනා.

 

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ගිහින් නාන තටාකයේදී සබන් ගාලා නෑවයි කියා මෙහිදී මන්ත්‍රීවරු චෝදනා කරනවා. මේ රටේ බරපතලම අපරාධය එය දැයි මා රජයෙන් අසන්නට කැමතියි.

 

මේ රජය යටතේ කැලෑ එලි කිරීම, පස් කැපීම  වැලිගොඩ ගොඩ දැමීම, පරිසර හානිය, පරිසරය විනාශ කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනා වලට ලක් වූවන් බොහෝ ඉන්නා අතර සමහරුන්ට එවන් චෝදනාවලට අත්හිටවූ සිරදඬුවම් දුන් නඩු තීන්දු පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහි පාර්ලිමේන්තුවේ අරගල කරුවන්ට එරෙහිව කතා කරන විට, ජනතාව  මන්ත්‍රීවරු දිහා බලා පවසන්නේ මේ අයවත් වෙනස් කළ යුතු බවයි.

අරගල කරුවන්ගේ හැසිරීම් අශීලාචාර යැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කළා. රටේ ජනතාව වෙනසක් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ හැසිරීම දිහා බලලා..

 

නීත්‍යානුකූල සහ සුජාතභාවය අතර වෙනසක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ නීත්‍යානුකූල නමුත් සුජාත නොවූ නිසා ඔහුට ගෙදර යාමට සිදුවුනා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම නීත්‍යානුකූලයි. එහෙත් ජන වරමක් නැති ඔහුගේ පත්වීමේ සුජාතභාවයක් තිබේදැයි ඉරාන් වික්‍රමරත්න විමසා සිටියේය.

 

මේ ජනාධිපතිවරයකු පත්කිරීම ගැන ජනතාව මා වැනි මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරනවා. අපි නීත්‍යානුකූලයි.  නමුත් එහි සුජාතභාවය පිළිබදව ජනතාව අසන ප්‍රශ්නය එයයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුමයි.

මේ රටේ වෙනසක් කරන්න ඕනෑ කියලයි අරගලකරුවන් ඉල්ලන්නේ. ජන සභාවක් පිහිටුවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. එය කළ යුතු යැයි සුසිල්  ප්‍රේමජයන්ත මහතා ද අදහස් දැරීම හොඳයි මාද එය අනුමත කරනවා.

 

තරුණයන්, කාන්තාවන් විද්වතුන් හා සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් ගේ අදහස රාජ්‍ය පාලනය සඳහා පාලකයන් ලබාගත යුතු යැයි ඔවුන් අදහස් දරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණ වලට එළඹෙන විට ඔවුන්ගේ අදහස් ලබා ගැනීමේ මෙවන් ක්‍රියාපටිපාටියක් අප සකස් කළ යුතුයි. මේ සඳහා හදිසි වැඩ පිළිවෙලක් අවශ්‍යයි.

 

ඉන්ධන ගෘහස්ථ ගෑස් අධ්‍යාපනය සෞඛ්‍යය, පොදු ප්‍රවාහන සේවාව, විදුලිය සැපයීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් අද වන විට අඩපණයි. මේවා පවත්වාගෙන යාමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට මෙවන් වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි ජනතාව ඉල්ලනවා.

ඒ වගේම ගොවි ණය ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඔවුන් අදහස් ප්‍රකාශ කරනවා. කුඩා ව්‍යාපාරිකයන් ගේ කල්බදු ණය පහසුකම් ගැන ද අද රටේ පොදුවේ අදහස් ප්‍රකාශ කරනවා.

මෙවන් අදහස් ප්‍රකාශ කරන්නේ සාමකාමීව අවිහිංසාවාදීව විරෝධතාව පළ කළ අයයි. අත්අඩංගුවට ගෙන ඇති ඒ අයව නිදහස් කරන්න යැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

 

දූෂණයට විරුද්ධව ද ක්‍රියාත්මක කළ යුතු යැයි අරගලකරුවන් ඉල්ලා සිටිනවා. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු යැයිද ඔවුන් අවධාරණය කර සිටිනවා. අල්ලස් හා දූෂණ කොමිසම ස්වාධීන කරන්න යැයි ඔවුන් ඉල්ලනවා. ඒ පිළිබඳව සකස් කරන ලද නීතියක් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා යැයි කී ඉරාන් වික්‍රමරත්න මහතා කඩිනමින් අල්ලස් කොමිසම ස්වාධීන කිරීමේ නීතිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.

 

''ඒ වගේම සොරකම් කළ වත්කම් අයකරගැනීම stolen Assets recovery Act සඳහා ද මේ රටේ නීතියක් වහාම ගෙන ආ යුතු යැයි අවධාරණය කරනවා. අල්ලස් හා දූෂණ කොමිසන් සභාව වසර 28 කට වැඩි කාලයක් ගත වුවද එක ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට හෝ නිලධාරියෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ නඩුවක් පවරා දඬුවම් ලබා දී නැහැ.

මෙවන් අඩු ලුහුඩුකම් නිසා ජනතාවගේ හදවත් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උසස් නිලධාරීන් පිළිබඳව ඉබේටම සැකය හා චෝදනාව එල්ල වීම වැළැක්විය නොහැකියි.

මේ රටේ බොහෝ ප්‍රශ්න මතුව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය හරහා යි.. පවත්නා වර්තමාන තත්ත්වය අනුව කෙටි කලකින් මහජන මතය විමසීම සඳහා මැතිවරණයකට යා යුතුයි. බහුපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවමු යැයි ඉල්ලීමක් තිබෙනවා.

දූෂණය නාස්තිය සොරකම මඩින්නට ජනාධිපතිවරයා අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නීති සම්පාදනය කළ යුතු යැයි සමගි ජන බලවේගය, රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පැවසීය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්