සෑම නිවාස හතකින් එකකම දරුවන් පාසල් හැර ගොස් ඇති බවත්, දරු පවුල් නඩත්තු කරන්නන්ගේ ආදායම වැඩිවන

ජීවන වියදමට නොසරිලන නිසා මතුව තිබෙන ආර්ථික දුෂ්කරතා මේ තත්ත්වයට හේතු වී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සමීක්ෂණය පැවැත්වූ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය විසින් ‘ශ්‍රී ලංකා සංකීර්ණ හදිසි අවශ්‍යතා තක්සේරු වාර්තාව’ (The Sri Lanka Complex Emergency Needs Assessment Report) සඳහා දිස්ත්‍රික්ක 11 ක නිවාස 2,871 ක් සහ වතු අංශයේ නිවාස 300 ක් ආවරණය කර තිබේ.  එමෙන්ම මේ පර්යේෂකයෝ කේන්ද්‍රගත කණ්ඩායම් සමගද සාකච්ඡා පවත්වා ඇත.‍

"දැනටමත් දරිද්‍රතා රේඛාවෙන් පහලට වැටී සිටින අවදානමට පත් බොහෝ ජනතාව තවදුරටත් අපේක්ෂා භංග වී සිටින ආකාරය ගැන සෘජු සාක්ෂි වාර්තාවෙන් සැපයේ. එහි ප්‍රතිපලය වී ඇත්තේ විශාල ලෙස ණය ගැනීම, අඩු ප්‍රමාණයකින් සහ අඩු වේල් ගණනකින් ආහාර ගැනීම, කණකර උගස් කිරීම සහ යන්තම් බඩවියත රැකගැනීම සඳහා උපාමාරු යෙදීමයි," යනුවෙන් රතු කුරුසය හා රතු අඩසඳ සංවිධානවල ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මතියෝ පවසයි.



කම්පාව දනවන අලුත්ම රතු කුරුස වාර්තාවේ දැක්වෙන පරිදි දරුවන් පාසල් යැවීමට සහ බේත් හේත් මිලදී ගැනීම සඳහා නොකා නොබී සිටීමේ දුෂ්කර තීරණය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුවී ඇත.



නිකුත් වී ඇත්තේ රට මුහුණ දී සිටින ආර්ථික අහේනියේ වැඩිම බර දරන්නට සිදුවී ඇත්තේ දරුවන්ට බව අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් උග්‍ර මන්දපෝෂණය අතින් දකුණු ආසියා කලාපයේ ඉහළම ස්ථානයක ශ්‍රී ලංකාව රැදී සිටින බව පෙන්වා දී මාසයක් ගතවීමත් සමගය.

"බලාපොරොත්තු කඩවීම සහ අනාගතය සම්බන්ධ මහත් බිය පිළිබඳ හිත කීරි ගැහෙන කතා අපට අසන්නට ලැබුණා. ළමයි ඉන්න තනි අම්මලාට, ආබාධ සහිතව ජීවත් වන්නන්ට, වැඩිහිටියන්ට, නුපුහුණු කම්කරුවන්ට හා ධීවරයන්ගේ ජීවිතය පැවැත්ම සඳහා කරන අරගලය පරාජය වීමක් හා සමානයි," යනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර පවසයි.

නුවරඑළියේ වතු 10 ක නිවාස 300 ක් ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයේ දී පෙන්නුම් කර ඇත්තේ එම පවුල් වලින් 96% ක් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ පවුල් මුහුණ දී සිටින ආහාර, සෞඛ්‍ය සහ ජීවනෝපාය සපයා ගැනීමේ දුෂ්කරතා ආර්ථික අර්බූදය විසින් ජනිත කර ඇති ප්‍රමුඛ අවශ්‍යතා තුන බව මෙහි දී හඳුනාගෙන ඇත.

මේ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින නිවෙස්වලින් තුනෙන් එකක් කියා ඇත්තේ ඉහළ යන ප්‍රවාහන වියදම්, අභ්‍යාස පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය වල මිල ඉහල යෑම, සහ සමහර පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල නැවැත්වීම ආදිය නිසා තම දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.



මෙම රතු කුරුස වාර්තාවට අනුව නිවාස හතකින් එකක දරුවන් දැනටමත් පාසල් හැර ගොස් ඇත. ඊට ද අමතරව, මේ දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හැරුණහොත් තම දරුවන්ට පාසල මඟ හැරයෑමට සිදුවනු ඇති බව සෑම නිවාස 10 කින්ම එකක් පිළිගෙන ඇත.



අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව පාසල් යන දරුවන් මිලියන 4.1ක් සිටින අතර එයින් දහවල් ආහාරය ලැබෙන්නේ පාසල් සිසුන් ලක්ෂ 11කට පමණි.

එක් පාසල් දරුවෙකු සඳහා ආහාර වේලකට රුපියල් 60 ක් වෙන් කරනු ලැබේ. ආහාර සාමාන්‍යයෙන් බත්, බිත්තර හෝ හාල්මැස්සන්, එළවළු සහ මැල්ලුමකින් සමන්විත වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහින්ද යාපා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනේ “වෛද්‍ය උපදෙස් මත සිසුන්ගේ ආහාර වේලට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් කර ඇති බවට අපි සහතික වන” බවයි.

"රුපියල් 60 ට මේ කෑම වේලක් ලබා දිය නොහැකි යි. ඉතින්, දෙමාපියන් සහ ගුරුවරු ප්‍රදේශයේ ජනතාව එක්ක එකතු වෙලා කෑම ලබාදීම කරගෙන යමින් තිබෙනවා."

