ලැව්ගිනි නිසා ඓතිහාසික ලහයිනා නගරයේ විශාල කොටසක් විනාශ වීමත් සමග දුමාරයෙන් පිරී යන අයුරු 
 
කලක් හවායිහි රාජකීය අගනුවර වූ ලහයිනා දැන් ආදාහනාගාරයකි.

"ඉතුරු වෙලා තියෙන දේවල් අපි රැස් කරන්නට උත්සහ කළ ත් ඒවා කැඩිලා බිඳිලා යනවා," මෞයී ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් සෙනසුරාදා පැවසුවේ, වියළී ගිය පඳුරු සහ තණකොළ ඇති පෙදෙසක් හරහා ක්ෂණයකින් පැතිර ගිය දැවැන්ත ලැව්ගින්නක් දිවයිනේ බටහිර කෙලවර ගිල ගැනීමෙන් සිව් දිනකට පසුව ය.

100කට ආසන්න මරණ සංඛ්‍යාවක් තහවුරු වී ඇති ඇත්තේ, ලහයිනාහි හට ගත් ලැව්ගිනි, සියවසකට වැඩි කාලයකදී එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ම ලැව්ගින්න බවට පත් කරමිනි.

නමුත් ලහයිනාහි දැවී ඉතිරිව ගිය සුන්බුන් අතරින් මේ වන විට සොයා ගෙන ඇත්තේ 3%ක් පමණක් වන අතර, සීමිත ලෙස ක්‍රියාත්මක සෝදිසි කිරීමේ ප්‍රයත්නයන් හේතුවෙන් මරණ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යනු ඇතැයි යන බිය ඇති කරයි.
 

"අපි කවුරුත් ඇත්තට ම ඒකෙ පරිමාණය තවමත් දන්නේ නැහැ," පොලිස් ප්‍රධානී පෙලෙටියර් අනතුරු ඇඟවූයේ හැඟීම්බර වෙමිනි.

දිවි ගලවා ගත් විශාල පිරිසක් බීබීසීය සමග ඔවුන් ගැලවුණු ආකාරය සහ ඔවුන්ට අහිමිවූ දෑ පිළිබඳ තොරතුරු බෙදා ගත්තේ, මිනිත්තුවකට සැතපුමක වේගයකින් නගරය ගිනිබත් කරමින් පසුගිය අඟහරුවාදා ඇරඹුණු ඛේදවාචකය ගැන වඩා ත් සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට උපකාර කරමිනි.

ඔවුන් ලබා දුන් තොරතුරුවල එක් පොදු කරුණක් අන්තර්ගත විය: තම දිවි රැක ගැනීමට දිව යාමට ප්‍රථම නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදු නොවුණු බව ප්‍රදේශවාසීන් පවසන්නේ, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම කොතෙක් දුරට සාර්ථක වූවා ද යන්න පිළිබඳව මෙන් ම තවත් පුද්ගලයින් කොපමණ ගණනක් මුදා ගැනීමට තිබුණා ද යන්න පිළිබඳ වේදනාකාරී ප්‍රශ්න මතු කරමිනි.

අවවාදය යි: මෙහි ඇතැම් පාඨකයන් කම්පනයට පත් විය හැකි කරුණු අන්තර්ගත වේ.

පසුගිය අඟහරුවාදා උදෑසන, ලහයිනා වැසියන් අවදි වී තිබුණේ විදුලිය විසන්ධි වීමට හේතුව සෙවීමට ය. ජංගම දුරකතන ආරෝපණය වී නොතිබිණි. එලාම් ඔරලෝසු නිසි වේලාවට නාද නොවුණු අතර වායුසමීකරණ යන්ත්‍ර ද අක්‍රිය වී තිබිණි.

