ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සහ ජෙඩා අතර ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වේ. 



මේ වනවිට මෙම නගර දෙක අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වන අතර, මෙය මක්කම සහ මදීනා යන නගර බලා ගමන් කරන උම්රා වන්දනාකරුවන්ට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 281 දරන ගුවන් යානා සෑම අඟහරුවාදා සහ ඉරිදා දිනකම පස්වරු 2.25 ට කොළඹින් පිටත් වී, එදින පස්වරු 6.10 ට ජෙඩා වෙත ළඟා වන අතර, බදාදා දිනයේදී එය පස්වරු 2.15 ට කොළඹින් පිටත් වී එදින පස්වරු 6.00 ට ජෙඩා වෙත ළඟා වේ. 

ජෙඩා සිට කොළඹ බලා පැමිණීමේදී, UL 282 දරන ගුවන් යානා සෑම අඟහරුවාදා සහ ඉරිදා දිනකම පස්වරු 7.25 ට ජෙඩා නගරයෙන් පිටත් වී පසු දින පෙරවරු 4.15 ට කොළඹට ළඟා වන අතර, බදාදා දිනයේදී පස්වරු 7.15 ට ජෙඩා නගරයෙන් පිටත් වී පසුදින පෙරවරු 4.05 ට කොළඹට ළඟා වේ.


ජෙඩා සහ කොළඹ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලට වසර 30 කට අධික ඉතිහාසයක් ඇත. මෙම ගුවන් ගමන් උම්රා වන්දකරුවන් අතර මෙන්ම හජ් වන්දනාකරුවන් අතරද අතිශයින් ජනප්‍රිය ය. මෙය සෘජු ගුවන් ගමනක් වීමට අමතරව, මෙම වන්දනාකරුවන්ට විශේෂ වූ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගැනීම සහ, ඇවිදීමේ අපහසුතා සහිත මගීන්ට අවශ්‍ය සේවාවන් නො-අඩුව ලබාදීම මෙම ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතු වී ඇත.

මේ වනවිට සෞදි අරාබි රජය වීසා ප්‍රතිපත්ති ලිහිල් කරමින් එරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක් තුළ, එරට සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. ජෙඩා නගරයට අමතරව කොළඹ සිට දමාම් සහ රියාද් වෙතද දෛනිකව ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, ඒ අනුව දැන් සෞදි අරාබියේ ප්‍රධාන නගර තුනක් වෙත සතියකට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 17 ක් ක්‍රියාත්මක වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

 
(adaderana.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්