චුලා සමරසිංහ ගේ "චූලාලංකාරය" එලි දැක්වීම අගෝස්තු 24 බ්‍රහස්පතින්දා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ දී සිදුකිරීමට නියමිතය. 

" චූලාලංකාරය" එලි දැක්වීමේ වැඩ සටහනට ලැබෙන ප්‍රතිචාර නිසා, එම වැඩ සටහනේ වැඩ පිළිවෙල ඊට සහභාගී වීමට බලාපොරොත්තුවන සහෘදයින්ගේ දැන ගැනීම සඳහා චුලා සමරසිංහ විසින් සිය ෆේස්බුක් පිටුවේ කරුණු කිහිපයක් සඳහන් කර ඇත. ඒවා පහත පළවේ. 


මහවැලි කේන්ද්‍රය වෙන්කරගෙන තිබෙන්නේ සවස 3 සිට සවස 7 දක්වාය.

සවස 3 සිට සවස 4 දක්වා වෙන්කොට ඇත්තේ ආරාධිතයින් පිළිගැනීම, හා දුර බැහැර සිට පැමිණෙන්නන් සමග හඳුනා ගැනීම් හා කතා බහකට යොමු වීමටයි.
( සමහරුන් එදින මට හමුවන්නේ වසර පණහකට පමණ පසුවය. සමහර අය ඊට අඩු වැඩියෙනි. ඒ බොහෝ දෙනා මගේ සමකාලීන පාසල් මිතුරු මිතුරියන්‍ ය.)

හරියටම සවස හතරට සභාවේ වැඩ කටයුතු ආරම්භ කෙරේ. (ඊට කලින්, පැමිණ සිටින හැම දෙනාම අසුන් ගන්නේ නම් මැනවි.)

සභාව මෙහෙයවනු ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලීය ආදී විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති බර්නාඩ් කාරියවසම් සහෝදරයා සහ සමාජ ක්‍රියාකාරිණී ජයනී අබේසේකර සොහොයුරියයි.

මෙම සභාවේ ප්‍රධාන ආරාධිතයා මාතර රාහුල විද්‍යාලයේ මගේ උසස් පෙල ගුරුවරයෙකු වූ ඩබ්ලිව්. කේ. ජී. ජයතිස්ස ( විශ්‍රාමික) ඇදුරු තුමාය.

chula book
ආරාධිත දේශන තුනකි.
 1. සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක 
 2. මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි 
 3. දේශපාලන ක්‍රියාකාරී සුනිල් හඳුන්නෙත්ති 


ප්‍රධාන දේශන අතර තුර විවිධ නියෝජනයන්ගෙන් සමන්විත දස දෙනෙකුට පොත් ප්‍රධානය කෙරේ. ඒ සඳහා හේතුපාඨ ද ඉදිරිපත් කෙරේ.
ඒ අතරතුර තිදෙනෙකුගේ කෙටි සාමීචි කතා තුනක් ඇතුලත් වේ.

මේ වන විට සවස හයට ආසන්න වනු ඇත. කතෘ ගේ ස්තුති කතාවෙන් පසු කුඩා තේ පැන් සංග්‍රහයෙන් "චූලාලංකාරය" එලි දැක්වීමේ වැඩ සටහන නිමාවෙයි. 

366357716 644512317638159 2350787793916826810 nඒ වසර ගණනාවක මහන්සියේ ප්‍රතිඵලයයි.

ඔබේ අදහස් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

කව්ද මේ චුලා සමරසිංහ ?

316266976 493237362765656 6609961484710185795 n
චූලා ලංකාරය ගැන චූල නොවූ අදහසක් ගැන සටහනක් පලකර ඇති දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බුලිත ප්‍රදීප් කුමාර මෙවැනි සටහනක් පළකර තිබිණ. 

'' චූලාලංකාරය පොත ලියපු කර්තෘ චූලා සමරසිංහ කියන විදියට, ඔහු එතරම් ලොකු සාහිත්‍යකාරයෙක් නම් නොවෙයි. පොතක් ලියන්න සාහිත්‍යකාරයෙක් වෙන්න ඕනෙම කියලා නියමයක් නැහැ තමයි. හැබැයි ඉතින් ලියපු කෙනා සැකයක් නැතුව සාහිත්‍යකාරයෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේත් ඒ පොතෙන්…

ඒක නිසා සාහිත්‍යකාරයාගේ සාක්ෂිය පොත විසින් සපයන තුරු අපි චූලා ගැන කතා කරන්න පටන් ගත්තා.

චූලා උපන්නෙ අම්පාරෙ. ගමේ පුංචි පාසලක ප්‍රාථමික අධ්‍යාපනය ලබන චූලා පස්සරට එන්නෙ ශිෂ්‍යත්වය සමත්ව. ඊට පස්සේ උසස් පෙළ කරන්නේ මාතර රාහුලේ. දකුණ පැත්තේත් කරක් ගහල ඔහු කොළඹට එන්නේ 73දි ජපුර සරසවියට. 

ජනතා විමුක්ති පෙරමුණේ විවිධ මට්ටමේ නායකයන් සමග ළඟ ඇසුරක් පවත්වමින් චූලා සිය සරසවි දිවියේ ස්වර්ණමය අවුරුදු කිහිපය ගත කරනවා. 1975 දී විවාහ වෙනවා. 

