විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහාම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර

වික්‍රමනායක පැවැසීය.

කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි  විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බවත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.



හිමිනමක් සාමණේර හිමිවරුන් කිහිපදෙනකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූ  අතර එම වීඩියෝ පටයෙහි සිටි හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ සඳහන් කර තිබේ.



මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවැසූ වික්‍රමනායක අමාත්‍යවරයා, මේ සම්බන්ධව තෛයීනිකායික මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.

විහාර හා දේවාලගම් පනතට සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම, වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වා දෙයි.

බුද්ධ ශාසනයෙන් හෝ අනෙකුත් ආගම්වලින් ප්‍රායෝගික මිනිසකු බිහිකර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන් ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බවත් වික්‍රමනායක අමාත්‍යවරයා කීවේය.



පුද්ගලයන් අවබෝධයකින් තොරව මහණකමට ඇතුළත් වන තාක්කල් කොතරම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළද ඉන් ප්‍රයෝජනයක් අත්නොවන බවද ඔහු පැවැසීය. තමන් චීවරය දරනුයේ කුමක් සඳහා දැයි ශාසනයට ඇතුළත් වන පුද්ගලයන් කල්පනා කළ යුතු බවත්, දුප්පත්කම හේතුවෙන් කුඩා ළමයින් මහණ කිරීම නිසාද විහාරස්ථානවල ගැටලු ඇතිවන බවත් වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.



විහාරස්ථානවල නායක පදවියට හෝ විහාරස්ථානයේ දේපොළ බෙදාගත නොහැකිව භික්ෂුන් වහන්සේලා අධිකරණවල එකිනෙකාට චෝදනා කරගන්නා බවත්, මෙවැනි කටයුතු පිළිබඳව තවදුරටත් කල්පනා කර බැලිය යුතු බවත් හෙතෙම කීවේය.

ජනතාව විහාරස්ථානවලින් ඈත්වීම සම්බන්ධව සියලු දෙනා සොයාබැලිය යුතු බවත්, සෑම විටම රෝග නිධානයට විසඳුම් සොයා ගැනීම අවශ්‍ය බවත් වික්‍රමනායක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොහෝ ගැටලුවලට විසඳුම් ලෙස ස්වාමීන් වහන්සේලාට වෙන වෙනම නිවාස ඉදිකර දීමට තමාගේ යෝජනාවක් තිබෙන බවත්, මේ සම්බන්ධව මහනායක හිමිවරුන්ගේ අදහස දැන ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.



''වයස 12ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි''

shutterstock ubuntu daniel constante copy 3 768x576                                        රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි


 
විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථාන වහාම මැදිහත් විය යුතු යැයි  කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමියෝ පැවැසූහ.

කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතාම ළාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු දොළහ ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු යැයිද නාහිමියෝ අවධාරණය කළහ.

යම් දරුවකු ගුරු හාමුදුරුනමක් යටතේ පැවිදි දිවියට ඇතුළත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ සාමණේර හිමියන් රැකබලා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බවද උන්වහන්සේ පැවැසූහ.

කුඩා දරුවෙක් මහණ කර ගත්තේ නම් මාතෘ පීතෘ ස්නේහයෙන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බව එය වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ යුතුකමක් සහ  වගකීමක් බවත් නාහිමියෝ අවධාරණය කළහ.

බුදුන් වහන්සේගේ සමයෙහි පවා මෙවන් දුශ්ශීල හිමිවරු සිටි බවත් උන්වහන්සේ කීහ.

භික්ෂුන් වහන්සේගේ විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විවිධ සිද්ධි අරබයා නොයෙක් අවස්ථාවල විනය සිල්පද පැනවුණු බවද නාහිමියෝ සඳහන් කළහ.

අදටත් ශාසනයෙහි විනය කඩ කරන දුශ්ශීල භික්ෂුන් වහන්සේ සිටින බව පැවසු උන්වහන්සේ, සිදු කරන විනය විරෝධී ක්‍රියා නියාමනය වීමක් සිදු නොවන බවද පැවැසූහ.

ඒවා නිකාය මූලස්ථාන හරහා නියාමනය වීමක් සිදුවිය යුතු වුවත් එවන් කාර්යයක් නිකාය මූලස්ථානවලින් සිදු නොවන බවට උන්වහන්සේ චෝදනා කළහ.

එවන් නියාමනය වීමක් සිදු නොවන නිසා නීතියේ පිහිට පැතීමට සිදුව ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.


සාමණේර හිමිවරුන්ටද ළමා අයිතිවාසිකම් හිමියි



සාමණේර හිමිවරුන්ටද ළමා අයිතිවාසිකම් හිමි බව නාහිමියෝ කීහ.

විනය පොතේ උගන්වා ඇති අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ විනය ආරක්ෂා කරනවා නම් මෙවන් සිදුවීම් වාර්තා නොවන බවද උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.


( උපුටා ගැනීම - mawbima.lk)


සබැඳි පුවත් -
සාමණේර හිමිවරුන්ට පහරදුන් හිමිනම අත්අඩංගුවට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්