42 හැවිරිදි ප්‍රදේශවාසියෙකු වන ලෙස් මන් මේ ඇනහිටීම පිළිබඳව දැන ගත්තේ, ඔහු එරට නැගෙනහිර වෙරළ ප්‍රදේශයට ලබා ගත් දුරකතන ඇමතුමක් එකවර ම විසන්ධි වීමත් සමග ය. ඔහු එදින අලුයම 4:00ට අවදි වී තිබුණේ පැය හයක කාල වෙනස මග හරවා ගැනීමට ය. සංවාදය අතරතුර සබඳතාව බිඳ වැටිණි.

මන් පැවසුවේ, විදුලි ඇනහිටීම කලබලයට පත් විය යුතු විශේෂ දෙයක් බව තමන්ට නොහැඟුණු බව ය.

"මම හිතුවේ ඒක තවත් විදුලිය විසන්ධි වෙච්ච දවසක් විතරයි කියලා," යැයි ඔහු පැවසුවේ, වෙරළ තීරයට කඩා වදින සුළං ධාරා පිළිබඳව සඳහන් කරමිනි.

අන් බොහෝ අය මෙන් මන් ද උපකල්පනය කළේ, මෙම ඇනහිටීමට දිවයින ආසන්නයේ ඇති ඩෝරා සුළි කුණාටුව සමග සම්බන්ධයක් ඇති බව ය. එය පැයට සැතපුම් 65 (පැ.කි. 105) දක්වා වේගයෙන් යුතු තද සුළං මෞයී වෙත ගෙන එනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබිණි.

එම අවස්ථාවේදී ඩෝරා සුළි කුණාටුවේ සුළං ධාරා හේතුවෙන් ප්‍රදේශයේ ගිනිදැල් තීව්‍ර වීම නොවැදගත් බවක් පෙනෙන්නට විය.

නරඹන්න: මෞයීහි ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් සිදුවුණු දැවැන්ත විනාශය
 

පෙරවරු 9:55 වන විට, ලහයිනාහි ඇතිවී තිබුණු සුළු ගිනි ගැනීම් තත්ත්වය "100%ක් පාලනය කළ බව" නිලධාරීන් ප්‍රකාශ කර ඇත. එය යළි ත් ඇවිල යනු ඇති බවට කිසිදු ඇඟවීමක් ප්‍රදේශවාසීන්ට නොලැබිණි.

නිවසක් නොමැති ලහයිනා වැසියෙකු වන රිචඩ් ටෙනිසන් අවදි වී තිබුණේ, වේගයෙන් හමා ගිය සුළඟත් සමග ය. රාත්‍රිය පහන් කළ ෆාමසියක දොර අසල සිට ගත් ඔහුට දැකගත හැකි වූයේ ඇඳ ඇතිරිලි සුළඟ හේතුවෙන් වරායට දෙසට ගසා ගෙන යන අයුරු ය.

කාලගුණය දරුණු අතට හැරෙමින් තිබුණු බව මෙම ඓතිහාසික නගරයේ හදවතේ ජීවත් වූ ලින් රොබිසන් පැවසුවා ය. උදෑසන 8 වන විට, ඇයට දවස ගත වත් ම තීව්‍ර වුණු දුමාරයේ ගන්ධය දැනෙන්නට විය. නමුත් එම අවස්ථාවේදී ද එය එතරම් සැලකිල්ලට භාජනය නොවිණි. හවායි දිවයිනට කුණාටු හුරුපුරුදු ය.

සවස 3.00 පමණ වන විට දේවල් කණපිට හැරෙන්නට විය.

hawai 1

 ලෙස් මන් නිවසින් එළියට විත් තිබුණේ, කසළ බැහැර කිරීම සඳහා ය. ඔහු තම අසල්වැසියන් සමග "අමුතු ආකාරයේ සුළඟ" ගැන කතා කළ අතර සුළඟේ ප්‍රබලත්වය ඉහළ ගිය හෙයින් ඔවුන්ට එකිනෙකා ඇසුණේ යාන්තමට මෙනි.

වාතයේ තිබුණු දූවිලි හා අළු ඉදිකිරීම් නිසා ඇති වූවක් බව ඔවුහු වැරදි ලෙස අනුමාන කළහ. අනතුරුව එකිනෙකාගෙන් වෙන්ව ඔවුහු මහල් නිවාසයේ වූ තම නිවෙස් වෙත විසිර ගියහ.

