ආගම ඇදහීමේ අයිතියට බාධා කිරීම ගැන චෝදනා නගමින් උතුරු පළාතේ සංඝනායක හිමිනමකට හා පුරා විද්‍යා නිලධාරීන්ට එරෙහිව දෙමළ ජනතා නියෝජිතයෙක් පොලීසියට පැමිණිලි කර තිබේ.



 දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අගෝස්තු 18 වැනිදා මුලතිව් පොලිස්ථානයේ එලෙස පැමිණිලි ගොනු කර ඇත්තේ උතුරු පළාතේ සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන්ට එරෙහිවය.

බෞද්ධයන් මෙන්ම හින්දුන් ද අයිතිය කියා පාන කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ අධිකරණ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත හින්දු බැතිමතුන් පොංගල් උත්සවය සමරද්දී, ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් හින්දු බැතිමතුන්ට බාධා පමුණුවන්නට උත්සාහ ගත් ආකාරය පළාත් බද මාධ්‍යවේදීන් විසින් කැමරාකාචයට හසුකරගෙන තිබුනි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙන් කර දුන් භුමියක දෙමළ මාතාවක් කුඩා විදුරු කුටි තුළ බහාලු සිව සහ ගණ දෙවි පිළිම දෙකක් තබා පුද පුජා පවත්වද්දී එම ස්ථානයට පැමිණි ශාන්තබෝධි හිමියන් හින්දුන්ගේ වන්දනාවට බාධා පැමිණවූ ආකාරය එම දර්ශන වල දැක ගත හැකිය.

ඒ හිමියන් එම ස්ථානයෙන් කාරුණිකව ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබුනි.

01
0305

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයකු වු බලංගොඩ කාශ්‍යප හිමියන් ද තවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග මතබේදකාරී ලෙස විහාරයක් ඉදිකර ඇති කුරුන්තුර්මලේ චෛත්‍ය සමීපයේ පැවැති බෞද්ධාගමික කටයුතු වලට සහභාගී වී සිටිනු දකින්නට ලැබුණි.

'ගෝටාගෝගම' දී ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළෙන් ප්‍රචාරය කිරීමට වරෙක දැඩි විරෝධයක් පෑවේ උන්වහන්සේය.

අගෝස්තු 18 වැනි සිකුරාදා කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ හින්දු භක්තිකයන් පොංගල් උත්සවය සැමරීමට සැලසුම් කර තිබියදී, ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුනේ අගෝස්තු 18,19, සහ 20 යන තෙදින තුළ කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ ‘මහා අසිරිමත් පිංකම් මාලාවක්’ පැවැත්වෙන බවයි.

ජාතිවාදය ඇවිස්සෙන අයුරින් “බෞද්ධයිනි නැගිටිවු!” යනුවෙන් සඳහන් පෝස්ටර් ඇලවීමක්ද ප්‍රදේශයේ සිදු කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

පොංගල් වතාවත් නිසා ගැටුම් ඇතිවේ යයි බිය පල කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මුලතිව් පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලීමෙන් අනතුරුව වව්නියාව, මන්නාරම, මුලතිව් ප්‍රාදේශිය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී ජයතිලක පොංගල් උත්සවයේ සංවිධායකයන් වෙත අගොස්තු 17 වැනිදා කොන්දේසි ද හතක් පනවා තිබුනි.

 

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, දේශපාලන ක්‍රියාධර පීටර් ඉලන්චේලියන්, ගල්ගමුවේ ශාන්තබෝධි හිමි සහ අරුන් සිද්ධාර්ථන් ට එරෙහිව එම පැමිණිල්ල ගොනු කර ඇතත්, බෞද්ධ පාර්ශවයට කිසිදු සීමාවක් පැනවූ බවක් දැනගන්නට නැත.

පොංගල් උත්සවය සදහා ඒකරාශි කරන ජනතාවගෙන් ස්ථානය වැදුම් පිදුම් කිරීමට සෙසු පාර්ශවයන්ට කරදර හිරිහැර නොවන ආකාරයට කටයුතු කළ යුතු  බවද මුලතිව් පොලීසිය හරහා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී ජයතිලක පොංගල් සංවිධායකයන්ට දැනුම් දීමට කටයුතු කර තිබුනි.

එදින කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් රැසක් රාජකාරි යොදවා තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

06

අගෝස්තු 18 වැනිදා පොංගල් උත්සවය සදහා හින්දු බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටි කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියට පිංකම් මාලාවක් සදහා බෞද්ධ බැතිමතුන් බස් පහකින් පමණ පැමිණ සිටි බව පවසන පළාත් බද මාධ්‍යවේදීන් අවධාරණය කරන්නේ එම භුමියට ඇතුල් වීමට පෙර පොලීසිය විසින් හින්දු බැතිමතුන් පමණක් පරීක්ෂාවට ලක් කළ බවයි.

0708
04
පොංගල් කිරිබත ලිප් කිහිපයක පිසීම සදහා හින්දු බැතිමතුන් සුදානම් වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දී ඇත්තේ එක් ලිපක් ගිනි මෙලවීම සදහා පමණි. ඒ හේතුවෙන් පොංගල් වන්දනාවට බාධා කිරීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලීසියට කළ පැමිණිල්ලේ කරුණු දක්වා ඇති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

මතබේදකාරී ලෙස බෞද්ධ විහාරයක් ඉදිකර ඇති කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ හින්දු වතාවත් කිරීමට කිසිදු තහනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥයකු මගින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පසුගියදා මුලතිව් අධිකරණයට දන්වා තිබුනි.

කුරුන්තුර්මලේ ආදීසිවන් අයියනාර් කෝවිලේ පරිපාලක සභාව වෙනුවෙන් පෙනීසිටින නීතිඥ වී එස්. ධනන්ජයන් පසුගියදා කියා තිබුනේ පොංගල් පුජා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු බාධාවක් නොමැති බවට ද  එදින උසාවියට වාර්තාවක් ඉදිරිපත් වූ බවයි.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්