ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කර්තෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය දිවි ගමන නිමාකරයි.

1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.

ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.

අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වාගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු පොත් 100කට අධික ප්‍රමාණයක් සහ දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන. තිබ්බත දියනිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

 **************************

අනුල ද සිල්වා පිළිබඳ දේවිකා වඩිගමංගාව ගැන ෆේස් තැබු සටහනක් පහතින් 

අනුල ද සිල්වා නම් වූ ඒ අයෝමය ගැහැනිය ද අප හැරගොසිනි.Anuala portrait

මට ලංකාදීපයේ අපේ සටන සිහිපත් වේ.

සටන, අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙනි.

එදා සටනේ පිරිමින් සමඟ එළියට බැස බිම වාඩිගත් පළමු ගැහැනිය වූයේ මා ය. ඊළඟට දීපිකා Deepika Chandanie

Mallawaarachchi, සුජීවා Varuni Amarasinghe හා රමණි අක්කා Ramani Premathilake Bogoda ය.

එවකට වනිතා විත්ති සඟරාවේ කතුවරිය වූ අනුලක්කා ද සටනට එකතුවීම එවකට තරුණ වියේ පසුවූ අපට අයෝමය ශක්තියක් විය‍.

ලංකාදීප සටන අවසන් වූයේ අප බොහෝ දෙනකුට රැකියා අහිමිකරමිනි.

මා අවසන්වරට ලංකාවට ගිය මොහොතේ දීපිකාත්, සුජීවාත් සමඟ අනුලක්කා බලන්නට ගියෙමි‍. සුපුරුදු පරිදි ඈ සිය නිවසේ මහ

පොත් කන්දකට මැදිව සිටියා ය. බොහෝසෙයින් වියපත්ව සිටි නමුත් ඇගේ අයෝමය ශක්තිය බිඳකුදු අඩුවී නැතිබවට ඇගේ දයාබර

මෙන්ම උද්යෝගීමත් කතාවිලාසය අපට පසක්කළේ ය‍.

මගේ පරිවර්තිත ළමා පොත් කිහිපයක දොරට වැඩුම ගැන කී විට,

"දේවිකා මං එනවාමයි," ඇය කීවා ය. කී පරිදිම ඈ ආවා ය‍.

එදා මා සමග සතුට බෙදාගන්නට ලංකාදීප සටනෙන් රැකියා අහිමිවූ සියලුම සටන් සගයෝ පැමිණ සිටියහ‍‍. අපි සුපුරුදු

සහෝදරත්වයෙන් එකිනෙකා වැළැඳගතිමු‍.

ඉතිහාසය පුරා සිදුවුණ, සිදුවෙමින් පවතින සහ අනාගතයේ සිදුවනු ඇති අයිතිවාසිකම් සඳහා වන අරගල හා සටන් අතරේ අපේ

ලංකාදීප සටන ඉතා ක්ෂුද්‍ර සටනක් පමණක් විය හැකි ය.

මේ සටහන ඉතා දිගු කතාවක් ඉතා කෙටියෙනි‍.

එසේම එය අනුල ද සිල්වා නම් ලේඛිකාව, පරිවර්තිකාව ගැන කතාවක් ද නොවේ.

එක් දුෂ්කරම සටන් බිමක අප සමඟ ගැවසුණු වැඩිහිටි සටන්කාමිනියක ගැන ආදරණීය මතක සැමැරුමකි.

වියෝගයක් හමුවේ වුව මේ කෙටි සටහන, එදා සටනට බට පිරිස අතරේ සිටි විසල් හදවත් තිබූ ගැහැනුන් කිහිපදෙනා ගැන මගේ ආදරය ප්‍රකාශ කිරීමක් ද වන්නේ ය‍.

අපේ ජීවිතවල මහා හිස්තැනක් ඉතිරිකරමින් අප පස්දෙනා අතරින් මුලින් ම අප හැරගියේ දීපිකා ය‍. ඒ් හරියටම මෙයින් තුන් වසරකට පෙර මෙවැනි ම අගෝස්තුවක ය‍. එදා ලංකාදීප සටනෙන් රැකියා අහිමිකරගත්

ගැහැනුන් පස්දෙනාගෙන් දැන් මා සමඟ ඉතිරිව සිටින්නේ ඊයේ උපන්දිනය සැමරූ අපේ ආදරණීය රමණි අක්කාත්, හැමදාමත් මා සමඟ ආදරය බෙදාගන්නා සුජීවාත් පමණි.

මම මව්බිමෙන් බොහෝ දුර ඈතක සිට මේ මොහොතේ මනසේ මැවෙන අනුල ද සිල්වා නම් වූ ඒ සටන්කාමී ගැහැනිය ගේ රුවට හිස නවා ආචාර කරමි‍‍.

කඳුළු හංගාගන්නට වුවමනාවක් නැත.
මම හඬමි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්