ජනාධිපතිවරයා සතු බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාද්‍ය ශක්තිමත් කිරීම අරමුණු කරගත්, 22 වැනි ආණ්ඩුක්‍රම

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (20) ආරම්භ වූ පාර්ලිමේන්තු විවාදය හෙට (21) දින ද පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට හැකිවෙයිද?

කොන්දේසි සහිතව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාණය කර තිබේ. එහෙත් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ මේවන විට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති බවයි.

"අද ආණ්ඩුව තුළ විශාල අර්බුදයක් තියෙනවා. වැදගත් සංශෝධනයක් ගේනකොට අද කීදෙනා ද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ආණ්ඩුවට 150 නැහැ. නමුත් අපි සහයෝගය දෙනවා. ඒ සහය දෙන්නේ ආණ්ඩුවට නෙමේ. රට බේර ගන්න සහයෝගය දෙනවා." ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කළේ, නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් මෙරටට අවශ්‍ය බවයි.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය "ද්විත්ව පුරවැසියන් එපා." යනුවෙනි.

 පාර්ලිමේන්තුව ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුයේ, 22 සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය  දෙන්නේ ජනතාව පැත්තෙන් හිතා බලා 19 බලාත්මක වන නිසා බව කියා සිටියේය. 

 

 
ව්‍යවස්ථාදායක සභාව

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත කිරීමය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවයි.

කතානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වෙති.

ජනාධිපතිවරාය පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂනායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වෙති.

අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි.


ඒ අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති නිලබලයෙන් සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.

මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍යසේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ද ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමට ද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.



කොන්දේසි 3ක් මත සමගි ජනබලවේගයේ සහය

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි 3 ක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

එම කොන්දේසි වන්නේ,


# ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් තෝරා ගැනීම.

# ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම.

# පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම.



'' ද්විත්ව පුරවැසිභාවය තහංචිය අංශු මාත්‍රයක වෙනසක් වෙන්න බැහැ. එකත් එක්ක සෙල්ලං දාන්න ආවොත් අපි විරුද්ධ වෙනවා." විපක්ෂනායකරයා අවධාරණය කළේය.

"ලෝකයම බලා ඉන්නවා මේ 22 වැනි සංශෝධනය දිහා." විපක්ෂනායකවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, "ආණ්ඩුව තුළ මේ සම්බන්ධයෙන් පරස්පරයන් තියෙනවා නම් අපිට අමාරුයි මේකට සහයෝගය දෙන්න."

"කමිටි ස්ටේජ් එකේ එක එක ජල්තර දාන්න එන්න එපා. පොහොට්ටුව ඇතුලේ තියෙන අර්බුද අපිට අදාළ නැහැ." විපක්ෂනායකවරයා පැවසීය.
 



22 වැනි සංශෝධනයේ මූලික අරමුණු :

# විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීම.

# විධායක ජනාධිපතිවරයා සතු යම් බලතල ප්‍රමාණයක් කතානාකවරයා ඇතුළු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීම.

# අධිකරණය හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම

# ව්‍යවස්ථාදායක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් පත් කිරීමේ බලය කතානායක අධීක්ෂණයට යටතට පත් කිරීම.

# මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.

# ජනාධිපතිවරයා අනිවාර්යෙන් ආරක්ෂක අමාත්‍යංශය දැරිය යුතුය.

# යම් පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර ඒ සඳහා ලබා දෙන කාලය දින 14 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

# දුෂණයට එරෙහිව පනවන නීති දැඩි කෙරේ. - දුෂණ විරෝධී නීති සම්මත කර ගැනීමට පියවර.

# අමාත්‍යංශයක අමාත්‍යවරයෙකු ධුර දැරීම නතරවුවහොත්, අලුත් ලේකම්වරයෙකු පත් කරන තෙක් සිටින ලේකම්වරයා අමාත්‍යංශයේ වගකීම් දැරිය යුතුය.

# අණ පනත් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන්නේ නම්, හරයට බලපාන සංශෝධන කළ නොහැකිය.

# ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනය.

# ලේකම්, පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමේ නිර්ණායක සැකසීම.

# ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය.



22 වැනි සංශෝධනය ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමටද?

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ, "මේක ගෙනෙන්නේ ජාත්‍යන්තර ආධාර ලබා ගන්න. අපිට තියෙන ආදරයකට නෙමේ."

"අවුරුදු දෙකකට කලින් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න තිබුණා." ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ කාලය ඉවරයි, දාලා යන්න. ජනාධිපතිවරයා දාලා ගියා. අගමැතිවරයා දාලා ගියා, මුදල් ඇමති දාලා ගියා. රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර හම්බ වෙන්නේ නැහැ. ඕනේ නම් බෙහෙත් ටිකක්, ආහාර පාන ටිකක් හම්බවෙයි."

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, අපේ රටට ආධාර ලබා ගැනීමේ එක් පුරුකක් වෙනවා 22 වැනි සංශෝධනය සම්මත කරගැනීම." යනුවෙනි.

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

 



(මුලාශ්‍රය - BBC සිංහල සේවය )

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්