සුපුන් වෙන්නප්පුව අවට දිවි ගෙවන අවුරුදු 25 ක් පමණ වන තරුණයෙකි.

මීට තුන්මසකට පෙර මෙරට රැකියා ඒජන්ත ආයතනයක් හරහා රුමේනියාවේ රැකියාවකට අයදුම්කර ඇති ඔහු එම රැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂාවන් සිටියි.

“මෙහෙ ඉඳලා වැඩක් නැහැ. රට ගිහින් කීයක් හරි හොයාගත්තොත් මිසක් නැතිනම් ගොඩ යන්න විදියක් නෑ.” යි සුපුන් කියා සිටියේය.

ඔහු රුමේනියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ඒ හරහා ඉතාලිය යෑමේ අපේක්ෂාව සහිතව ය.

මීගමුව සිට හලාවත දක්වා මුහුදු තීරයේ හා ඒවට ගම්, නගරවල දිවි ගෙවන්නන් බොහෝ දෙනෙකුගේ සිහින දේශය ඉතාලිය යි.

නිත්‍යානුකූල ලෙස හෝ අනීතික ක්‍රම මගින් ඉතාලියට යාමට තවමත් මෙහි වෙසෙන බොහෝ දෙනා බලා සිටිති.

මෙහි වෙසෙන සෑම පවුලකින්ම එක් අයෙකු හෝ පවුල් පිටින්ම දැනටමත් ඉතාලියේ රැකියා සඳහා මෙරටින් පිටව ගොස් ඇති අතර ඇතැමුන්ට එරටෙහි පුරවැසිභාවය ද හිමිව තිබේ.

වසර ගණනාවක සිටම මීගමුව, වෙන්නප්පුව හා මාරවිල ප්‍රදේශ “පුංචි ඉතාලිය” නොහොත් " පුංචි රෝමය" යන අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රසිද්ධ වීමට එයද එක හේතුවක් වී තිබේ.

මීට වසර කිහිපයකට පෙර බෝට්ටුවෙන් ඉතාලියට යාමේ ඉතා දුෂ්කර මෙන්ම අවදානම්කාරි ගමනට දැන් බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ නැත.

ඉතාලියේ සිටින අයෙකු විවාහ කරගැනීම හෝ වෙනත් අයෙකුගේ වීසා බලපත්‍රයකට හෝ වෙනත් ක්‍රමයකට මිනිස් ජාවාරම්කරුවන් හරහා ඉතාලියට යාම තවමත් මේ ප්‍රදේශවල ප්‍රචලිත වුවද එය තරමක් වියදම් අධික ය.

ඉහත ආකාරවලට ඉතාලි යාමට රුපියල් ලක්ෂ තිස් පහත්, හතලිහත් අතර මුදලක් වැය වන බව අප කළ සොයා බැලිමේ දී දැනගන්නට ලැබුණි.


රුමේනියාවෙන් ඉතාලියට

“මීට කලිනුත් ඉතාලි යන්න බලාගෙන කොලයක් දැම්මා (ඉතාලි වීසා ඉල්ලුම් පතක්) ඒත් ඒක හරි ගියේ නෑ. තව ක්‍රමවලට යන්න බැලුවත් ගාණ වැඩී. රුමේනියා ගිහින් යන එක ලේසියි, ලාභයි.” සුපුන් කියයි.

“මගේ යාලුවෙකුත් මීට අවුරුද්දකට විතර කලින් රුමේනියා ගිහින් ඉතාලියට පැන ගත්තා. මමත් රුමේනියා ගිහින් ටික කාලයක් ඉදලා ඉතාලියට යනවා.

රුමේනියාවේ ඉදලත් වැඩක් නෑ. ඉතාලි ගියොත් කීයක් හරි හොයාගන්න පුලුවන්. අනිත් එක අපේ පැත්තේ කවුරුහරි ඇමරිකාවේ හිටියත් වැඩක් නෑ, ඉතාලියේ ඉන්නවා කියන එක තරම් ගතියක් නැහැ.”