එක් වර ම ගොඩනැගිල්ලේ වූ දුම් අනතුරු ඇඟවීමේ සංඥා නාද වන්නට විය. නිවැසියෝ ඔවුන්ගේ මහල් නිවාසවලින් ඉවත් වූහ. පිටත, සුළඟට පාවී ආ ගිනි පුපුරු හේතුවෙන් ඒ අවට වූ තෘණ මෙන් ම පැළෑටි ඇවිලීම ආරම්භ විය.

"ඒ වෙලාවේ හැමෝම කලබල වෙන්න පටන් ගත්තා," මන් පැවසීය.

මන් නැවතත් ඇතුළට දිව ගොස් ඔහුගේ මුදල් පසුම්බිය ගැනීමට උත්සහ කළ නමුත් රස්නය සහ දුමාරය හේතුවෙන් ඔහුගේ පිටේ තිබුණු ඇඳුම් මල්ල හැර අන් කිසිවක් නොමැතිව ඔහුට ඉන් පලා යාමට සිදු විය. දුමාරයෙන් හුස්ම හිරවී සිටි ඔහුට පෙනුණු එක ම දෙය වූ පොලිස් රියකින් නිකුත් වුණු නිල් ආලෝකය වෙත දිව ගිය ඔහු එහි පිටුපස අසුනට රිංගා ගත්තේ ය.

ගින්න ගැන අනතුරු අඟවන සයිරන් නාදයක් මන්ට ඇසුණේ නැත. ඔහුට ඉවත් වීමට නිල දැනුම් දීමක් ද ලැබී තිබුණේ නැත. බීබීසීය වෙත අදහස් දැක්වූ, ආපදා තත්ත්වය හේතුවෙන් තම වාසස්ථානවලින් ඉවත් වුණු ලහයිනා වැසියන් 24 දෙනෙකුට වැඩි පිරිසකට ද එවැනි දැනුම් දීමක් නොලැබිණි.

hawai 2

hawai 3

හවායි දූපත් සමූහයේ දෙවන විශාලතම දූපත වන මෞයීහි මාසිකව පරීක්ෂා කරනු ලබන එළිමහන් සයිරන් 80ක්, සුනාමි සහ අනෙකුත් ස්වාභාවික විපත් පිළිබඳව දූපත් වැසියන්ට අනතුරු ඇඟවීමේ අරමුණින්, ස්ථාපනය කර ඇත.

නමුත් එලෙස පූර්ව අනතුරු ඇඟවීමේ සයිරන් නාද නොවීම සම්බන්ධයෙන් බලධාරීන් තහවුරු කර ඇති අතර, හවායිහි නීතිපතිවරයා විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. ඇතැම් ප්‍රදේශවාසීන් වෙනත් මාධ්‍ය ආයතනවලට පැවසුවේ, අඟහරුවාදා පෙරවරුවේ තම ජංගම දුරකතනවලට අනතුරු ඇඟවීම් ලැබුණු නමුත් මෞයීහි බටහිර පෙදෙස හරහා සිදුවුණු විදුලි බිඳ වැටීම හේතුවෙන් එම පණිවිඩ ලැබුණේ සීමිත පිරිසකට පමණක් බව ය.

පුළුල් ලෙස සිදු නොවුණු අනතුරු ඇඟවීම් මධ්‍යයේ, ප්‍රදේශවාසීහු හිටි හැටියේ මතු වූ ගින්නෙන් මිදීමට උමතුවෙන් මෙන් කටයුතු කළ ආකාරය පැහැදිලි කළහ.

ඇතැම් පුද්ගලයින් - නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් යන දෙපාර්ශවය ම - පැවසුවේ ගින්න ඉක්මනින් පැතිර යාම හේතුවෙන් ඕනෑ ම ආකාරයේ විධිමත් ප්‍රතිචාරයක් දැක්වීම වැළැක්වූ බව ය.