සරසවියෙන් 1977දී වාණිජවේදී විශේෂ උපාධිධාරියෙක් ලෙස සමාජගත වන චූලාට ජේ. ආර්ගෙ කාලේ රජයේ රැකියාවක් පිළිබඳ විශ්වාසයක් තිබී නෑ. ඔහු පූර්ණ කාලීන ටියුෂන් ගුරුවරයකු බවට පත් වන්නේ නිදහස් අධ්‍යාපනය සමාජය වෙතින් ටිකෙන් ටික ඈත් වෙමින් තියන මෙන්න මේ පරිවර්තන යුගයේ.

ජපුර විශ්වවිද්‍යාල සමයෙන් ඔබ්බට ඔහුගේ දේශපාලනය දකුණට පමණක් සීමා වන්නේ නෑ. ඔහුගේ දේශපාලනය ඈත උතුරේ තල් වැට මායිමෙනුත් ඔබ්බට යනවා. රාජනී තිරාණගමලාගේ ඇසුරත් ඔහුට ලැබෙනවා. ඇයි එතකොට උමා මහේෂ්වරන්. ඔව්… ඒ ඔක්කොම නිසා 88 - 89 භීෂණ යුගයේ ජීවිතය බේරගන්න චූලා ලංකාවෙන් පිටව යනවා.

1989 ප්‍රංශයට යන චූලා සමරසිංහ ඒ රටේ අවුරුදු 21ක් ජීවත් වෙනවා. සැපට නෙවෙයි. ලංකාවේ සමාජ දේශපාලන පරිවර්තනයක් බලාපොරොත්තුවෙන්. අන්තර්ජාතිකව මෙහෙයවන විවිධ සමාජ ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙමින් විවිධ දුක් අනුභව කරමින්.

චූලාගේ දේශපාලනයත් අතිශයින් සංකීර්ණ එකක්. ජනතා විමුක්ති පෙරමුණ සමග ඔහුට තිබුණේත් විවේචනාත්මක සබඳතාවක්. ජවිපෙ උතුරට බලය බෙදීමට විරුද්ධව යද්දි ඔහු බලය බෙදීමට පක්ෂව ඉන්නවා. චන්ද්‍රිකා මැතිනිය බලයට ගේන්න පවා ඔහු ප්‍රංශයේ සිට කැප උනේ ඇයගේ පැකේජය තුළින්වත් බලය බෙදීම යථාර්ථයක් කරගන්න. ජවිපෙ චන්ද්‍රිකාට විරුද්ධව ගියා. 

මේ හැම තැනකදීම චූලා දේශපාලනය විසින් හරි යැයි කියන දේ නොව, තම හෘදය සාක්ෂිය විසින් හරි යයි කියන දේ සමග කෙලින් සිට ගත්තා. ඇස් ඇරලා ලෝකය දෙස බැලුවා. හොඳ දේට හොඳයි කිව්වත් සේම වැරදි දේට බය නැතුව වැරදියි කියලා කිව්වා.

2010 දි චූලා නැවත ලංකාවට ආවා. තම ජීවිතය දෙස ආපහු හැරී බලන්න ගත්තා. එහිදී ඔහුට තව කෙනකුට කියන්න ඉතිරිව තිබුණේ රසබර සිද්ධීන්වලින් අනූන කතාවක් නම් නෙවෙයි. කර්කශ කඨෝර හා අප්‍රිය අමනාප සිද්ධීන්වලින් බහුල අඳුරුම අඳුරු කතාවක්. සිදුවීම් බෙහෙවින් අභව්‍යයි කියා සමහරු ඒවා විශ්වාස කළෙත් නැති තරම්.

 

“කෙනෙකුට කිව්වම විශ්වාස කරන්නේ නැති හින්ද මට හිතුන මේවා ඔක්කොම පිළිවෙළකට ලියන්න. ලියාගෙන යනකොට තමයි පුංචි කාලේ ඉඳලා 89 රටෙන් පිටව යනතුරු තරුණ දේශපාලන ප්‍රවේශයත්, ප්‍රංශ රටේ ගත ගතකරපු අවුරුදු 21 ක ජාත්‍යන්තර දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණ පරිණත සමයත් ඉන්පසු 2010 මෙපිට වත්මන් අර්බුදයත් සම්බන්ධ මගේ ජීවිතේ සමාජ දේශපාලන වපසරිය පරිච්ඡේද 3 කින් ලියවුණේ. අන්න ඒ කතන්දරේ පළවෙනි කොටස තමයි මේ මාසෙ 24 වැනිදා හවස 4.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදක්වන්න සූදානම් කරලා තියෙන්නේ.”

 

කවුරු මොනවා කිව්වත්, කවුරු කොතරම් අභව්‍යයි කියලා කිව්වාත් ''චූලාලංකාරය'' නම් පිළිගන්නම වෙනව. මොකද එදාට ඒ කතාවට සම්බන්ධ සාක්ෂිකාරයෝ රැසක් උතුරෙන් දකුණෙන් හා පිටරටෙන් සහභාගී වන්නට එන නිසා. කතාවට සම්බන්ධ බොහෝ දෙනා (85%) දැනටත් ජීවතුන් අතර ඉන්න බවයි චූලා කියන්නේ.


ඔහුගේ “ප්‍රංශ ප්‍රේමය” රසබර වෙයි. ඒත් ඊට වඩා ''චූලාලංකාරය'' නම් පළමු පොත බොහෝ සෙනෙහෙබර වෙයි. එහෙම නම් ඒක කියවලම බලමු චූලා සැබෑ සාහිත්‍යකරුවෙක්ද නැද්ද කියලා.

ඔබගේ ලිඛිත සාක්ෂිය
ඔබගේ හෘද සාක්ෂියමය…

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්