“මගේ යාලුවෝ, නෑදෑයෝ විතරක් නෙමෙයි ගෙවල් අහල පහල අයත් ඕන තරම් ඉතාලියේ ඉන්නවා මට රස්සාවක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතාලි භාෂාවත් චුට්ටක් විතර මට පුලුවන්නේ.” සුපුන්ගේ හඬේ හි ඇත්තේ බලාපොරොත්තු සහගත ස්වරයකි.

Rumeniya Itali

කන්ටේනරයේ ඉතාලියට ගිය ගමන

“මම රුමේනියාවේ මාස දහයක් විතර ඉදලා තමයි ඉතාලියට ආවේ. මට ඒකට යුරෝ 4500 ක්(රුපියල් ලක්ෂ දාහතරක් පමණ) වියදම් වුනා” යැයි මාස කිහිපයකට පෙර රුමේනියාවේ සිට ඉතාලියට ගිය සහන් අප වෙත කියා සිටියේය.

වලංගු වීසා බලපත්‍රයක් නැතිව ඉතාලියේ රැඳි සිටින ඔහු ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකුට අයත් වෙළඳ සැලක සේවය කරමින් සිටියි.

“මම රුමේනියාවේ ඉදලා ඉතාලියට ආවේ කන්ටේනර් එකක. මාත් එක්ක තව 35 ක් 40 ක් විතර ආවා, ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානේ, නේපලයේ කට්ටිය තමයි හිටියේ. පැය 28 ක් විතර ගියා ඉතාලියට එන්න.” ඔහු ඉතාලියට ආ ගමන යළි ආවර්ජනය කළේය.

“රුමේනියාවේ තියෙන පොඩි ගමකට එන්න කියලා එතනින් තමයි අපිව ගත්තේ. වතුර, කෑම අරගෙන තමයි අපි ආවේ. අපි එක්ක ආපු කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. හැංගිලා යන්න පුලුවන් විදියට, කට්ටියට ඉන්න පුවුන් විදියට, හුස්ම ගන්න පුලුවන් විදියට කන්ටේනර් එක හදලා තිබුනේ."

සිතෙහි ඇති ආශාවට ඉතාලියට පැමිණි බව සහන් පැවසුව ද වීසා නොමැතිව අඩු වැටුපකට රැකියාවක් කිරිමට සිදුවීම ගැන ඔහු දැන් කනස්සල්ලෙන් පසු වෙයි.

“හැම කෙනෙක්ම ඉතාලියට ආවාට පස්සේ සරණාගත වීසාවලට ඇප්ලයි කරනවා. මම ඉතාලියට ඇවිත් මාස අටක් විතර වෙනවා ඒත් තවම වීසා ගන්න කිසි දෙයක් කළේ නැහැ. වීසා නැතිව ජොබ් එකක් හොයා ගන්න අමාරුයි, ඩොකියුමන්ට් නැති නිසා වැඩ කරන්න වෙන්නේ අඩු පඩියකට. ඩොකියුමන්ට් නැතිව රස්සා දෙන්නේ නැහැ මෙහෙ (ඉතාලියේ) මොකද එහෙම කරලා අහුවුනොත් රස්සාව දුන්න කෙනාටත් ප්‍රශ්න වෙනවා.”

වීසා කාලය ඉක්මවා රටක රැඳී සිටියහොත් මොකද වෙන්නේ?

“ඩොකියිමන්ට් නැතිව ඉතාලියේ ඉන්නවාට වැඩිය රුමේනියාවේ හිටියා නම් හොඳයි කියලා දැන් හිතෙනවා. මොන රස්සාව කරන්න දැනුම, හැකියාව තිබුණත් ඉතාලියට ආවාට පස්සේ කරන්න වෙන්නේ මෙහෙ තියෙන රස්සාවක් තමයි. සුද්ද කරන ඒවා, හෝටල්වල පිඟන් හෝදනවා වගේ රස්සා තමයි හම්බ වෙන්නේ. ඒවත් ස්ථිර නැහැ. වැඩ තියෙන්නේ ටික කාලයයි. සීත කාලයට ජොබ් හොයන්න අමාරුයි.” රැකියාවට යන අතරතුර කඩිමුඩියේ අප හා සම්බන්ධ වු සහන් තම ඉතාලි ජිවිතය විස්තර කළේ එලෙසිනි.