"ඒක ඉතා ම ඉක්මනින් පැතිර ගිය ගින්නක්, පොළොව මට්ටමින් පැතිර ගියේ," පසුගිය සෙනසුරාදා මෞයී සිට එක්සත් ජනපද ගිනි නිවීම් සේවා ඒකකයේ ලෝරි මුවර්-මෙරල් පැවසීය. "මුල් අවස්ථාවේදී ම ගිනි නිවන භටයින්ට කරන්න තිබුණ දේවල්වලට ත් වඩා වේගයකින් ගින්න පැතිර ගියා."

"ගිනි නිවන භටයන්ගේ ක්‍රියාවන් අගය කළ යුතු යි," ඇය වැඩිදුරටත් පැවසුවා ය. අඟහරුවාදා ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, බොහෝ සම්පත් [පිරිස්, උපකරණ] දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා යොදවා තිබුණු බව ය.

hawai 4

ලහයිනා වැසියන් ලබා දුන් තොරතුරු එක්ව කැටි කළ කල පෙනී යන්නේ, හිරු එළියෙන් නැහැවී තිබුණු වෙරළ නගරයක් මුළුමනින් ම පාහේ විනාශ වුණු නගරයක් බවට ක්ෂණයකින් පරිවර්තනය වූ අයුරු ය. ගිනි දැල් ජලය දෙසට ඇදී යත් ම පැමිණි ඝන කළු දුමාරය දහවල රැයක් බවට පත් කළේ ය.

දුමාරය ඉතා ඝන සහ අඳුරු වූ අතර ප්‍රදේශවාසීන්ට අඩි කිහිපයකට වඩා ඉදිරිය නොපෙනිණි. ඔවුන් දුටුවේ, ඔවුන්ගේ සම සහ අවට ඇති සියල්ල ම දවාලන වාතය හරහා පැමිණි දීප්තිමත් රතු පැහැති ගිනි පුපුරු හැර අන් කිසිවක් නොවෙයි.

"ඒ හරහා කිසි දෙයක් පෙනුනේ නැහැ. මිනිස්සු පිටවෙන්න උත්සහ කරද්දි එකිනෙකාගේ ඇඟේ පවා හැප්පුණා," රිචර්ඩ් ටෙන්සන් පැවසීය.

ගොඩනැගිලි 2,200කට වඩා වැඩි ගණනක් ගිනිබත් වුණු අතර ලහයිනා නගරයේ වීදි පුරා පිහිටි නිවාස, සාප්පු සහ දේවස්ථාන ද්‍රව ලෝහ බවට සහ අළු බවට පත් විය.

මිතුරෙකුගේ සුවිසල් නිවස ගිනිබත් වන අයුරු ටෙනිසන් බලා සිටියේ ය. "විනාඩි 10ක් වගේ කාලයකදී මුළු ගේ ම ගිනි අරගෙන දැවිලා ගියා. තට්ටු දෙකක ගෙදරක්, කාමර 8ක් එක්ක..." ඔහු පැවසීය. "ඒක මුළු නගරය ම සමතලා කළා."

ආරක්ෂාව වෙනුවෙන් නගරයේ ඇති සේෆ්වේ සිල්ලර වෙළෙඳසල වෙත දිව ගිය අවස්ථාවේ ටෙනිසන් මළ සිරුරු තුනක් දුටුවේ ය. "මිනිස්සු ඒ වෙද්දීත් මැරිලා හිටියේ," ඔහු පැවසීය.

කැන්සස්හි සංචාරකයෙකු වූ ටී ඩෑන්ග් වෙත, ඇගේ නිවාඩුව භයානක නිවාඩුවක් බවට පත්ව ඇතැයි යන පළමු ඉඟිය ලැබුණේ, එයාර්බීඑන්බී සමාගමේ සේවකයෙකු, දිවි ගලවා ගන්නැයි ඇයගේ පවුලේ සාමාජිකයින්ට පවසමින් ඇගේ නිවස පසු කර වේගයෙන් ගමන් කළ අවස්ථාවේදී ය.

