යෝජිත පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.



පළමුවරට ජනාධිපති ධුරයට පත්වන කෙනකුට ඔහුගේ පත්වීමෙන් වසර 4ක් ඉකුත් වූ පසු නැවතත් ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාශය ප්‍රකාශ කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3)(අ) වගන්තියේ සඳහන්ය.

එලෙස ජනාධිපතිවරණය කැඳවීමට පෙර ඒ පිළිබඳව පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි.

වත්මන් ජනාධිපතිවරයා මැතිසබා ඡන්දයෙන් තේරී පත්වුවද ඔහු දරනු ලබන්නේ ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි. ගෝඨාභය රාජපක්ෂ මුල්වරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ වර්ෂ 2019 නොවැම්බර් මස 17 දිනයි. ඒ අනුව ඔහුගේ පළමු ධුර කාලයේ වසර 4 සම්පූර්ණ වන්නේ 2023 නොවැම්බර් මස 17 දාටයි.

රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ගේ පළමු ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන බැවින් ව්‍යවස්ථානුකූලව පළමු ධුර කාලයේ වසර 4ක් ඉකුත් වීමත් සමඟ නව ජනාධිපතිවරණයක් කැඳවීමට ඔහුට වරම හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ඒ අනුව පළාත් පාලන ඡන්දයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.


නොවැම්බර් මස ජනපතිවරණයක් බෑ ! - ''ජනාධිපතිට ලණුවක් දීලා''


කෙසේවුවද පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසන්නේ නොවැම්බර් මස ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලයක් නොමැති බවයි.

ගම්මන්පිල මන්ත්‍රීවරයා එබව ප්‍රකාශ කර සිටියේ පසුගිය 22 දා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.  එහිදී ඔහු මෙසේ පැවසිය.


'' සමහරු කියනවා ජනාධිපතිතුමා පුංචි ඡන්දය කල් දාන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් කියලා.  ඒක නිසා ජනපතිවරණයට කලින් ආණ්ඩුව වෙනත් ඡන්දයක් පවත්වලා ඒක අන්ත පරාජයකට පත් වුණාම ජනාධිපතිතුමාට නොවැම්බරයේ පවත්වන ජනාධිපතිවරණයට අයහපත් විධියට බලපාන්න පුළුවන්. ඒක නිසා ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු.  මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කලාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාව හරි හැටි කියවපු නැති ගොඩ පෙරකදෝරුවෙක් තමයි නොවැම්බර් 18 ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන් කියා ජනාධිපතිට ලණුවක් දීලා තිබෙන්නේ.'' ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසිය.

 



 JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්