විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහ පිරිසක් එක්ව නව දේශපාලන බලවේගයක් සැකසීමට තීරණය කර තිබේ.

චම්පික රණවක, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක් ද එක්ව මෙම එකමුතුව සැකසීමට සාකච්ඡා පවත්වමින් සිටින බව එහි සාමාජිකයෙක් 'දේශය' පුවත්පතට පවසා ඇත.

ඔවුන් නිල විපක්ෂයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමටත්, මැතිවරණ සඳහා ඉදිරියේදී එක්ව ඉදිරිපත් වීමටත් දැනටම සාකච්ඡා කරමින් පවතින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා තිබේ.

ආණ්ඩුව ඡන්දයකට සැරසෙයි!

මේ අතර ආණ්ඩුව ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ආණ්ඩුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ කැබිනට් අමාත්‍යවරුන් ද ඒ ඒ පක්ෂවල දිස්ත්‍රික් දේශපාලන නායකයන්ගේ ද සහභාගිත්වයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන මෙහෙයුම් කමිටුවක් සැකසීමේ මූලික සාකච්ඡාව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ද එක්වූහ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ සෙසු දේශපාලන සංවිධාන මනා සම්බන්ධීකරණයකින් එක් අරමුණක් ඔස්සේ ක්‍රියා කළ යුතු බව මෙම හමුවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එහිදී පොහොට්ටුව නියෝජනය කරන පක්ෂ කණ්ඩායම වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ, මෙවන් මෙහෙයුම් කමිටුවක් අරඹන්නේ නම් ඒ ගැන මුලින්ම ඒ ඒ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත ද එම අදහස අනුමත කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙම සාකච්ඡාව තවදුරටත් සංවිධානාත්මකව පවත්වා අදාළ මෙහෙයුම් කමිටුව පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්