hawai 5

hawai 6ගින්න උත්සන්න වීමත් සමග ඩෑන්ග් ඇගේ සැමියා සහ දරුවන් තිදෙනා සමග ඉදිරිපස රථ වාහන ගමන කරමින් තිබුණු වීදියේ වාඩි වී සිටියා ය. "ඒ වෙද්දී හවස 3:30 නැත්නම් 4:00 වගේ වෙන්න ඇති. හැමදේ ම තද කළු පාටින් දිස් වුණේ," ඇය පැවසුවා ය. "හැම තැන ම වගේ පිපිරීම් සිද්ධ වුණා."

hawai 7

ඔවුන් අවට පාරේ තිබූ මෝටර් රථ ද ගිනි ගැනීමට පටන් ගත් විට, ඩෑන්ග් සහ ඇගේ සැමියා තම දරුවන් අල්ලා ගෙන ආරක්ෂාව පතා සාගරය වෙත දිව ගියහ. එහි ඔවුන් පැය හතරකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

ලහයිනා වරායේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු පමණ මුදා ගෙන නගරයේ ක්‍රීඩා සංකීර්ණය දෙසට දිව යන ලෙස ඔවුන්ට දැනුම් දුන් ගිනි නිවන භටයෙකු විසින් තුවාල ලැබූ එම පවුල ගලවා ගනු ලැබ තිබිණි.

පිළිස්සුම් තුවාල සහ කැපුම් තුවාල ලබා සිටි එම පවුලට පිටව යාමට පළමු නිල නියෝගය ලැබුණේ එවිට ය. බීබීසීය වෙත අදහස් දැක්වූ දිවි ගලවා ගත් අයගෙන් බොහෝ දෙනෙකු පැවසූ දේ ද එය ම විය. එනම්, බලධාරීන් සිදු කළ එක ම විධිමත් දැනුම් දීම පැමිණියේ, ජනතාව ඒ වන විට ත් ගින්නෙන් මිදී පලා යාම ආරම්භ කිරීමෙන් පසුව බව ය.

සවස 4:29ට, මෞයීහි ආපදා කළමනාකරණ ඒජන්සිය, ඇතැම් විට එහි පළමු ඉවත් කිරීමේ නියෝගය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර කරමින්, එක්ස්හි (මීට පෙර ට්විටර් ලෙස හැඳින්විණි) සඳහන් කළේ, ලහයිනා නගර මායිමේ පිහිටි අසල්වැසි ප්‍රදේශයක් වන කෙලවේයා මවුකාහි වැසියන් ඉන් පිටවිය යුතු බව ය.

නමුත් භූමියේ වූ තත්ත්වය එම දැනුම් දීම අභිබවා ගියේ ය. ඒ වන විට ත්, ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණේ, නගරයේ වීදි ගින්නෙන් දැවී විනාශ වී ගොස් ඇති අයුරු ය.

ලෙස් මන්ගේ අසල්වැසියෙකු වන ස්ටීව් ස්ට්‍රෝඩ්ට ප්‍රථමයෙන් නගරයෙන් පිටව යන ලෙස දන්වන ලද්දේ, ඔහු අඩි 10ක් තරම් උස ගිනිදැල් හරහා පාපැදියකින් ගොස් සාපේක්ෂ වශයෙන් ආරක්ෂාවක් තිබුණු සේෆ්වේ සිල්ලර වෙළෙඳසල වෙත ළඟා වූ පසුව ය. ලහයිනාවේ දශකයක කාලයක් ගත කළ ඔහුට සෑම මසක ම පරීක්ෂාවට ලක් කරමින් ඝෝෂාකාරී එලාම් හඬ නිකුත් කළ පද්ධතිය ම ගින්නට පෙර ඉන් පිටව යාමට ඔහුට සංඥා නොකළේ මන්දැයි වැටහුණේ නැත.

ස්ට්‍රෝඩ් සහ ටෙනිසන් සමග තවත් කිහිප දෙනෙකු ලෝහ ව්‍යුහයකින් සමන්විත සුපිරි වෙළෙඳසල තුළට පැමිණ තිබුණේ, පොලිසිය පැමිණ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉවත් වන ලෙස ඔවුන්ට පැවසීමට පෙර ය.

