පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (16) සිදුවිය.



breastcancerdetect.health.gov.lk යන එම වෙබ් අඩවියෙන් පිළිකාව පිළිබඳ දැනුවත් වීම, පරීක්ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම සිදු කරගත හැක.

ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

2019 දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වූ අතර එය  2020 වන විට 5000 ඉක්මවා තිබේ. 2019 දී වාර්තා වූ රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන්ය.

 

2020 වන විට ඇස්තමේන්තුගත වාර්තා අනුව කාන්තාවන් ලක්ෂයකට 27 දෙනෙකු මෙරටින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් ලක්ෂයකට 11 දෙනෙකු මිය යන මට්ටමක් වාර්තාවේ. ඉන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 - 50 ඉක්මවූ කාන්තාවන් වේ.

 

කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාව තුළ බොහෝ පරිවර්තනයන් ඇතිවූ බවත් විශේෂයෙන් අන්තර්ජාල වේදිකා භාවිතය ඉහළ ගිය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද එය පරිවර්තනීය වෙනසකට යොදා ගැනීමට හැකි වූ බවත් වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසිය.

කොවිඩ් එන්නත් කිරීමේ ඩිජිටල් සහතිකය, ඉන්ධන කෝටාව සඳහා QR කේතය හඳුන්වා දීම වැනි ප්‍රවණතාවන් මෑතකාලීනව මෙරට ඇති වූ පරිවර්තනය වෙනස්කම් යැයි ද ඉදිරියේ දී මෙවැනි වෙනස්කම් රාශියක් මෙරට බොහෝ විෂය පද්ධතීන් වලට එකතු වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

විශේෂයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහා මෙවැනි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගැනීම අතිශය වැදගත් බවද සංවර්ධිත රටවල් බොහොමයක් මෙවැනි ක්‍රමවේද කලකට පෙර භාවිතයට ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට එවැනි ක්‍රමෝපායන් කරා එකවර යා නොහැකි වුවත් එවැනි ක්‍රමෝපායන් කරා පරිවර්තනය වීම කාලීන අවශ්‍යතාවයක් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



පියයුරු පිළිකාව කලින් හඳුනා ගතහොත් ශල්‍යකර්ම ඖෂධ භාවිතය විකිරණ ක්‍රමවේද මඟින් නිට්ටාවටම සුවකර ගත හැකි බවත් පියයුරු ආශ්‍රිත සම ඝනවීම, සම මතුපිට වල ගැසීම, තනපුඩුව මත කුෂ්ඨ ඇති වීම, තන පුඩුවෙන් අසාමාන්‍ය දියරයක් ගැලීම, තනපුඩුව ඇතුළට ගිලීම, තද ගැටිති, පියයුරු වල ප්‍රමාණය හා හැඩය වෙනස් වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එම වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වී දිනයක් වේලාවක් වෙන් කරගෙන හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකට හෝ රජයේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු පෙන්වා දුන්නාය.



පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන නාරාහේන්පිට ජාතික පිළිකා මර්දන කාර්යාලය ට අමතරව රත්නපුර, මාතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලද එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර එයට අමතරව දිවයිනේ ප්‍රධාන රෝහල් 24ක පියයුරු පිළිකා සායන පැවැත්වේ .

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල්ද අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඊශානි ප්‍රනාන්දු, වෛද්‍ය දිලංක තිලකරත්න ( ව්‍යාපෘති ක්‍රියාකාරකම් සම්බන්ධීකරණ) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

breast cancer 1

breast cancer 2

breast cancer 4

breast cancer 3

breast cancer 5

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්