මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දුන් ආකාරය ගැටළු සහගත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු

මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් කතානායකවරයාට උපදෙස් ලබාදුන් නිලධාරින් සිතාමතා හෝ නොසැලකිලිමත්ව කතානායකවරයා නොමඟ යවා ඇති බවයි.

මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි වීම වලක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ කෙටුම්පතට සංශෝධන 80ක් පිටු 54ක් පුරා යෝජනා කර ඇති බව ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.  

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේය.


නඩු තීන්දුව ගැන කතානායකගේ ප්‍රකාශය වරප්‍රසාද කඩ කිරීමක්


 '' පසුගිය අප්‍රියෙල් 4දා කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මහ බැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකග බැවින් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැණුම් දීලා තියෙනවා කියලයි. ඇත්තෙන්ම ඒක එක පැත්තකින් පාර්ලිමේන්තුව නොමග යැවීමක්.  අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්. ''

මහ බැංකු පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ මන්ත්‍රිවරයෙකු වගේම නීතිඥයෙකු ලෙස මෙම ප්‍රකාශය පිලිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී මතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.  සමස්ත පනත් කෙටුම්පතම ව්‍යවස්ථාවට එකඟයි නම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පිටු 54ක් පුරා ලිව්වේ මොනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.

පනත් කෙටුම්පතක වගන්තියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් කාරණා හතරක් පමණයි.

1) ව්‍යවස්ථාවේ අහවල් වගන්ති උල්ලංඝණය කරන නිසා කෙටුම්පතේ ඒ වගන්තිය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ඕනෑ.

2) ව්‍යවස්ථාවේ අහවල් වගන්ති උල්ලංඝණය කරන නිසා ඒ වගන්තිය සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ඕනෑ.

 3) ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නමුත් මෙසේ සංශෝධනය කලොත් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න පුළුවන්

4) ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝණය නොකරන නිසා සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න පුළුවන්.



ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය කියන විට මුලින්ම කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන කෙටුම්පතේ වගන්ති කියනවා. ඊට පස්සේ උල්ලංඝණය වීම නැති කරන්න සංශෝධනය කළ යුතු ආකාරය යෝජනා කරනවා. අවසානයේ දී ඉහත කී සංශෝධන වලට යටත්ව මෙකී කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බැවින් සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්න පුළුවන් බව සඳහන් කරනවා.  




 කතානායකතුමාට උපදෙස් දුන්නු නිලධාරියා පිටු 54ම කියවන්න තිබෙන කම්මැලිකමට අන්තිම ඡේදය විතරක් කියෙව්වා. සියළුම වගන්ති ව්‍යවස්ථාවට එකඟයි කියලා තේරුම් ගත්තේ ඒකයි. කතානායකතුමාට තීන්දුව කියවන්න ප්‍රමාණවත් කාලයක් තිබුණේ නෑ. පිටු 54ක් කියවන්න එතුමාට වෙලාවකුත් නෑ.  ඒ රාජකාරිය භාර වුණු නිලධාරියා නොසැලකිල්ල මත හෝ සිතා මතා කතානායකතුමාව නොමග යැව්වේ ඇයි කියන කාරණය පිළිබඳ අනිවාර්රයෙන්ම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර පරික්ෂණයක් කළ යුතුයි.


මහ බැංකු පනත් කෙටුම්පත පොඩි එකාගේ ලියුම වගේ. සංශෝධන 80ක් යෝජනා කරලා



ඇත්තෙන්ම මහ බැංකු පනත් කෙටුම්පත පොඩි එකාගේ ලියුම වගේ. මෙතරම් බරපතල ලෙස වැරදි පිරුණු කෙටුම්පතක් අපි දන්න කාලයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. මේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි වීම වලක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ කෙටුම්පතට සංශෝධන 80ක් පිටු 54ක් පුරා යෝජනා කරලා තිබෙනවා.  මම නැවත වතාවක් කියනවා සංශෝධන 80ක් පිටු 54ක් පුරා යෝජනා කරලා තිබෙනවා. ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන සංශෝධන වගේම නීතිපතිතුමා විසින් කෙටුම්පත දෝෂ සහිත බවට පිලිගෙන කාරක සභා අවස්ථාවේ දී ආණ්ඩුව විසින් ගෙන එන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන ද ඇතුලත්.  

ඒ සංශෝධන නොකරනවා නම් අනිවාර්රයෙන්ම තුනෙන් දෙකේ විශේෂ බහුතර බලයෙන් පනත සම්මත විය යුතුයි.  ඒ වගේම 19(2), 19(5), 19(6), 26, 28 සහ 111(2) යන වගන්ති සම්මත වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලයට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.


කෙටුම්පත හැදුවේ නීති කෙටුම්පත් සම්පාදක නොවේ


 අපි නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමග සමීපයෙන් වැඩ කර තිබෙනවා. එතැන ඉතාම දක්ෂ නිලධාරින් පිරිසක් ඉන්නවා. එහෙමනම් වැරදි 80 සිදු වූයේ කොහොමද? අපට තිබෙන තොරතුරු අනුව මේ පනත් කෙටුම්පත සකසලා තිබෙන්නේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නොවේ. පිටතින් සකසලා දෙපාර්තමේන්තුවට ලබා දීලා තිබෙනවා. මේ කෙටුම්පත හැදුවේ කවුද පොඩි එකාගේ ලියුම වගේ කෙටුම්පතක් හදන්න කීයක් ගෙව්වා ද කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය ජනතාවට ප්‍රකාශයක් කළ යුතුයි.


මේ පනත් කෙටුම්පත අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කලේ නැතිනම් ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කරන පොඩි එකාගේ ලිපිය වැනි මහ බැංකු පනත් කෙටුම්පත නීති පොතට එකතු වෙනවා. ඒ වගේම නූල කැඩුණු සරුංගලය වගේ මහජන පාලනයට නතු නොවන රාජ්‍ය ආයතනයක් බිහි වෙනවා. ඒ නිසා අපට සවන් දී සාධාරණ තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලටත් පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු මා සමග එක් වුණු සියළුම පෙත්සම්කරුවන්ටත් ජාතියේ ප්‍රණාමය පුද කරනවා.  ''  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image