එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස

ජනාධිපති වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබ සිටී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (29) විශ්‍රාම ලැබීය. උදේනි රාජපක්ෂ පත් කෙරුණේ ඒ අනුවය.

නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබූ එයාර් මාෂල් උදේනි රාජපක්ෂ අද (29) පස්වරුවේ සිය පත්වීම් ලිපිය භාර ගනු ලැබිය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති කාර්යාලයේදී නව ගුවන් හමුදාපතිවරයා වෙත ඔහුගේ පත්වීම් ලිපිය භාර දුන් බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි එම පත්වීම සිදු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උදේනි රාජපක්ෂ ගුවන් හමුදාපති ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය. ඔහු  මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ 2022 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදාය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන රාජපක්ෂ යුද සමයේදී ගුවන් මෙහෙයුම් රැසකට දායකත්වය දුන් පළපුරුදු ගුවන් නියමුවෙකු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඔහු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම සහ බණ්ඩාරනායක යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය.

උදේනි රාජපක්ෂ ගුවන් හමුදාවට 1988 වර්ෂයේදී බැඳී ඇත්තේ කැඩෙට් නිලධාරියකු වශයෙනි. ඔහු 1990 වසරේදී පියසර නිලධාරියකු ලෙස අධිකාරි ලැබීය.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන උදේනි රාජපක්ෂ, ප්‍රහාරක සහ මගී ප්‍රවාහන ගුවන්යානා දහයක් පැදවීම සම්බන්ධයෙන් ප්‍රවීණතා ලැබූවෙකි.

උදේනි රාජපක්ෂ ගුවන් හමුදා මූලස්ථානයේදී හෙට ( 30) පෙරවරුවේ ගුවන් හමුදාපති ධූරයේ  වැඩ බාර ගැනීමට නියමිතය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්