ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් නිල නිවාස සංකීර්ණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වෙන්කොට ඇති නිල නිවාසයකින් විදුලි ගාස්තු වශයෙන් රුපියල් එක්කෝටි විසිලක්ෂ

පනස්හයදහස් අටසියතුනක මුදලක් (12,056,803) හා ජලගාස්තු වශයෙන් රුපියල් දාහත්ලක්ෂ හෑත්තෑඅටදහස් හත්සිය විසිදෙකක (1,778,722) මුදලක් හිඟව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල මෙම වර්ෂයේ මැයි මස 31 වැනිදාට හිඟව පවතින බව විගණනය මගින් අනාවරණය කොට ඇති අතර ඉදිරියේදී හිඟ බිල්පත් ගෙවීමට පදිංචිකරු අපොහොසත් වුවහොත් හිඟ මුදල් සඳහා වන අවසන් වගකීම භාරගැනීමට කාර්යාංශයට සිදුවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳව කාර්යාංශයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ නියමිත වෙලාවට බිල්පත් ගෙවීම කුලී නිවැසියන්ගේ වගකීම වන අතර ගෙවිය යුතු මුදල් අයකර ගැනීම සේවා සපයන්නන්ගේ කාර්යයක් බවයි.



මෙම නිලනිවාස සංකීර්ණය කොළඹ 07, සරණ පාරේ පිහිටා ඇති අතර එය නිවාස ඒකක 15කින් සමන්විත වේ. මෙහි නිලනිවාස 03ක්, 2004 හා 2015 යන වර්ෂවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට වෙන්කර දී තිබුණි. මින් මන්ත්‍රීවරුන් දෙදෙනකු 2022 ජුලි දක්වා කුලී නිරවුල් කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙකී නිවාස සංකීර්ණයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂවරයකුට වෙන්කරනු ලැබූ නිල නිවාසය සඳහා 2011 ජනවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු කුලී මුදලක් අයකරගෙන නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ කළමනාකාරීත්වය විගණනයට සඳහන් කොට ඇත්තේ මෙකී නිල නිවාසය මහවැලි සංවර්ධන අධිකාරියට වෙන්කොට ඇති බවත් 2010 වර්ෂය දක්වා සියලුම කුලී මුදල් ගෙවා ඇති බවත්ය. 2011 වසරින් පසු කුලී මුදල් කිසිවක් ලැබී නොමැති අතර නිල නිවාසයේ නඩත්තු කටයුතු මහවැලි අධිකාරිය විසින් සිදුකරනු ලබන බව කළමනාකාරිත්වය විසින් සඳහන් කොට ඇත.

මෙම නිල නිවාස සංකීර්ණය ඉහළ ආර්ථික වටිනාකමක් ඇති මධ්‍යස්ථානයක පිහිටා තිබුණද 2020 සහ 2021 යන වසරවලදී කාර්යාංශය උපයා ඇති මුළු කුලී ආදායම පිළිවෙළින් රුපියල් 1,803,878ක් හා රුපියල් 1,966,976ක මුදලක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙහි මුළු කුලී ආදායම මුළු වත්කම් වටිනාකම සමග සසඳන විට එය නියෝජනය කරන්නේ මුළු වත්කම් වටිනාකමින් සියයට 0.2ක් පමණි. වැඩි ආර්ථික වටිනාකමක් ඇති මෙම දේපළෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට කාර්යංශයේ අවධානය යොමුවිය යුතු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.


(divaina.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්