විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් රජය යෝජනා කර තිබෙන පනත දෙමළ ජනතාවට බරපතල ලෙස

අනිටු බලපෑමක් ඇති කරනු ඇතැයි දෙමළ බුද්ධි මණ්ඩලයක් අනතුරු අගවා තිබේ.

සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ “විද්‍යුත් විකාශන අධිකාරි පනත” සම්මත වූවහොත් දෙමළ ජනයා පීඩා විදින ප්‍රශ්න මාධ්‍ය හරහා ලෝකය හමුවේ අනාවරණය කිරීමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවයි.

" මෙය දෙමළ ජනතාවට විශාල බලපෑමක් ඇති කරනවා. අදටත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීමට මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. දෙමළ ප්‍රශ්න ගැන සංවාදයක් ඇති කිරීමේ වැඩකටයුතු මාධ්‍ය පාලනය නිසා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙනවා."



සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ නීතිඥ ඒස්.ඒ ජෝතිලිංගම් ජුනි 5 වැනිදා යාපනයේදී වැඩි දුරටත් සදහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතිවන විරෝධතා ලෝකය හමුවේ අනාවරණය වීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව මෙම පනත ගෙන ඒ්මට සුදානම් වන බවයි.



"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන විට සිංහල ජනතාවගෙන් විරෝධතා එල්ල වෙනවා. ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදය මෙයයි. ඒ නිසා එම විරෝධතා පාලනය කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ නිසා මාධ්‍ය විරෝධතා වාර්තා කිරීමට පෙළඹෙන විට ප්‍රශ්නය විශාල වෙනවා. ඒ නිසා මාධ්‍ය පාලනය කිරීමෙන් මේවා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට යාම නවත්තන්න හැකියාව ලැබෙනවා."

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගනු ලැබීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජුනි 5 වැනිදා පවසා තිබුනි.

සිංගප්පූරුවේ වගේ

යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර මුලදී සඳහන් කර තිබුනි.

ඒ ජනාධිපති නිල නිවසේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග 2023 ජනවාරි 6 වැනිදා පැවති සාකච්ඡාවකදී ය.

පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බව එහිදී පැවසු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා තිබුනේ සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් අතර එය අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.



“ව්‍යාජ ප්‍රවෘත්ති” නවතාලීමට යයි කියමින් සිංගප්පුරු රජය විසින් 2019 දී නීතිගත කළ POFMA පනත විවේචකයන් හා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමට දිගින් දිගටම යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.



සමාජ මාධ්‍ය ඔස්සේ පලකෙරෙන තොරතුරුවලට රටතුල ඉන්නා පුද්ගලයන්ට ප්‍රවේශ විය නොහැකි සේ තහංචි පැනවීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සමාගම්වලට එම පනත යොදාගෙන නියෝග කිරීමට සිංගප්පූරු බලධාරීන් පියවර ගෙන තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්