බොහෝ දෙනෙකුට ජනයා ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සැලසුම් නොකළ, ප්‍රදේශවාසීන් සහ බලධාරීන් එක්ව දැරූ තාවකාලික උත්සහයක් විය.

ලිනෙට් "පිංකි" ජොන්සන් වැනි ප්‍රදේශවාසීහු හොනොඅපිලානි අධිවේගී මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට ධාවනය කිරීමට පෙර, ඔවුන්ගේ මෝටර් රථ තුළට ඒවාට පටවා ගත හැකි තාක් අවශ්‍ය දෑවලින් පුරවා ගත්හ. ගිනිදැල් ඔවුන්ගේ වාහනවල රෝද සමීපයට පැමිණෙමින් තිබුණ ද ආරක්ෂාව කරා ගමන් කළ හැකිව තිබුණු එක ම මාර්ගය එය විය.

"අපි ගිනිදැල් එනවා දැක්කා. දුම්වලින් නිකුත් වුණු ගඳත් අපිට දැනුණා. එක පාරට ම පුපුරණ සද්දයක් ඇහුණා!" ඇය පැවසුවා ය. "ඒ ඇවිල්ලා තිබුණේ අපේ වාහනවල ටයර් පුපුරණ සද්දේ."

hawai 8

ඉරිදා වන විට, පිංකි සිටියේ මෞයී යුද්ධ අනුස්මරණ ක්‍රීඩාංගනයේ වූ රැඳවුම් මධ්‍යස්ථානයක ය. හිස්ව දෝංකාර දෙමින් තිබුණු මෙම විශාල ක්‍රීඩාංගනය දැන් කුඩා ඇඳන් සහ මෙට්ටවලින් පිරී ඇති ලහයිනා නගරයේ අවතැන් වූ සිය ගණනක් සඳහා නව නිවහන බවට පත් වී ඇත.

අවතැන් වූ දහස් ගණනක ප්‍රදේශවාසීන්ට උපකාර කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් සමූහයක්, වෛද්‍ය සේවකයින්, භෞතචිකිත්සකයින්, උපදේශකයින් සහ පරිවර්තකයින් සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ක්‍රීඩාංගනයෙන් පිටත, රෝස පැහැති විශාල පෝස්ටර් පුවරුවක අතුරුදහන් වූවන් වෙනුවෙන් කූඩාරමක් වෙන් කර ඇති බව සඳහන් කර තිබුණේ, මෞයි වැසියන්ට තම අතුරුදන් වූ ඥාතීන් පිළිබඳ තොරතුරු ලබා දීමට හැකි වන පරිදි ය. 1,000 දක්වා පිරිසක් අතුරුදන් වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.

මියගිය පිරිස හඳුනා ගැනීම ඉක්මනින් සිදු නොවනු ඇත. ගින්නෙන් දින පහකට පසු ත් නම් කර ඇත්තේ, මියගිය අයගෙන් දෙදෙනෙකු පමණක් වන අතර, මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට ත් වඩා වැඩි වේගයකින් මරණ ගණන ඉහළ යමින් පවතියි.

"අපි අපේ පවුල්වල සාමාජිකයින් සහ යහළුවන් හොයද්දි අපිට හම්බ වෙන්නේ දරුණු ලෙස ගින්නට හසුවුණු පිළිස්සී ගිය කොටස්," පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් පැවසීය. "ඒවා හඳුනා ගන්න නම් අපිට ඉක්මන් ඩීඑන්ඒ පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක් ම [මිය ගිය] ජෝන් එහෙමත් නැත්නම් ජේන් ඩෝ [මේවා නාඳුනන පුද්ගලයින් හැඳින්වීමට භාවිත කරන පොදු නම් වේ].