යුරෝපා සංගමයට අයත් ඉතාලිය වැනි රටක වීසා කාලසීමාව ඉක්මවා රැඳී සිට යම් හෙයකින් හසුවුවහොත්; දඩයක් පැනවීම, ක්ෂණිකව පිටුවහල් කිරීමට ලක්වීම හෝ යම් කාලසීමාවක් සඳහා ෂෙන්ගන් කලාපයට ඇතුළුවීමේ තහනමකට ලක්විය හැකි ය. වීසා තොරතුරු එම රටවල ආගමන විගමන දත්ත පද්ධතිවලට ඇතුළත් නිසා, කලාපයට ඇතුල්වන්නන්ගේ වීසා කල් ඉකුත්වන දිනය ද ඒවායෙහි සටහන් වේ.


“පැකේජ් කීපයක් තියෙනවා ඒවාට යුරෝ 3000 ඉඳලා 4500 වගේ වෙනකම් ගානක් ගන්නවා"

මේ අතර රුමේනියාවේ සිට ඉතාලි යාමට නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ පහසුකම් සපයන තැරැව්කරුවකු සොයා ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

මහත් පරිශ්‍රමයකින් පසුව ඔහුව සම්බන්ධ කරගත් අතර නම හෙළි නොකරන පොරොන්දුව මත රුමේනියාවේ සිට ඉතාලියට යන ගමන ගැන විස්තර ඔහු අප වෙත කියා සිටියේය.

“පැකේජ් කීපයක් තියෙනවා ඒවාට යුරෝ 3000 ඉඳලා 4500 වගේ වෙනකම් ගානක් ගන්නවා. කන්ටේනර් එකෙන්, කාර් එකෙන්, ට්‍රක් එකෙන් වගේ ක්‍රමවලින් ගිහින් දානවා. සර්බියාව හරහා හංගේරියාව හරහා වගේ යන ක්‍රමත් ගොඩක් තියෙනවා. ඔය කොයි ක්‍රමයට ගියත් යන්න වෙන්නේ හැංගිලා තමයි.” හෙතෙම කියයි.

“මම කරන්නේ කාර් එකෙන් ගිහින් දාන කෙනෙක්ට සෙට් කරන එක. රුමේනියන් කාරයෙකුයි, ඉතාලි කාරයෙකුයි තමයි වැඩේ කරන්නේ යුරෝ 4000 ක් 4500 ක් විතර යනවා වැඩේට, අපි සල්ලි ගන්නේ ඉතාලියට ගිහින් දැම්මාට පස්සේ.”

මේ අවදානම්කාරි ගමන ගැන තැරැව්කරු තවදුරටත් විස්තර කළේය.

“කාර් එකේ ඩිකියේ තමයි හැංගිලා යන්න වෙන්නේ, හැබැයි ඒවා ලංකාවේ වාහනවල ඩිකිය වගේ නෙමෙයි ඊට වඩා සුව පහසුයි අනිත් එක මේ කාර්වල ඩිකිය මනුස්සයෙක්ට යන්න පුලුවන් විදියට වෙනස් කරලා තියෙන්නේ. හුස්ම ගන්නත් පුලුවන් විදියට තමයි වෙනස් කරළා හදලා තියෙන්නේ, හංගේරියාව පැන්නට පස්සේ ඩිකියෙන් එළියට ගන්නවා ඒත් ඉතාලිය ළං වෙද්දි ආයෙත් හැංගෙන්න වෙන වෙලාවල් තියෙනවා.”

“මෙහෙම හොරෙන් ඉතාලි බෝඩර් පනින්න යද්දි බැරි වෙලාවත් චෙක් කරලා අහුවුනොත් කෑම්ප් එකකට දානවා. අපි දවසක් දෙකක් ඇතුලත ඒ කෑම්ප් එකෙනුත් එළියට පන්නවා. හැබැයි ඒකට ඒ කෙනාගේ උත්සාහයත් තියෙන්න ඕනේ.”

