පළාත් පාලන ඡන්ද පැවැත්වීමට මුදල් නැතයි පැවසුවද රජය පසුගිය කාලයේ රුපියල් බිලියන 16000ක

සහල් ආනයනය කොට ඇතැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය.

එසේ සහල් ආනයනය කරනු ලැබුවේ මෙරට ගොවියා ළඟ වී තොග විකුණාගත නොහැකිව ගොඩගැසී තිබියදී බවද ඔහු සඳහන් කළේය.

රට හැදීමට නම් දේශීය ආර්ථිකයක් මුලින්ම සකස් කළ යුතුව ඇති බව ඔහු කියා සිටියි.

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (13) පැවති INCO 2023 ප්‍රදර්ශන භූමියේදී ය. ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් ඔහුගේ නවතම ව්‍යාපාරය වූ 'අරලිය පැකේජිංග් ලංකා' ආයතනය යුරෝපා වෙළඳපොළට විවෘත කිරීම මෙහිදී සිදුවිය.

ඉදිරියේදී පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළවිමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.



'' අවුරුදු 75 ක් තිස්සේම අපි සාම්ප්‍රදායික පාට කිහිපයක රැවටෙමින් ඉන්නවා. ඒක මටත් පොදුයි. මම සක්‍රීයව දේශපාලනය නොකළත්, මම පවා බොහෝ අවස්තා වල දේශපාලකයන් විශ්වාස කළා. ඒ නිසා විශේෂයෙන්ම මෙතෙක් පැවති සාම්ප්‍රදායික ‍රාමුවෙන් මිදී දේශපාලනමය වෙනසක් රටට සිදු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. ''




මාධ්‍යවේදීන් හමුවේ තවදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මෙසේද පැවසිය.

" පසුගිය දෙවසරක කාලය පුරාම තිබුණු කොරෝනා උවදුරත් සමඟ ඇතිවූ රටේ නිෂ්පාදන හිඟය නිසා ඉඳිකට්ටේ ඉඳන් හාල් ඇටය දක්වාම පිටරටින් ආනයනය කරන්නට එවකට පැවති රජයන්ට සිදු වුණා. මේ හැමදෙයක්ම වුණේ එවකට සිටි පාලකයන් සහ ඇතැම් නිළදාරීන් විසින් ගනු ලැබූ අදූරදර්ශී දේශපාලන තීන්දු තීරණයි.

එහෙත් ඒ සියල්ලන්ටම තනිව අභියෝග කරමින්, විශේෂයෙන්ම රටම අකර්මණ්‍ය වී ඇති ඒ වසර දෙකේ පවා අපි නව කර්මාන්ත කිහිපයක්ම රටට දායාද කළා. විශේෂයෙන්ම මම ඒ හරහා රට තුළ අලුතෙන් රැකියා දහස් ගණනක් උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයනු ලැබුවා.

මම රටේ ප්‍රධාන පෙළේ දේශීය ව්‍යවසායකයෙකු ලෙස මගේ යුතුකම් හා වගකීම් කොටස මැනවින් රට වෙනුවෙන් ඉටු කළා. විශේෂයෙන්ම සහල් මාෆියාවන්ට තිත තබමින් රටේ සහල් මිල ස්ථාවර අගයකට ගෙන ඒමට සටන් කළා. ඒ වගේම ගොවීන්ට අසාධාරණයක් නොවන ලෙස වී වෙනුවෙන් ඉහළ මිලක් ලබා දී ගොවි ජනතාව ආරක්ෂා කළා.

ඒ වගේම මෙවරත් මම රටේ ආර්ථිකය වෙනුවෙන් යෝධ ඉදිරි පිම්මක් තබන්න මෙම non woven කර්මාන්තශාලාව හරහා සැලසුම් කරනවා. විශේෂයෙන්ම මේ රටේ ඉන්න ගොඩක් ව්‍යාපාරිකයන් අඩු පිරිවැයක් ගැන හිතලා රටෙන් එළියට තමන්ගෙ ව්‍යාපාර අරගෙන යන කාලයක, මම මෙම නවතම කර්මාන්තශාලාව හරහා තව තවත් රැකියා උත්පාදනය කරමින් විදෙස් වෙළඳපොළ ජයගැනීමට වෙර දරනවා.

ඒ නිසා තමන්ට ඕනෑම මොහොතක එන අභියෝග වලට කිසිසේත්ම බය වෙන්න එපා කියන පණිවිඩය මම මේ රටේ තරුණ ඔයාල ඉදිරියෙ තියනවා. දියුණු වෙන්න නම් අවධානම ගන්න ඕන. මමත් එහෙම අවධානම අරගෙන දියුණු වුණ කෙනෙක්. විශේෂයෙන්ම මමත් ඔයාල වගේම පොඩි තැනක ඉඳන් පියවරෙන් පියවර ගොඩනැඟුණු ව්‍යාපාරිකයෙක්.



''අද සමස්ත ලෝකයටම දොරටු විවර කරන මේ නවතම ව්‍යාපාරය තව නොබෝ දිනකින්ම ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මම සහ මගේ සේවක මණ්ඩළය විසින් සිදුකරනවා. මොකද අද වෙනකොටත් ලෝකයේ ඉහළම තාක්ෂණය මම මේ රටට අරගෙන ඇවිල්ල තියන නිසා.''

 

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නේට ඩඩ්ලි ටිපර්වෙයි

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට කෝටි 10ක් වන්දි වශයෙන් ගෙවිය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (12) ලබාදුන් තීන්දුව ගැනද මාධ්‍යවේදීන් විමසා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාට ගෙවීමට නියම වූ මිලියන සියයක මුදල ගෙවන්නේ ඩඩ්ලි සිරිසේන දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්නකළ අවස්ථාවේදී  තරමක කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ ඩඩ්ලි සිරිසේන,  " ඇයි උසාවියෙදි කොහේවත් කිව්වද අයියට ඒ ගෙවන්න කියපු වන්දි මුදල් ගෙවන්න ඕන මල්ලි කියලා. කරුණාකරලා ඔයාල වගකිවයුතු මාධ්‍යවේදීන් විදියට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන " යැයි පැවසිය.

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්