මළ සිරුරු හඳුනා ගැනීමට පුහුණු කරන ලද සුනඛයන් සුන්බුන් යට සිරවී සිටින පිරිස් සෙවීමට යොදවා ඇත. එම සුනඛයන් බුරන හඬ දැන් යුද්ධ කලාපයකට සමාන විනාශයට පත් වීදි හරහා දෝංකාර දෙයි.

නිල වශයෙන් හඳුනාගැනීම් සිදු නොවන පසුබිමක බොහෝ දෙනෙකු තම මිය ගිය අසල්වැසියන් සහ ආදරණීයයන් පිළිබඳ තොරතුරු දැන ගන්නේ අවිධිමත් සන්නිවේදන ක්‍රමවේදයක් වන මෞයීහි ඇති "කොකනට් වයර්" හරහා ය. එය දිවයින තුළ ඇති සංවාද ඔස්සේ තොරතුරු බෙදාහදා ගන්නා විශ්වසනීය සන්නිවේදන ජාලයකි.

බීබීසීය සමග දහස් දැක්වූ බොහෝ දෙනෙකුට ඒත්තු ගොස් ඇත්තේ, බලධාරීන් තම වෙහෙසකර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ගෙන යන බැවින් ඉදිරි සතිවලදී මියගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ය.

මෞයීහි හදිසි ප්‍රතිචාර ප්‍රතිපත්ති පිළිබඳ විමර්ශනය කිරීමේ කටයුත්ත රජයේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පසුගිය සිකුරාදා, හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පැවසීය. එහෙත් ඔහු වැඩි වශයෙන් තම ආණ්ඩුව ඊට දැක්වූ ප්‍රතිචාරය ආරක්ෂා කර ඇත්තේ, අධික සුළං සහ නියං තත්ත්වයන්ට දොස් පවරමිනි.

"ඒ ගින්න සෑම විනාඩියකට ම සැතපුම් එකක් පැතිර ගියේ මේ ඛේදවාචකය ඇති කරමින්" ඔහු පසුගිය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය. "බොහෝ මිනිසුන්ගේ මරණයට අවසානයේදී හේතු වුණේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යන මේ යුගයේ අපට අලුත් දෙයක් වුණු ගිනි සුළි කුණාටුවක්."

කෙසේ වෙතත්, ආපදා තත්ත්වයෙන් මුදා ගත් බොහෝ දෙනෙකු පැවසුවේ, තමන් අතහැර දමා ඇති බවක් තමන්ට හැඟෙන බව ය. ඔවුන් තම නිවෙස් අතහැර පලා එද්දී ලහයිනාවවල තවත් පිරිසක් තනි කර පැමිණීමට සිදුවීම ගැන වන වරදකාරී හැඟීම ව්‍යසනය ඇති වීමට පෙර ක්‍රියා කළ යුතුව තිබුණේ යැයි පැවසෙන බලධාරීන් කෙරෙහි වැඩෙන කෝපය සමග මිශ්‍ර වී ඇත.

ගින්නෙන් ලහයිනාහි පිහිටි තම නිවස අහිමි වූ ලිස් ජර්මෑන්ස්කි පැවසුවේ, මරණ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර රජයට මෙන් ම ප්‍රාන්ත රජය යන දෙකට ම තමන් දොස් පවරන බව ය.

"ඒක වළක්වා ගැනීමක් හෝ දැනුම් දීමක් වේවා, එයාලට අඩුවෙන් එයාලගේ රාජකාරිය කරන්න බැහැනේ," ඇය පැවසුවා ය.

දැඩි නොසැලකිල්ල, දේපළ හානි සහ මානසික පීඩනය සම්බන්ධයෙන් ජර්මෑන්ස්කි දැන් රජයට එරෙහිව නීතියමය පියවර ගනිමින් සිටියි.

ඇගේ නිවස දැන් අපරාධයක් සිදුවූ ස්ථානයක් බඳු යැයි ඇය පැවසුවා ය. "ඒක මිනීමැරුමක්".

hawai 9

 

හොලී හොන්ඩරිච් සහ මැක්ස් මට්සා
හවායිහි මෞයී සිට

BBC සිංහල සේවය


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්