''තල වපුරා මුං නෙලන්න බෑ'' යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) එම පෙරමුණේ ජ්‍යේෂ්ඨ නායකයකු වන ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාට අවධාරණය කර සිටියි.


''ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමනි, පෞද්ගලික න්‍යාය පත්‍රය පසෙකලා පොදු අභිලාශයන් වෙනුවෙන් ඍජුව දෙපයින් හිටගන්නා ඕනෑම මොහොතක සිට අපිට යළි එකට දේශපාලනය කල හැක.'' යයි ද  පොහොට්ටුව පවසයි.

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එක කාරණා සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ නායකයා ලෙස පෙනීසිටින ඩලස් අලහප්පෙරුම විසින් පසුගිය 18 දා මාධ්‍ය වෙත පිටපත් සහිතව අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත යොමුකර තිබු ලිපියට ප්‍රතිචාර දක්වමිනි.


පොහොට්ටු ලේකම්වරයාගේ ලිපියේ මෙසේ සඳහන් වේ.  


ඩලස්ලා සමග අපට වෛරයක් නැහැ !




''පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) ඇතුළු පාර්ලිමේන්තු කමිටු කිරිපයකින් තමන්ව සහ තම කණ්ඩායමේ කිහිපදෙනෙකු ඉවත්කර ඇති බව පවසමින් චෝදනාවක ස්වරුපයේ ලිපියක් ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

අපි මෙම ප්‍රතිචාර ලිපිය ලියා ප්‍රසිද්ධ කරනු ලබන්නේ එකී ලිපිය පිළිබදව ජනමාධ්‍ය විසින් අපගේ ප්‍රතිචාරය විමසා ඇති නිසාය.




අපි ප්‍රථම වශයෙන්ම කියා සිටින්නේ අලහප්පෙරුම මහතා සමග හෝ ඔහුගේ සාමාජිකයන් කිහිප දෙනා සමග හෝ අපට කිසිදු වෛරයක් නොමැති බවයි. නමුත් ඔවුන්ගේ දේශපාලන භාවිතය පිළිබඳව අපට ප්‍රතිපත්තිමය ප්‍රති තර්කයක් ඇත. එය කිසිසේත්ම එකී පාර්ශවය වෙත වෛරය මුදා හැරීමක් නොවේ.




ගරු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වත්මන් රජය බලයට පත් වූ අවස්ථාවේ සිටම කටයුතු කරනු ලැබුවේ එක්තරා ආකාරයක පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත බව අපට නිරීක්ෂණය වී තිබුණි. එතුමන් කිසි විටෙක සාමුහික වගකීමට උර දුන් බවක් අප දුටුවේ නැත.

රට හමුවේ ඉතා වේදනාකාරී විදුලිබල අර්බුදයක් නිර්මාණය වෙද්දි විදුලිබල අමාත්‍යවරයා ලෙස අර්බුදය කලමනාකරණය කිරීම වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් සිදුකල බවක් අප දුටුවේ නැත.

එපමණක් නොව ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රජයේ නිල ප්‍රකාශකයා ලෙස අලහප්පෙරුම මහතා පොදු අභිලාෂයන් මත කටයුතු කල බවක්ද අප දුටුවේ නැත.



බහුතරයකගේ නිරීක්ෂණය වුයේ එතුමන් පොදු අභියෝගය මගහරිමින් පුද්ගලික ගමනක් සැලසුම් කරමින් සිටින බවයි.  


බළලා මල්ලෙන් එලියට පනින්නේ ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් වහාම ඉවත්ව යායුතු බවට ඩලස් අලහප්පෙරුම මහතා විසින් ලියු ලිපියත් සමගිනි. එතුමන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ට එරෙහිව ලියු ලිපිය දේශපාලන සදාචාරයේ අවම සීමාවත් පසුකරයාමක් බව බොහෝ දෙනෙකුගේ මතය විය.

ඒ මන්ද යත් ඩලස් අලහප්පෙරුම මහතාව මෙරට දේශපාලනයේ ඉහලට ඔසවා තැබුවේ මහින්ද රාජපක්ෂ මහතා විසින් වන නිසාය.

2005 වසරේ අගෝස්තු මස 17 වන දා ගරු ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ හදිසි අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අලහප්පෙරුම මහතා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අසීමිත වෙහෙසක් දැරිය. එවකට ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ පිළිබඳව දැඩි ලෙස උරණ වී සිටි බව රහසක් නොවේ.



මහින්ද රාජපක්ෂ මහතා මාස හතරක් තිස්සේ තනි සටනක් කර අභියෝග රැසක් තිබියදී එම වසරේ දෙසැම්බර් 19 වනදා අලහප්පෙරුම මහතාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළේය.  


එතැනින් නොනැවතී  2007 වසරේදී ප්‍රවාහන අමාත්‍යධුරයද ඔහුට පිරිනමන ලදී.

එපමණක්ද නොවේ, 2010 වසරේදී යළි වතාවක් තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය බවට අලහප්පෙරුම මහතා පෙරැත්ත කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එම ඉල්ලීමද ඉටු කරමින් ඔහුට යළි වතාවක් ජාතික ලැයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවරම් හිමිකර දුන්නේය.