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙහි දී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ දරුවන් පාසල් පැමිණීම පවත්වා ගැනීම සඳහා තවත් සිසුන් මිලියනයකට ආහාර ලබාදීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බවයි.



ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ ප්‍රධානතම සංගමය පෙන්වා දෙන්නේ පාසල් දිවා ආහාර වැඩසටහන එක් දරුවකුට වෙන්කරන මුදල බිත්තරයක මිල දක්වා පහත දමා ඇති බවයි.


“බිත්තරයක මිල ම රු.60/- කට වඩා මේ වන විට ඉහළ ගොස් ඇත. පවතින ආර්ථික උද්ධමනය හමුවේ එම මිලට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය නොහැකි තත්වය තුළ ආහාර සැපයුම්කරුවන් හා පාසල් අතර, අදාළ ගිවිසුම් වලට එළඹීම සිදු නොවීමෙන් මේ වන විට එම දිවා ආහාර වැඩසටහන බරපතල අර්බුදයක පවතී,” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසා තිබුණි.

ගැහැණු දරුවන් තවත් අනතුරක

මේ අතර ‘ශ්‍රී ලංකා සංකීර්ණ හදිසි අවශ්‍යතා තක්සේරු වාර්තාව’ තවත් බැරෑරුම් සමාජ ගැටළුකට හේතු වන කාරණාවක් රට ඉදිරියේ තබයි. එනම්; අඩු ආදායම් ලාභීන් අතර දවසින් දවස ඉහල යන ආර්ථික දරිද්‍රතාවයට මුහුණ දීමේ ක්‍රමයක් ලෙස පවුලේ ගැහැණු දරුවන් අඩු වයසින් විවාහ කර දීමේ අවදානමක් ඇති කර තිබෙන බවයි.

ආර්ථික තත්ත්වය යහපත් නොවන්නේ නම් ඉදිරි මාස 3 සිට 6 දක්වා කාලය තුළ ඔබලාගේ දරු පවුල් අඩු වයස් විවාහයන් සලකා බලයිද යන ප්‍රශ්නය සමීක්ෂකයන් විසින්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් විමසා ඇත.



පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන සිංහ වික්‍රමසේකර ජනමාධ්‍ය වාර්තාකරුවන්ට පවසා ඇත්තේ "මුළු කුටුම්භවලින් සියයට 51 ක් කියා සිටියේ ගැහැණු ළමයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වීමේ අවදානම වැඩි බවයි" යනුවෙනි.



hjffhjhjමහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ


"අපි හිතන්නේ අපි උද්ධමනයේ උච්චතම අවස්ථාව දකිනවා" යැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ බ්‍රහස්පතින්දා (20 දා) කොළඹ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ඔක්තෝබර් 21 දා වාර්තා කළේය. ඒ ලංකාවේ උද්ධමනය 70% කරා පැමිණීමත් සමගය.

මේ දැවැන්ත උද්ධමනකාරී පරිසරය විසින් ජනතාවගේ පාරිභෝජන රටා කාබාසීනියා කිරීම පිළිබදව උදාහරණයක් හෙලි කරන සමීක්ෂණය පෙන්වා දෙන්නේ මිල ඉහළ යාමත් සමඟ ලංකාවේ පවුල්වලින් භාගයක්ම මස් සහ මාළු  ආහාරයට ගැනීම අඩු කර ඇති අතර සියයට 11 ක් මාංශමය ආහාර සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව බවයි.


බේත් වේලටත් කප්පාදුව

කෑම බීම පමණක් නොව විවිධ රෝගාබාධ සඳහා දිගුකාලීනව ඖෂධ ගැනීමට සිදුව ඇති රෝගීන්ට තමන්ගේ  ඖෂධ වේල් ගණන පවා අඩු කිරිමට සිදුව ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

සිංහ වික්‍රමසේකර මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ 2022 ජනවාරි මාසයේ සිට සිය සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී ඇති බව නිවාසවලින් සියයට 58 ක් ප්‍රකාශ කළ බවයි. පසුගිය මාස තුන තුළ සියයට 30 ක් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත් වික්‍රමසේකර පවසා තිබේ.

 “සමීක්‍ෂණයේ දී ඖෂධ මිල වැඩි බවත් ප්‍රවාහන වියදම ඉහළ බවත් අපට සොයා ගැනීමට හැකි විය,” යි වික්‍රමසේකර පැවසීය. “බොහෝ විට ඔවුන් ගමනාගමනය සඳහා වැඩි වියදමක් දරන්නේ මුත් රෝහල්වලින් පාවිච්චි කළ යුතු සියලු ඖෂධ වර්ග ලැබෙන්නේ නැත."

 “රෝගීන්ට පෞද්ගලික ඖෂධ හලකින් මිලදී ගතයුතු බෙහෙත් වට්ටෝරුවක් ලැබුණොත්, ඔවුන් එහි සඳහන්ව ඇති සන්නාමයට නියමිත බෙහෙත මිල ඉහල නම් මිල අඩු වෙනත් සන්නාමයකට යනවා. ඒ වගේම ඔවුන් පැවසුවේ දිනකට ඖෂධ ලබා ගැනීමේ මාත්‍රාව ද තමන්ට දැරිය හැකි මට්ටමට අඩු කර ගන්නා බවයි.” යි සිංහ වික්‍රමසේකර පවසා ඇත.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්