තවමත් අහෝසි කොට නැති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්

දෙදහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් සිරගතකොටගෙන සිටින  බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් සඳහන් කර ඇත්තේ 2009 දෙසැම්බර් 31 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ වසර දහ තුනක කාලයේ PTA යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 2793 ක් බවයි.

රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 2473 වන අතර අධි චෝදනා ලැබුවන් 184 කි.

දුස්තොරතුරු වාර්තා විමර්ශනයේ යෙදෙන 'වොච් ඩෝග් ටීම් ක්‍රියාධර යුධන්ජය විජේරත්න විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයට මාර්තු 13 වැනිදා ලිපියක් යොමු කරමින් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව විමසීමෙන් මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

මෙයින් සාතිශය බහුතරය පාස්කු ප්‍රහාරයටත්, LTTE වාදීන් ලෙසත් රඳවාගෙන සිටින මුස්ලිම් හා දෙමළ අය බවට විශ්වාස කෙරේ.


හත් පොලක රඳවා

කොළඹ 01 නව මහ ලේකම් ගොඩනැගිල්ලේ හය වැනි මහල, කොළඹ 01 චෛත්‍ය පාරේ  අංක 101, බුස්ස රැඳවුම් මධ්‍යස්ථානය, තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය, කොළඹ පහේ කිරුලපන මාවතේ අංක 149 දරන  බුටානි කැපිටල් ගොඩනැගිල්ල, වවුනියාවේ පොලිස් කාර්යාල සංකීරණය, ඕමන්තේ අරිසමුරුප්පු රැඳවුම් මධ්‍යස්ථානය ඇතුළු ස්ථානයන් හතේ ඔවුන් රඳවා සිටින බවද ත්‍රස්ත විමර්ශන ප්‍රධානියා සහතික කර තිබේ.

ත්‍රස්ත නීති යොදාගෙන රැගෙන යන පුද්ගලයන් හෙළි නොකළ ස්ථානවල රඳවාගෙන වධහිංසා පමුණුවන බවට විශ්වසනීය සාක්ෂි මානව හිමිකම් සංවිධාන විසින් ඉකුත් දශකයකට වැඩි කාලය තිස්සේ අනාවරණය කර තිබේ.

මහමගදී පැහැරගෙන ගොස් PTA යොදාගෙන රඳවාගෙන 13 වසරකට පසු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද සම්මානලාභී දෙමළ ලේඛක සිවා අරුරන් පොලිසිය සිරභාරයෙදී දුන් වධහිංසාවේ ස්වභාවය ඉකුත්දා සිංහලෙන්ම විස්තර කළේ මහත් වේදනාවෙනි.

සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ (JDS) විසින් තුන් අවුරුද්දකට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාවක පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ විවිධ අතුරු සන්නද්ධ කල්ලි විසින් දිවයින පුරා පවත්වාගෙන ගිය ස්ථාන 220 කට ආසන්න සංඛ්‍යාවක් 'වධක බිම්' නමින් සිතියම්කොට දක්වා තිබුණි.

අධි චෝදනා කිරීමෙන් අනතුරුව ඇප මත සිටින සැකකරුවන් 44 ක් වන බවත් අධිකරණයෙන් නිදොස්කොට නිදහස් කළ සංඛ්‍යාව 31 ක් බවත් ලිපියේ සඳහන්වේ.

සැකකරුවන්ට අධි චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අස් කරගන්නා ලද සංඛ්‍යාව දහයකි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්