එතැනින්ද නොනැවතී තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු යන වෙන්ව තිබු කැබිනට් විෂය පද්ධති දෙක එකාබද්ද කර ඩලස් අලහප්පෙරුම මහතාව තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කිරීමට තරම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාරුණික විය.  

අදටත් එවක ආණ්ඩුවේ ජේෂ්ඨයන් පවසන්නේ “මහින්ද ජනාධිපතිතුමා වැඩියෙන්ම සැලකුවේ ඩලස්ට” යනුවෙනි ඩලස් අලහප්පෙරුම මහතා අප පෙරකී ලිපිය ලියන ලද්දේ ඔහුගේ දේශපාලනයේ නිමැවුන්කරුවාට එරෙහිව බව නොතේරීමට තරම් ඔහුගේ දේශපාලන අධ්‍යාත්මය නිර්වින්දනය වුයේ කෙසේදැයි අපි තවමත් නොදන්නෙමු.




අවසානයේ දී එකී ලියුම් ගණුදෙනුව අගමැතිධුරය තමන් සතු කර ගැනීමේ මෙහෙයුමක් දක්වාම ඔහු විසින්ම දුර දිග ගෙන ගිය පසු අපට දැනුනේ ජුගුප්සාජනක හැගීමකි.



මේ පිළිබඳව ප්‍රශ්න කල අවස්ථාවකදී ඔහු පැවසුවේ තමන්මේ උත්සහ කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ව ආරක්ෂා කර ගනිමින් ආණ්ඩුවට නැවුම්භාවයක් ලබා දීමට බවයි.

එසේ කියූ ඔහු අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් ධුරයෙන් ඉවත්ව යා යුතු බව පවසමින් තවත් ලිපියක් ලියා ප්‍රසිද්ධ කරන ලදී.

කිතුලට නගින්නේ තණකොළ කපන්නට නොවන බව අපි නොදැන සිටියා නොවේ. ඔහු මේ ආන්දෝලනාත්මක චරිත රංගනය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති සිහිනයකින් බව අප සැමටත් මුළු රටටත් නිරවුල්ව අවබෝධවිය.




සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය රැකගැනීමට නම් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතුය යන සම්මතය බිදිමින් අලහප්පෙරුම මහතා අනුප්‍රාප්තික ජනාධිපති සටනටද ඉදිරිපත් විය.


294445261 460967212705416 2117484153955953140 n
අපි දැන් ප්‍රශ්නයේ අනිත්පසට හැරෙමු. අලහප්පෙරුම මහතා සිය කඳවුරට එරෙහි වුයේ නිපුණ රණවක මහතාට මාතර දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීම නිසා බව සඳහන් වේ.  

නවක තරුණයෙකුට නාම යෝජනා ලබාදීම ගැන උරණ වීම වැනි හැසිරීමක් අලහප්පෙරුම මහතා වැනි පරිණත දේශපාලන නායකයෙකුගෙන් මේ සමාජය අපේක්ෂා කරන්නේ නැත.



පසුගිය මහා මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයකම නවක අපේක්ෂකයින් මනාප ලැයිසතුවේ පෙරමුණට පැමිණ තිබුණි. අද එතුමන්ගේ පාර්ශවය නියෝජනය කරන ආචාර්ය නාලක ගොඩහේවා මහතාද එවැනි නවකයෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් නවක අපේක්ෂකයෙකු පළවෙනියා වීමට වඩා අලහප්පෙරුම මහතා තුන්වෙනියා වුයේ මන්දැයි කල්පනා කලයුතු නොවේද ?



2015 මහා මැතිවරණයේදීද නවක තරුණ අපේක්ෂකයෙකු මාතර දිස්ත්‍රික්කයෙන් තරග කල අතර ඒ අවස්ථාවේදීද අලහප්පෙරුම මහතා දෙවැන්නා නොවී බේරුනේ අනු නවයෙනි.

කෙසේ වෙතත් තමන්ගේ පෞද්ගලික මනාප ප්‍රශ්නයක් මේ දුෂ්කර මොහොතේ, රටේ දේශපාලන ආරවුලක් නිර්මාණය කිරීමට හේතුවක් ලෙස යොදා ගන්නේ නම් ඒ දේශපාලන සදාචාරය පිලිබඳ ප්‍රශ්නයකි.

තල වැපුරුවොත් තල  මුං වැපුරුවොත් මුං යැයි කියමනක් ජනවහරේදී අපට හමුවේ. තල වපුරා මුං නෙලන්නට බැරි බව අලහප්පෙරුම මහතාට තරම් භාෂා ඥානයක් නැති අයෙකුටද වුවද පහසුවෙන් වටහා ගත හැක. අලහප්පෙරුම මහතාගේ වාග් චතුර්ය සහ භාෂා ඥානය ඉතා ප්‍රශස්ත එකකි.

ගරු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමනි පෞද්ගලික න්‍යාය පත්‍රය පසෙකලා පොදු අභිලාශයන් වෙනුවෙන් ඍජුව දෙපයින් හිටගන්නා ඕනෑම මොහොතක සිට අපිට යළි එකට දේශපාලනය කල හැක.


Pohotu dla2022




සබැඳි පුවත :

ආණ්ඩුවේ වෛරී දර්ශක ගැන ඩලස්ගේ විරෝධය හා පිළිකුල

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්