අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු

පුද්ගලයින් 17 දෙනෙකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) පස්වරුවේ නියෝග කළේය.

මහජන පීඩා සහ මංමාවත් යන පනත් උල්ලංඝනය කරමින් සහ අධිකරණ නියෝග කඩ කරමින් මෙම සැකකරුවන් උද්ඝෝෂණයේ නිරත වූ බව පෑලියගොඩ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු සඳහන් කළේය.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේ දී ඇතිවු ගැටලුවක් මුල් කරගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබු අතර, පූර්ව විරෝධතාවයට එරෙහිව අධිකරණය ඊයේ  (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම අධිකරණ නියෝගය කඩ කල පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙලෙදුන් සියලු වෙළෙඳසැල් වසා දමමින් මහජනතාවට පීඩාවක් ඇති වන අයුරින් මහා මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ද හිරිහැර වන අන්දමින් උද්ඝෝෂනයේ නිරත වූ බව පෑලියගොඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ  කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දෙමින් නඩුව ලබන 4 වන දා තෙක් කල් තැබීය.



කෙසේ වෙතත්, අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසල් වසා දමමින් වෙළෙඳුන් සිය වෙළෙඳාම් කටයුතුවලින් වැළකී සිටියේය. ඒ, මැනිං පොදු වෙළෙඳපොළේ නොවන අයට වෙළඳ පලේ කඩ ලබාදීමට විරෝධය පළකරමිනි.

 

 

කඩ කාමර දීපු අය අතරේ හමුදා ප්‍රධානීන්ගේ පුතාලා ඉන්නවාද ?

මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ, පෑලියගොඩ මැනිං වෙළදපොලේ කඩ ලබා දීමේදී කිසිදු අක්‍රමිකතාවයක් සිදු වී නොමැති බවයි.

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත සඳහන් කලේ කඩ ලබාදීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට යම් අයෙකුට හැගේ නම් ඒ සදහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි. ඒ පිළිබදව සලකා බැලීමටද සිය අධිකාරිය සුදානම් බවද ඔහු සඳහන් කරයි.

පෑලියගොඩ මැනිං වෙළදපොලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගෙන යාමට මේවන විට කටයුතු යොදා ඇති බවද ප්‍රියශාන්ත වැඩිදුරටක් පවසයි.

ඔහු මේ බව සදහන් කළේ නාගරික සංවර්ධන අධිකාරියේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මැනිං මාකර්ට් ව්‍යාපෘතිය කොළඹ ප්‍රදේශයේ ඉඳන් පෑලියගොඩට ගෙන ගියේ 2020 දෙසැම්බර් මාසයේදී. මෙම වෙළදපොල කොළඹ තියෙද්දි වාහන තදබදය, ප්‍රවාහන පහසුකම් සියල්ල සැලකිල්ලට අරගෙන නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකල නගර සංවර්ධන සැලැස්ම අනුවයි එය සිදු කලේ. ඊට කලින් අපි සමීක්ෂණයක් කළා, කොළඹ මැනිං වෙළදපොල තුළ කඩ කීයක් තියෙනවද කියලා. එහිදි හෙළි වුනේ 1259 දෙනෙක් මෙහි වෙළදාම් කටයුතු කරන බවයි. එයින් තොග වෙළදාම් කරලා තිබුනේ 666 දෙනෙක්. අනික් අය සිල්ලර වෙළදාම් කටයුතු කරලා තිබ්බා.

පෑලියගොඩට මෙම වෙළදපොල ගෙන යන විට වෙළදාම් කිරීම සඳහා කඩ 1288 ක් වෙළදුන් වෙත ලබා දුන්නා. ඒ සියලු අය කොළඹ මැනිං වෙළදපොලේ වෙලදාම් කල අය. කොළඹ තියෙද්දි අක්කර 5 යි වෙලදපොල තිබුනේ. පෑලියගොඩට ගෙන එන විට අක්කර 13ක් විශාල වුණා. ඒ නිසා අපි වෙළදුන් 1259 දෙනාට වඩා වැඩි පිරිසකට පහසුකම් ලබා දුන්නා වෙළදාම් කටයුතු කරන්න. මෙහි කඩ 315 ක් පමණ ඉතුරු වෙලා තිබෙනවා. විවිධ සංගම් හරහා අපිට ඉල්ලීම් ආවා මෙම කඩ ලබා ගන්න. ඒ අනුව මේ සදහා අපි කමිටුවක් පත් කළා. අපේ අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගෙන් සමන්විත එම කමිටුව හරහා තමයි කඩ දෙන්නේ කාටද කියලා තීරණය කලේ.



අපි ටෙන්ඩර් පටිපාටියට ගියේ නැහැ. ඒ එහෙම කරා නම් මෙම කඩ ටික වෙලදාම් කරපු අයට වඩා වෙන අයට ලැබීමේ ඉඩ කඩක් තිබුනා. ඒ අනුව කමිටු වාර්තාව අපිට ලැබුණා. මෙම කඩ ගැන කොප් එකෙනුත් විමසීම් කරලා කඩ සදහා තෝරා ගැනීම සිදු කළා. මේ වන විට කඩ වෙන් කිරීම් සිදු කරමින් පවතිනවා.” නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ හා ඉඩම් සංවර්ධන) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත පැවසීය.




මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය :
අද උද්ඝෝෂණය කරලා මේ අය මොකක්ද ඉල්ලන්නේ ?


පිළිතුර :
සාධාරණ මිලට ජනතාවට එළවළු ලබා දීමයි රජයක් විදිහට අපේ අරමුණ වෙන්නේ. රටේ ඇති අනෙක් පළාත්වල ඒ කියන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල, දඹුල්ල වගේ ප්‍රදේශවල සිටින වෙළද සංගම්වල අයටත් මෙහි වෙලදාම් කටයුතු කරන්න මෙහි අනුගත කරලා තියෙනවා. මේ අය චෝදනා කරන්නේ පිට අයට කඩ දීලා කියලා, මේ වෙළද සංගම්වලට දීපු එකටයි. පිට පළාත්වල තමයි එළවළු වැඩිපුර නිෂ්පාදනය වෙන්නේ. මේ අයගෙන් එළවළු ලැබුනොත් තමයි අපිට අඩු මිලට ජනතාවට එය ලබා දෙන්න පුළුවන් වෙන්නේ.


ප්‍රශ්නය :
මොවුන් චෝදනා කරන්නේ පරණ අයගේ ගිවිසුම් කඩ කරා අලුත් අයට කඩ දීලා තියලයි. දේශපාලඥයින්ට, හිතවතුන්ට, හමුදාවේ ලොක්කන්ගේ පුත්තුන්ට දීලා කියලයි. ඒ ගැන මොකද කියන්නේ ?


පිළිතුර :
කඩ දෙන්නේ කාටද කියලා තීරණය කලේ පත්කල කමිටුව විසින්. ඒ කමිටුව ස්වාධීන කමිටුවක්. අපි වැඩිපුර අවස්ථාව දුන්නේ කොළඹ මැනිං වෙලදපොලේ වෙලදුන්ටයි. ඊට අමතරව මං කලින් කියපු වෙළද සංගම්වල අයටත් කඩ දෙන්න කටයුතු කරලා තියෙනවා. කමිටු තීරණය අනුවයි සියලු කඩ ලබා දීලා තියෙන්නේ. පෑලියගොඩ හිටපු වෙලදාම් කරපු අයටත් යම් සාධාරණයක් අපි කරන්න අවශ්‍යයි. මේ කඩ ලබා දීම හරහා කිසිම කෙනෙක්ට අසාධාරණයක් සිදු වෙලා නැහැ. කිසිම ලියුමකට අපි කඩ දීලා නැහැ.


ප්‍රශ්නය :
නමුත් මේ අය දිගින් දිගටම කියන්නේ මේ කඩ පිට අයට ලබා දෙනවා කියලා නේද? මොකක්ද ඒකේ ඇත්ත නැත්ත ?


පිළිතුර :

'' මෙම කඩ ටික නිකම් වහලා තියන්න බැහැ. කඩිනමින් මේ ටික විවෘත කළ යුතුයි. ඒ අනුවයි 5 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරලා එහි ඉදිරි කටයුතු සිදු කලේ. එය බොහොම විනිවිද භාවයකින් සිදු කළ දෙයක්. කමිටුව තීරණය කළ අවට පමණයි අපි කඩ දෙන්නේ. මැනිං වෙලද සංගමයට බයක් ඇති මෙහි වෙලදාම් කටයුතු සදහා වෙනත් පිරිසක් එද්දි එයාලගේ ලාභය අඩු වෙයි කියලා. වෙළදපොල තරගකාරීත්වය වැඩි වන තරමට පාරිභෝගිකයාට අඩු මුදලට එළවළු ටික ගන්න පුළුවන් වෙන්නේ. මෙම කඩ ලබා දීමේදි යම් කෙනෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අයට අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. එම අභියාචනා සැලකිල්ලට ගෙන ඔවුන්ටත් අපි සාධාරණයක් කරලා කඩ ලබා දෙන්න සුදානම්.''


ප්‍රශ්නය :
කඩ දීපු අය අතරේ හමුදා ප්‍රධානීන්ගේ පුතාලා ඉන්නවද?


පිළිතුර :
කවුද ඉන්නේ කියලා මං හරියටම කියන්න බැහැ. කමිටු තීරණය අනුව තමයි අපි ඒ කඩ ලබා දීලා තියෙන්නේ.


ප්‍රශ්නය :
මෙතැන හිස් කඩ කීයක් තියෙනවද ?


පිළිතුර :
හිස් කඩ 315 ක් තියෙනවා.


ප්‍රශ්නය :
තවම කඩ සදහා තෝරා ගැනීම් කරනවද ?


පිළිතුර:
නැහැ තෝරා ගැනීම් කරලා තියෙන්නේ. නමුත් අවස්ථාවන් කිහිපයක් තිබෙනවා. කාට හරි අසාධාරණයක් සිදු වෙලා නම් අපි ඒ අයට සාධාරණයක් සිදු කරනවා.


ප්‍රශ්නය :
කඩ කීයක් දෙන්න සුදානම්ද ?


පිළිතුර :
මූලික අවස්ථාවේ අපි කඩ 185 ක් ලබා දෙනවා.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්