විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

උද්ධමනකාරී තත්ත්වය තුළ මෙරට ජනතාවගේ ආහාර මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති බවත් ලෝකයේ හතරවෙනි මට්ටමේ ආහාර මිල අධික වීම තිබෙන්නේ ලංකාවේ බවත් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ අවධාරණය කර යි.

ඔහු මේ බව කියා සිටියේ ‘ජනරජ කතිකා’ සම්මන්ත්‍රණ මාලාවේ ‘බංකොලොත් රටේ සුවය සුරැකීම’ මැයෙන් වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී (22) දින පස්වරුවේ පැවැත්වූ සම්මන්ත්‍රයකදීය.

ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු කිහිපයක් වන බවත් ඒවා නම් දරා ගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම, දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා ගැනීම, ආදායම අහිමි වීම යනාදිය බවත් කියා සිටි විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය.

"විවිධ රටවල් සමග සංසන්දනය කරන විට දළ ජාතික නිෂ්පාදිතයෙන් සෞඛ්‍යය සඳහා ශ්‍රී ලංකාව වියදම් කරන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතී. එම නිසා සෞඛ්‍ය සඳහා කරන වියදම තවදුරටත් අඩු කළ යුතුය යන තර්කය කිසි කෙනෙකුට ගෙන ආ නොහැක. පුද්ගලයන්ගේ ආදායම අඩු වී තිබේ. රැකියා වියුක්තිය වැඩි වී තිබේ. එය සෞඛ්‍යයට බලපාන සමාජමය සාධකවලින් එකකි. උද්ධමනකාරී තත්ත්වය තුළ ආහාර මිල දී ගැනීමේ හැකියාව අඩු වී තිබේ. විවිධ ඖෂධවල මිල වැඩිවීම පසුගිය වසර තුළ විශාල ප්‍රතිශතයකින් සිදුව තිබේ. ඖෂධ මිල දී ගැනීම අඩු වී තිබේ. ජනගහණයෙන් 79% ක් මේ වන විට විවිධ ආකාරයෙන් තමන්ගේ ආහාර ගැනීම අඩු වී තිබේ. 78% ක් මිල අඩු ආහාරවලට යද්දී 49% ක් තමන් ගන්නා ආහාරවල ප්‍රමාණය අඩු කර තිබේ. 39%ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කර තිබේ. 95% කින් ආහාර උද්ධමනය ඇති ව තිබේ. ලෝකයේ හතරවෙනි මට්ටමේ ආහාර මිල අධික වීමේ තිබෙන්නේ ලංකාවේ ය."

ඖෂධ සඳහා ජනතාවගේ පසුම්බියෙන් යන වියදම අධික යි

health dr anada 3

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ජනරජ කතිකාවට එක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටළු 6 කට මුහුණ දෙන බව ය. අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, හදිසි අවශ්‍යතා ලෙස සළකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය රහිතව ඖෂධ මිල දී ගැනීම; (ඖෂධවල ගුණත්වය/තත්ත්වය, ආරක්ෂාව, බලපෑම් සහගත බව සම්බන්ධයෙන් ගැටළු පැන නැග තිබේ) රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම, ඖෂධ මිල ගණන් දිනෙන් දින නොනවත්වා ඉහළ යාම, සෞඛ්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම, වෛද්‍යවරු ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සාමාජියකයන් රට හැර විදේශගත වීම එම ගැටලු වෙයි.

තමන් ඇතුළු විවිධ පාර්ශව ඖෂධ හිඟයක් පැමිණෙන බව පසුගිය වසර මුල දී අනතුරු හැඟ වූ බව ද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේය. 2022 පෙබරවාරි මාසයේ දී ඖෂධ හිඟයක් පැමිණෙන බවත්, එම ගැටළුව විසඳීම සඳහා ගත යුතු පියවරයන් ද සඳහන් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අනතුරු අඟවන ලද අතර, අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඖෂධ හිඟය සම්බන්ධ අනතුරු ඇඟවීමක් සහ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලදී. 2022 මැයි 23 වෙනිදා වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟය මග හරවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් විගණකාධිපතිවරයා විසින් විශේෂ වාර්තාවක් ද නිකුත් කරන ලදී. ඒ සියලු අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වීම ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව තම වාර්ෂික ඖෂධ අයවැයෙන් 35% ක් ඖෂධ සඳහා වැය කරයි. ඉන් 85% ක් ආනයනය කරන බවත්, ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා බවත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහිදී අනාවරණය කළේය. ජාතික ඖෂධ අයවැයෙන් විශාල මුදලක් ඖෂධ මිල දී ගැනීම සඳහා යෙදවූව ද, පෞද්ගලිකව ජනතාව තම පසුම්බියෙන් ඖෂධ වෙනුවෙන් කරන වියදම ද අධික ය. ඖෂධ ද හිඟ ය. රු. බිලියන 58 ක් වූ රාජ්‍ය අංශයේ මිල දී ගැනීම්වලින් රු. බිලියන 42 ක් පමණ වටිනා ඖෂධ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් මගින් මිලට ගන්නා අතර, ඉතිරි රු.බිලියන 16 වැයවන්නේ හදිසි ඖෂධ මිල දී ගැනීම් වැනි කටයුතුවලට ය.

මෙම කතිකාවත සඳහා මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ එක් වූ අතර, දේශන අවසානයේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සභාවක් ද පවත්වන ලදී.

health dr ajith 1

health prof indrajith 5

මහාචාර්ය ඉන්දික කරුණාතිලක

health dr luxman 6

විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්