රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වර්ජනයක නිරත වීමට නියමිතය.



ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම සහ රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව රජයේ වෛද්‍යවරු අත්‍යාවශ්‍ය හදිසි සේවා හැර රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලුම ප්‍රතිකාරවලින් ඉවත් වී එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අමතරව කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

මේ අතර බැංකු සේවකයින්ද නව බදු සංශෝධනයට එරහිව අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

විදුලිය, ජල සම්පාදන, ඛනිජ තෙල් සහ වරාය යන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අද (8) පස්වරුවේ කොළඹ කොටුවේ දී ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙති.

වරාය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති උදෑසන සිට අකුරට වැඩ කරන බව ප්‍රකාශ කර ඇති අතර, පස්වරුවේ විරෝධතාවයට එක්වීමට නියමිතය.

ජල සම්පාදන, ඛණිජ තෙල් හා විදුලිබල සම්පාදන අංශයේ වෘත්තීය සමිති අද (8) අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකර විරෝධතාවයට එක්වන බව නිවේදනය කර ඇත.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි පැවසීය. ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් ද අද ලෙඩ නිවාඩු වාර්තා කරන බවට ලිඛිතව දැනුම් දී ඇත.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්, විශ්වවිද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතුළු අනෙකුත් ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් රැසක් අඩාල වීමට නියමිතය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය ප්‍රකාශ කළේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහි විරෝධතාවට සහය පළ කළද බාධාවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.



JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්