“මෙහෙ (රුමේනියාවේ) අහුවුනා කියලා කිසි අවුලක් නෑ කෑම්ප් එකේ තියාගෙන ඉදලා එළියට දානවා දවස් ගානක් ඇතුලත රටෙන් පිට වෙන්න කියලා දැනුම් දෙනවා ඒත් කවුරුත් හොයන්නේ නැහැ පිට වුනා ද නැද්ද කියලා. මම දන්න ඉන්දියන්කාරයෙක් ඉන්නවා ඉතාලි යන්න ගිහින් පස්, හය පාරක් අහුවුනා තවම මෙහෙ ඉන්නේ ආයේ කොයි වෙලාවේ හරි ඉතාලියට යන්න බලයි.” සිය වසර ගණනක අත්දැකිම් ඔහු එක පොදියට විස්තර කළේය.

ඔහු පවසන ආකාරයට රුමේනියාවේ සිට ඉතාලියට යන ගමනට පැය දොලහක් පමණ ගත වන අතර හංගේරියාවේ දී වාහන තදබදයට හසුවුවහොත් ගමන අවසන් කිරීමට යන කාලය තවත් පැයක් පමණ දික් වෙයි.

“අපි ටික දවසකට කලිනුත් ලංකාවේ කීපදෙනෙක්ව ඉතාලියට ගිහින් දැම්මා. හැමදාම යන්නේ නැහැ. යන්න පුලුවන් දවස් තියෙනවා එදාට විතරයි යන්නේ. ගිහින් දාන කිසි කෙනෙක් එක්ක අපි සම්බන්ධකම් තියා ගන්නේ නැහැ, ඉතාලියට ගිහින් දැම්මා, සල්ලි ගත්තා අපේ වැඩේ ඉවරයි. මේ ටිකේ අපි වැඩේ කරන්නේ නැහැ. දැන් චෙක් කරන එක ටිකක් වැඩි කරලා තියෙන්නේ. සමහර මාසවල එක වැඩක්වත් කරන්නේ නැහැ. සල්ලි දුන්නට එහෙම එක පාරට යන්න බැහැ වෙලාව එනකම් බලාගෙන ඉන්න වෙනවා.”

ලාංකිකයන්, ඉන්දියානුවන් වැනි ආසියාතික රටවල් බොහෝමයක පුද්ගලයන් රුමේනියාවට පැමිණ ඉතාලියට පැන යන බව ඔහු කියයි.


“ගෑණු, පිරිමි කියලා බේදයක් නැහැ දෙගොල්ලොම එනවා ඉතාලියට පැන ගන්න.”

Rumeniya Itali 2

රැකියා සඳහා ලියාපදිංචි වී රුමේනියාවට සහ ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ඉහත දත්ත බීබීසී සිංහල සේවය විසින් විමසන ලදුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අප වෙත ලැබුණි.

කෙසේ නමුත්, කෙතරම් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතාලියට අනවසර මාර්ග ඔස්සේ පිවිස සිටියි ද, බල්ධාරින්ට හසු තිබෙන බවට තොරතුරු තිබේද යන්න හෝ එවන් කොපමණ දෙනෙකු ඉතාලියෙන් පිටුවහල්කර හෝ වෙනත් දඬුවමකට යටත් කොට ඇතැයි ද යන තොරතුරු එම කාර්යංශය සතුව නැතැ යි ප්‍රකාශ කළේ ය.

නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රුමේනියාවේ සිට ඉතාලි යන මෙම අවදානම් ගමන අතරතුර මිය ගිය හෝ වෙනයම් අපදාවකට පත්වු අය, ආරක්ෂක අංශවලට හසුවු හෝ වෙන මොනයම් ආකාරයක කරදරයකට, පීඩාවකට පත්වුවන් ගැන තොරතුරු දන්නේ දැයි අප සම්බන්ධ කරගත් තැරැව්කරුගෙන් ද විමසීමක් කළ අතර ඒ පිළිබඳ වැඩි විස්තර සැපයීම ඔහු ද ප්‍රතික්ෂේප කළේය.

(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්